වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ගීය ලිව්වා අරන් යන්න අජන්තා රණසිංහගෙන් ඉල්ලීමක්

ගීය ලිව්වා අරන් යන්න අජන්තා රණසිංහගෙන් ඉල්ලීමක්

ප්‍රවීණ මාධ්‍යවේදී ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහ හරිම අකරතැබ්බයකට මුහුණ දීලා. කතාව මෙහෙමයි. පසුගිය දවසක අජන්තාට ගීතයක් ලියා දෙන්න යැයි පවසමින් දුරකතනයෙන් ආරාධනයක් ලැබිලා තියෙනවා.

ඒ ආරාධනය ඉහළින්ම පිළිගත් අජන්තා ඔවුනට හමුවෙන්න ආරාධනා කළා. යුද්ධය අතරින් ඇතිවන ප්‍රේමයක් පිළිබඳ කියැවෙන චිත්‍රපටයක තේමා ගීතය තමයි මෙසේ රචනා කරන්න ආරාධනා කර තියෙන්නේ.

අජන්තාත් හරිම ආශාවෙන් මේ ගීතය රචනා කළා. කාලයක් ගෙවිලා ගියත් ආරාධනා කළ පාර්ශවය අජන්තා හමු වී ගීතය ලබාගන්නා පැමිණියේ නැතිලු.

ගීතය හොඳට ලියැවුණු බව පවසන අජන්තාට මේ ආරාධනා ලැබුණු පාර්ශවයේ දුරකතන අංකයක්වත් නොමැති නිසා සම්බන්ධකර ගැනීමට විදිහක් නැතිලු.

සරසවියේ ආදීතම සාමාජිකයකු ද වන අජන්තාට ගීතයක් ලියන්න ආරාධනය කළ පාර්ශවයෙන් ඔහු ඉල්ලා සිටින්නේ පැමිණ ගීතය රැගෙන යන්න කියාලු.

සංජු - අශිලා විවාහයට

පුංචි තිරයේ ළබැඳි හිතවතා සංජු සමරසිංහට මංගල සීනු හැඬවෙලා.

සංජු එළැඹෙන හත්වැනි (හෙට) සිකුරාදා, සිකුරුගේ හෝරාවෙන් යුග දිවියට පිවිසෙනවා. සංජුගේ අත ගන්නෙ පස්යාලේ අශිලා නිශාන්ති නැමැති රූමත් තරුණියයි.

හත් වැනිදා විවාහ උත්සවයෙන් පසුව නව වැනිදා පස්යාල සනංගනා හෝටලයේ පැවැත්වෙන ප්‍රිය සම්භාෂණයට කලා ලොවේ තරු රැසක් එක් වෙනවලු.

සංජුගේ හා අශිලාගේ ප්‍රේම සබන්ධයට වසර ගණනක් වෙනවලු.

වසර ගණනක සිහිනය පලදරන ඔවුන් දෙපළගේ යුග දිවියට සරසවිය සුභාශිංශන පතනවා.