වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන් ගෙන් අහන්න

අර්ජුන් ගෙන් අහන්න

සමහර මාධ්‍යවේදීන් තම අනන්‍යතාව සඟවාලමින් ව්‍යාජ නම්වලින් පුවත්පත්වලට ලියනවා. ඇත්තටම එය පාඨකයන් රවටන මායාවක් බව ඔවුනට නොවැටහෙන්නේ මන්ද?

කරූ මන්දාවල – නාත්තන්ඩිය

ලෝකය අර්ජුන් විග්‍රහ කරන අන්දමට බොහෝ දුරට තම නම ප්‍රචාරය කර ගන්නට කැමැති ව්‍යාපාරිකයන් අතිශූර ව්‍යාපාරිකයන් නොවේ. ලංකාවේ පමණක් නොව ලෝකයේ ප්‍රධාන පෙලේ ඉතාම විශ්වීය ව්‍යවසායකයින් ඔවුන්ගේ නම හෙළි කරනවාට වඩා ඒ කාලයත් ඉක්මන් දියුණුවට යොදා ගන්නවා. ඒ වගේම සමහර විශිෂ්ට ලේඛකයන් ඔවුන්ගේ නම හෙළි කරන්නේ නැහැ. එසේ නම හෙළි කරන්න යැයි නිතර නිතර ඉල්ලා සිටීමත් ‘මාධ්‍ය සදාචාරයට’ කරන බලපෑමක්. ඒ වගේම එය මාධ්‍ය සදාචාරයට ගැළැපෙන්නෙත් නැහැ නේද කරූ?

හොලිවුඩ් චිත්‍රපට නළු වෑන් ඩෑම් දැනට කොපමණ චිත්‍රපට ප්‍රමාණයක රඟපා තිබේ ද? ඔහු රඟපෑ ප්‍රථම චිත්‍රපටය මොකක්ද?

චතුරංග සම්පත් – තුන්නාන

ඔහු දැනට චිත්‍රපට පනහක (50) රඟපා තිබෙනවා. ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වූයේ 1984 දී තිරගත කෙරුණ ‘මොනාකෝ ෆීවර්’ චිත්‍රපටයයි.

සිංහල සිනමාවේ සිංහල චිත්‍රපට හැර දමිළ, හින්දි හා ඉංග්‍රීසි චිත්‍රපට රාජ්‍ය චිත්‍රපට සංස්ථාවෙන්ම සිනමාහල් හිමියන් ලබා ගත යුතු ද?

ඒ. කරුණාදාස - ගලගම, ඉඳුරුව (ලොතරැයි මල්ලි)

නැහැ. විදේශ චිත්‍රපට ආනයනය කරනු ලබන්නේ පෞද්ගලික අංශය මඟින්. අලුත් චිත්‍රපට, හොලිවුඩය, බොලිවුඩය, කොලිවුඩයට සමාන්තරව මෙරට තිරගත වන්නේ ඒ නිසා.

පරසතු මල් හි බොනී මහත්තයා, චණ්ඩියා හි චුට්ටේ, නිධානයේ විලී අබේනායක, ධීවරයෝ හි ෆ‍්‍රැන්සිස්, සරුංගලේ නඩරාජා වශයෙන් චරිත නිරූපණය කළ ගාමිණීගේ රංගනයන් අද සිටින මේ නළුවන්ට කළ හැකිද?

සරත් රණසිංහ - කපුගොඩ, මාළිඳ

එම ප්‍රකාශයට මා එකඟ නැහැ. අද ඇතැම් නළුවකුට මේ ඇතැම් චරිත රඟපාන්නට බැරිවෙන එකක් නැහැ. හැබැයි එතනදි ඔහු ගාමිණී ෆොන්සේකා නමැති මහා නළුවාණන්ගේ අනුකරණයක් නොවී එම චරිතයට තමන්ගේම රංගන අලුත් රිද්මයකින්, අන්දමකින් ප්‍රවේශය ලබන්න ඕනෑ.

හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ පැරණි චිත්‍රපටයට වඩා නව චිත්‍රපටයේ චුට්ටේ ලෙස රඟපෑ නවක රංගන ශිල්පියා කළ රඟපෑම ගාමිණී ෆොන්සේකාගේ රංගනයට සම කරන්නට නොහැකි වුණත් මා විශ්වාස කරන අන්දමට බුද්ධික ජයරත්න එයට වෙනමම මානයක් කරා රැගෙන යන්නට උත්සාහ කර තිබුණා. එය විමසා බැලිය යුත්තේ එකී රංගනයන් එකිනෙකට සාපේක්ෂව නොතබමින්.

60 දශකයේ තිරගත වුණ ‘නළඟන’ චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි යුවළ කවරහුද?

හිලරි සිරිලාල් ද අල්මේදා, බ්‍රිජට් සිල්වා - මොරටුමුල්ල

රවීන්ද්‍ර රූපසේන හා රුක්මණී දේවි.

දේවිකා මිහිරානි රංගන ශිල්පිනියගේ රැගුමක් නොබැලූ වත්මන් පරපුරට, ඇය රඟපෑ ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍ය වූ ඩී. බී. නිහාල්සිංහයන්ගේ ‘දිමුතු මුතු’ නැවත විකාශය කළොත් නරකද?

ප්‍රේමලතා සූරියආරච්චි – දළුගම

ඔහොම අදහස් පහළ වන එකත් නරකම නැහැ. එය ජාතික රූපවාහිනියේ බලධාරීන්ට යොමු කළොත් වැඩක් වෙයි.

මා ඔබෙන් ඉතා වැදගත් ප්‍රශ්න අසා සිටියත් ඔබ ඒවාට පිළිතුරු සැපයුවේ නැහැ. නමුත් ඔබ එක්තරා පිරිසකගේ පමණක් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන බව පෙනෙනවා. සමහර ඉතා බොළඳ ප්‍රශ්නවලට කිහිප වරක් පිළිතුරු දෙන බව ද පෙනෙනවා. අවසාන වශයෙන් ඇසිය යුත්තේ ‘අදාළ සතියට ලැබෙන ප්‍රශ්න ඒ සතියෙන් පසු ඉවත් කරනවාද’ යන්නයි.

සුරවීර – නාකන්දල – ධර්ගා නගරය

ලැබෙන පරිදි වැදගත් ප්‍රශ්නවලට උත්තර ලියනවා. හැබැයි එක පිරිසකට කොටු වෙලා නැහැ. වැඩියෙන් තැපැල්පත් එවන්න. ලැබෙන අති විශාල තැපැල්පත් සියල්ලටම පිළිතුරු ලිවිය නොහැකියිනේ සුරේ.

‘ජීවන ගමනේ දෛවයෝගේ වලකන රුසියා කවුද ලෝකේ’ යන ගීතය රචනා කළ හා සංගීතය සැපයූවන් කවුරුන්ද?

යිලින් සෝවිස් - රාගම

රචනා කළේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්, සංගීතය සජාඩ් හුසේන්.

ධර්මසිරි බණ්ඩාරනායකගේ පළඟැටියෝ චිත්‍රපටයේ කතාවට පාදක වූයේ කොළඹ ආමර් වීදියේ මුද්‍රණාලයක සිදු වූ සත්‍ය සිදුවීමක් ද?

විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්

ධර්මසිරි බණ්ඩාරනායක ‘පළඟැටියෝ’ නමින් චිත්‍රපටයක් කළේ නැහැ. එය නිර්මාණය කළේ වසන්ත ඔබේසේකරයන්. එම චිත්‍රපටයට පාදක වූ ආකාරයේ සිදුවීමක් ග්‍රෑන්ඩ්පාස් පැත්තේ මුද්‍රණාලයක සිදු වී තිබුණා. නැසීගිය ජනප්‍රිය සාහිත්‍යධරයකු වූ කුමාර කරුණාරත්න මහතා වරක් මා සමඟ කියා සිටියේ ඔහුගේ ‘රතුªරෝස’ නවකතාවට පාදක වූයේ එම කතාවම බවයි.

සිනමා නළු සොමී රත්නායක රඟපෑ ප්‍රථම චිත්‍රපටය ‘අමරණීය ආදරේ’ චිත්‍රපටයද? ‘හුලවාලි’ චිත්‍රපටයද?

චන්න ජයසුන්දර - යක්කල, චන්දනගම

අමරණීය ආදරේ චිත්‍රපටය.

ප්‍රංශ රජයෙන් නයිට් පදවියක් දීමට තරම් ‘ඓශ්වර්යා රායි’ ප්‍රංශ සිනමාවට කළ සේවය කුමක්ද?

සුජාතා ගුණවර්ධන – කඩවත

ප්‍රංශ රජයෙන් නයිට් පදවි පිරිනමන්නේ නැහැ. නයිට් පදවි පිරිනමන්නේ බ්‍රිතාන්‍ය රජයෙන්. ප්‍රංශයෙන් පිදෙන්නේ ‘ලෙජන්ට් ඩි ඔනර්’ නැමැති සම්මානයයි. එය ප්‍රංශයෙන් පිටත වැදගත් චරිතයන්ට පිරිනැමෙනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, අනෝමා රාජකරුණා, කුමාර් ද සිල්වා වැනි ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකුටත් මෙම ගෞරව සම්මානය පිරිනමා තිබෙනවා.

ඓශ්වර්යා රායි වර්ණවත් ලෝක සිනමාවේ වඩාත් ආකර්ෂණීය නිළියක්. ඒ ආකර්ෂණීයතාව කෙතරම් ද යත් වර්තමානය වන විට, හොලිවුඩ්, බොලිවුඩ් ගැන කතා කරන්නේ එකම තලයක තබාගෙනයි. කාන් චිත්‍රපට උළෙලේ සිනමා ජූරියට ඓශ්වර්යාට වරක් ආරාධනා කෙරුණා. එයින් එම මහෝත්සවයට අමුතු ආකර්ෂණයක් වගේම සිනමාව පිළිබඳ ගතානුගතික මතවාදවලන් මිදී සිතන්නට ආසියාවේ අපට අලුත් මගකුත් සලසා දුන්නා.

මාගේ අනාගත සිහිනය කවදා හෝ යාෂ් චොප්රා, කරන් ජොහාර් වැනි සුපිරි අධ්‍යක්ෂවරයෙකු වීමයි. මගේ ප්‍රශ්නය, ඉන්දියාවේ චිත්‍රපට අධ්‍යක්ෂණය හැදෑරීමට ආයතනයක් තිබෙනවාද? කරන් ජොහාර්, යාෂ් චොප්රා, සන්ජේ ලීලා බන්සාලි වගේ අය බිහි වුණේ ඒ වගේ ආයතනවලින් ද කියා දැනගැනීමට කැමැත්තෙමි.

වී. ඒ. ශෂිකලා සෙව්වන්දි - ගම්පහ

ඔබේ බලාපොරොත්තුව ඉහළින්ම ඉෂ්ට වේවායි කියා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා.

අප රටට මේ කාලයේ වඩා අවශ්‍ය වන්නේ යාෂ් චොප්රා, කරන් ජොහාර්ලා වගේ සිතන අයයි. ඉන්දියාවේ චිත්‍රපට හැදෑරීමට විශ්ව විද්‍යාල තිබෙනවා. ඔබේ අධ්‍යාපන සුදුසුකම් අනුව එරට විශ්ව විද්‍යාලයකට ඇතුළු විය හැකියි. නැතිනම් පිළිගත් චිත්‍රපට අධ්‍යයන ආයතන තිබෙනවා.

මා පිළිගත් චිත්‍රපට ආයතන කියා කියන්නේ ලංකාවේ ගහක් කලක් ගානේ ඉන්නා හොර වෙද්දු වගේ, ඉන්දියාවෙත් හොර සිනමා ඉස්කෝල පඳුරක් ගානේ තිබෙන බැවින්. ඒ නිසා හොඳට සොයා බලා නිසි තැනකට යනවා නම් හොඳයි.

යාෂ් චොප්රා සිනමා පාසලකට ගියේ නැහැ. එහෙත් ඔබ නම් කළ අන් සියලුම දෙනා සිනමාව විෂයක් වශයෙන් හැදෑරූ අයයි. යාෂ් චොප්රා ගැන කතා කළොත් ඔහුගේ අවසාන චිත්‍රපට කිහිපයට සිනමාව හැදෑරූ උගත් තරුණයන්ගේ දායකත්වය ලබාගත් බව ඇත්ත.

ඔහුගේ ‘චාන්දනී’ වැනි චිත්‍රපට නරඹද්දී මට හිතෙන්නේ පසුකලක ඔහුගේ පුත් ආදිත්‍යගේ සංස්කරණයට අලුත් චිත්‍රපට යටත් වූවා කියායි. ඔබ හැඳින් වූ අනෙකුත් සිනමාකරුවන් සියල්ලම සිනමාව හදාරා ඇත්තේ ඉන්දියාවේදී නොව යුරෝපයේදීයි.