වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍ර ශිල්පී එස්. එච්. සරත්ගේ සිතුවම් දැක්ම 11 වැනිදා ලයනල් වෙන්ඩ්ට් හී

චිත්‍ර ශිල්පී එස්. එච්. සරත්ගේ සිතුවම් දැක්ම 11 වැනිදා ලයනල් වෙන්ඩ්ට් හී

ලාංකේය චිත්‍ර කලාවේ ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පීන් අතරින් සුවිශේෂ ස්ථානයක් හිමි ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්. එච්. සරත්ගේ මහා අධිවේගී සිතුවම් දැක්ම ලබන 11 වැනිදා සවස කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී විවෘත වේ.

1968 දී රජයේ ලලිත් කලායතනයට බැඳී චිත්‍ර ශිල්පය හැදෑරූ එස්. එච්. සරත් තායිලන්තයේ ශිල්පකොන් විශ්වවිද්‍යාලයෙන් සහ ඔස්ට්‍රේලියාවේ යුනිවසිටි ඔෆ් සවුත් ඔස්ට්‍රේලියාහිදී චිත්‍ර කර්මය ප්‍රගුණ කර තිබේ. තමන්ටම ආවේනික රටා ඔස්සේ රූ රටා මවන ඔහු මේ වන විට සිය සිතුවම් දෙස් විදෙස් ජනතාවගේ රසාස්වාදය උදෙසා ඒක පුද්ගල සිතුවම් දැක්ම විශාල සංඛ්‍යාවක් පවත්වා ඇත. 1974 වසරේදි ඔහු පළමු චිත්‍ර ප්‍රදර්ශනය මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර එදා මෙදාතුර මෙරට පවත්වා ඇති චිත්‍ර ප්‍රදර්ශන සංඛ්‍යාව පණහකටත් අධිකය.

කැනඩාව, නෝර්වේ, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ජපානය ඇතුළු රටවල් රැසක ද තම චිත්‍ර ප්‍රදර්ශන පවත්වා ඇති සම්මානනීය චිත්‍ර ශිල්පි එස්. එච්. සරත් සිනමාව, වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය සඳහා ද දායක වෙමින් චිත්‍ර කලාව තුළ තම අනන්‍යතාව තහවුරු කරගත් ශිල්පියෙකි. පෙම්බර මධු, චුඩාමාණික්‍ය, සාරා, ඉන්දුට මල් මිටක් වැනි චිත්‍රපට සඳහා කලා අධ්‍යක්ෂණය සිදු වූයේ ද ඔහු අතිනි. චිත්‍ර කලාව වර්ධනය කිරීම සහ එහි රසාස්වාදය ජනතාව අතරට ගෙන යාම වෙනුවෙන් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා නොමිලයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය වින්දනය වෙනුවෙන් පැමිණෙන ලෙස ඒ මහතා කලාකාමී ඔබ සැමට ආරාධනා කර සිටියි.

ස්ටැනීගේ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් 7 දා

ස්ටැනී ද සිල්වාගේ ඒක පුද්ගල සිතුවම් දැක්ම ‘තෙලි තුඩක අසිරිය’ මෙම මස 07, 08 සහ 09 යන දිනයන්හි කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ. ඔහු චිත්‍ර ශිල්පියකු මෙන්ම රංගන ශිල්පියකු, කලා අධ්‍යක්ෂවරයකු සහ පුවත්පත් කලාවේදියකු ලෙස ප්‍රකට චරිතයකි.

ස්ටැනී පළමුව අපට හමුවන්නේ රිවිරැස පුවත්පතිනි. එතැන් පටන් දවස, රංකැටි, මී පැණි, කැකුළු, කුමරි, හිතවතා, සඳරැස්, ප්‍රාර්ථනා යනාදී පුවත්පත් රැසක ඔහු සේවය කළේය.

අනතුරුව වේදිකාව, රූපවාහිනිය සහ සිනමාව යන මාධ්‍යයන්ට සම්බන්ධ වන හෙතෙම 1989 වර්සයේදී කැඩපතක ඡායා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වශයෙන් ස්වර්ණ සංඛ සම්මානයට ද පාත්‍ර විය.

මේ පවත්වනුයේ ස්ටැනීගේ පළමු සිතුවම් දැක්මයි. ප්‍රදර්ශනය තෙදින පුරා උදැසන 10 සිට සවස 7 දක්වා විවෘතව පවතියි.