වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




තිමති ඩෝල්ටන් ජේම්ස් බොන්ඩ් වෙයි

තිමති ඩෝල්ටන් ජේම්ස් බොන්ඩ් වෙයි

චෙලෝව වෙනුවට සුරූපිනිය අතට ආ ස්නයිපර් ගිනි අවිය ‘ද ලිවින් ඩේලයිට්ස්’

ඒ සොඳුරු සැඳෑවේ පැවැත්වෙන මියුරු සංගීත සංධවනිය සඳහා රැස්වුණ සංගීත ලෝලීන්ගෙන් චෙකොස්ලොවාකියාවේ ‘කුඩොව්’ ශාලාව පිිරී ඉතිරී ගොසිනි. දැහැනකට සම වැදුනා සේ සංගීත මිහිර විඳගන්නා පිරිස් නෙත් සිත් පැහැර ගත් සොඳුරු දසුනක් සංගීත ශිල්පීන් අතර කැපී පෙනෙයි.

කඩිසර මුදු මොළොක් ඇඟිලි තුඩුවලින් කම්පනය වන චෙලෝවෙන් මියුරු සත්සර නාද රටා මවන ඈ සුරූපී තරුණියකි. ඈ වයන චෙලෝවේ හැඩයටම සමාන සිහිනිඟත් පුළුල් උකුල් තලයත් මලවි තොටිල්ලක් මෙන් රසික සිත් සතන් කුල්මත් කරවන සුළුයි. සංධවනියේ නිමාවත් සමඟ පිරිස දැහැනින් මිදෙයි.

එහෙත් ඇසිල්ලකින් ඇගේ සොඳුරු රුව දර්ශන පථයෙක් මැකී ගොස් ඊළඟ මොහොතේ ඇගේ රුව මතුª වන්නේ ශාලාවේ ඉහළ මාලයක වූ කුඩා ජනේලයක් තුළිනි. චෙලෝව වෙනුවට ඇගේ සුරතේ ඇත්තේ ස්නයිපර් ගිනි අවියකි. ශාලාවෙන් පිටතට එන සුවිශේෂී පුද්ගලයෙකු වෙත එය එල්ල වී ඇත. මේ සියල්ල වෙත මුල සිට අවධානය යොමු කළ තවත් තියුණු නෙත් සඟලක් වෙයි. එහි හිමිකරුවා කවුද? සුරූපී එහෙත් සාහසික වූ ඇය කවුද? ඇය නමින් කාරා මිලෝවී වන අතර ඔහු අන් කවරෙක් හෝ නොව සුපිරි රහස් ඔත්තුකරු ජේම්ස් බොන්ඩ් වෙයි.

1987 තිරයට ආ ‘ලිවින් ඩේලයිට්ස්’ චිත්‍රපටය බොන්ඩ් සිනමාවලියේ 15 වැන්න සහ තිමති ඩෝල්ටන්ගේ ප්‍රථම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය ද වෙයි. ‘ද ලිවින් ඩේලයිට්ස්’ යන නම ඉයන් ෆ්ලෙමින් විසින් රචිත කෙටි කතාවකින් උපුුටා ගත්තකි. චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඇල්බට් ආර්. බ්‍රොකොලි ඔහුගේ දියණිය වූ බාබරා බ්‍රොකොලි සහ ඥාති පුත්‍ර මයිකල් ජී. විල්සන් විසිනි.

1989 වසරේදී ‘අ විව් ටු අ කිල්’ චිත්‍රපටයෙන් ලැබූ ගුණාත්මක මෙන්ම ආර්ථික පසුබෑම නිසා 59 වෙනි වියැති රොජර් මුවර් වෙනුවට ක්‍රියාශීලී තරුණ නළුවෙකු බොන්ඩ් චරිතය සඳහා ආදේශ කිරීම ඉඔන් ප්‍රඩක්ෂන්ස් සමාගමේ ඒකමතික තීරණය බවට පත්ව තිබුණා. ඒ අනුව ජේම්ස් බොන්ඩ් සඳහා නාම යෝජනා වූ නළුවන් අතර මෙල් ගිබ්සන්, මාක් ග්‍රීන්ස්ට්‍රීට්, ලැම්බට් විල්සන්, ඇන්තනි හැමිල්ටන්, ක්‍රිස්ටෝපර් ලැම්බට්, ෆින්ඩ්ලේ ලයිට් සහ ඇන්ඩෲ ක්ලාක් තිර පරීක්ෂණ සඳහා කැඳවුම් ලැබ සිටියා.

ඒ වන විට රොජර් මුවර් බොන්ඩ් චිත්‍රපට 7 ක පෙනී සිට ඇති අතර ඔහුගේ සේවා කාලය වසර 12 ඉක්මවා ගොස් තිබුණා. අධ්‍යක්ෂ ජෝන් ග්ලෙන්, මයිකල් ජී. විල්සන්, ඩානා සහ බාබරා බ්‍රොකොලි යන සම නිෂ්පාදකවරුන් සෑම් නීල් නමැති ජනප්‍රිය නළුවෙකු වෙත තම පූර්ණ අනුමැතිය පළ කර සිටියත් බ්‍රොකොලිගේ ඇරයුම ලැබුණේ පියර්ස් බ්‍රොස්නන් හටයි. එහෙත් ‘රෙමින්ටන් ස්ටීල්’ ටෙලි මාලා නාටකය සඳහා ගිවිසුම් අත්සන් කර තිබීම නිසා ඒ අවස්ථාව ඔහු අතින් ගිලිහී ගියා.

ඊළඟ තේරීම වූ තිමති ඩෝල්ටන් ද ‘බ්‍රෙන්ඩා ස්ටාර්’ නමැති චිත්‍රපටයේ රූගත කිරීම්වල නිරතව සිටි නිසා ඔහුගෙන් ද යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ‘ජෝකින් අ පාර්ට්’ සහ ‘කෝල්ඩ් ෆීට්’ වැනි චිත්‍රපටවල රඟපෑ රොබට් බැතර්ස්ට් නම් නළුවෙකු තිර පරීක්ෂණ සඳහා යොමු කෙරුණු අතර එය ද සාර්ථක වුණේ නැහැ. අවසානයේ ‘බ්‍රෙන්ඩා ස්ටාර්’ චිත්‍රපටයේ රූගත කිරීම් හමාර වූ වහාම තිමති ඩෝල්ටන් හා ගිවිසුම් අත්සන් කරවා ගැනීමට බ්‍රොකොලි සමත් වුණා.

‘අ විව් ටු අ කිල්’ චිත්‍රපටයේ සෝලා ඉවනෝවාගේ චරිතය රඟපෑමට පැමිණි මීරියම් ඩි ඇබෝට එදා බලාපොරොත්තු සුන්කර ගැනීමට සිදු වුණත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය රඟපෑමේ වරම් හිමි වුණේ සුරූපී මීරියම්ටයි. චෙක් ජාතික දක්ෂ චෙලෝ වාදන ශිල්පිනියක් වූ ‘කාරා මිලොවී’ ඈ රඟපෑ චරිතයයි. බ්‍රිතාන්‍ය එම් 16 ඔත්තු සේවා ප්‍රධානී බ්‍රිගේඩියර් ‘එම්’ ලෙස රොබට් බ්‍රවුන්ද, ඔහුගේ ලේකම් මිස් මනිපෙනි ලෙස කැරොලිස් බ්ලිස් ද, මිස්ටර් ‘කිව්’ ලෙස ඩෙස්මන්ඩ් ලෙවලින් ද චරිත නිරූපණයට එක් වුණා. අමෙරිකානු අවි ජාවාරම්කරුවෙකු වූ බ්‍රැඩ් විටේකාර් ගේ චරිතය රඟපෑවේ ජෝ ඩොන් බේකර් විසින්. ජෙනරල් ජෝජ් කොස්කොව් ලෙස ජෙරොන් ක්‍රැබේ ද, කේ. ජී. බී. ජෙනරල් ලියොනිඩ් පුෂ්කින් ලෙස ජෝන් රයිස් ඩේවිඩ් ද රංගනයට එක් වුණා. ජෝන් ටෙරී රඟපෑවේ සී. අයි. ඒ. ඒජන්ත ෆීලිකිස් ලයිටර්ගේ චරිතයයි. වර්ජීනියා හේ සහ ජූලි ටී. වොලස් ද චිත්‍රපටය වර්ණවත් කළ සුරූපිනියන් අතර විය.

ප්‍රධාන රූගත කිරීම් ඇරඹුණේ 1986 සැප්තැම්බර් 17 දා ජිබ්‍රෝල්ටාර් හිදී ‘ස්ටන්ට්’ ශිල්පීන් දෙපලක් වන බී. ජේ. වෝත් සහ ජේක් ලොම්බාඩ් පෙනී සිටින පැරෂුට් පිමි දර්ශනයකින්. මේ සඳහා යොදා ගත්තේ රාජකීය ගුවන් හමුදාවේ අහස් යානයක්. ජිබ්‍රෝල්ටාර් හි දුෂ්කර කඳු පල්ලම් ඔස්සේ ගමන් ගන්නා ලෑන්ඩ් රෝවරයක් තුළ බොන්ඩ්ගේ සටන සහ පසුපස විවර වූ ගුවන් යානයක දැලක එල්ලී කෙරෙන මාරාන්තික සටන ත්‍රාසජනක ජවනිකා අතර මුල් තැන ගත්තා.

පයින්වුඩ් චිත්‍රාගාරයේ 007 වේදිකාවේ රූගත කෙරුණු දර්ශනයන්ට අමතරව අමෙරිකාව, ඉතාලිය, ;චකොස්ලොවාකියාව, මොරොක්කෝව,වියානාව සහ එංගලන්තයේ එළිමහන් දර්ශණ තල චිත්‍රපටයට ඇතුළත් වුණා. කලකට පසු නැවත වරක් බොන්ඩ් ඇස්ටන් මාටින් රථයක් පැදවීම සුවිශේෂ සිදුවීමක්. ඇතැම් දර්ශන සඳහා ඇස්ටන් මාටින් මෝටර් රථ දෙකක් එනම් ඇස්ටන් මාටින් වී 8 ‘වාන්ටේජ්’ රථයක් ද චෙකොස්ලොවාකියාවේ දර්ශන සඳහා ඇස්ටන් මාටින් ‘වොලන්ටේ’ රථයක් ද භාවිත කෙරුණා.

සංගීතවේදී ජෝන් බැරී අවසන් වරට සංගීතය මෙහෙය වූයේ මෙම චිත්‍රපටයටයි. ප්‍රථම වතාවට බ්‍රිතාන්‍ය හෝ අමෙරිකානු නොවන ශිල්පීන් පිරිසක් තේමා ගීතය සඳහා දායකත්වය සැපයීම විශේෂ කරුණක්. ‘අ-හා’ නමැති නෝවීජියානු රොක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායක මෝටන් හැකට් මෙහි තේමා ගීතය ගායනා කළ අතර එය රචනා කළේ පෝල් වාක්තා සැවෝයි විසිනි. මුලින් ජෝන් බැරී සහ මෙම සංගීත කණ්ඩායම අතර යම් යම් නොරිස්සුම්තා ඇති වූ අතර පසුව ඒ සියල්ල මඟ හැරී තත්ත්වය යහපත් අතට හැරුණා. සංගීතය සහ තේමා ගීතය පටිගත කොට බෙදා හැරුණේ ඊ. එම්. අයි. ලේබලය යටතේයි.

1987 ජූනි 27 දා සම්භාවනීය වේල්ස් කුමර කුමරියන්ගේ ප්‍රධානත්වයෙන් ලන්ඩන් ඕඩියන් ශාලාවේදී පූර්ව දර්ශනය පැවැත්වුණ මුල් සතිය තුළ එහි ආදායම ඩොලර් 11,051,284 ක් වූ අතර අමෙරිකාවේදී ඩොලර් 51,185,000 ක් ද ලෝ වටා ඩොලර් මිලියන 191.2 ක ආදායමක් ද උපයා ගැනීමට සමත් වුණා.

චිත්‍රපටයේ ඇතැම් දර්ශනවල කොස්කොව් සහ විටේකාර්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී වාහන මත සහ අසුරන මත රකු කුරුස සලකුණ භාවිත කර ඇතැයි රතු කුරුස සංවිධානය මඟින් බරපතල චෝදනාවක් එල්ල කළ නමුදු එම දර්ශන තහනම් කිරීමේ නීතිමය ක්‍රියා මාර්ගයක් ගැනීමෙන් වැලකී සිිටීමට ඔවුන් තීරණය කළා. තිමති ඩොල්ටන් අවදානම් ත්‍රාසජනක ජවනිකාවලදී අතිරේක නළුවන් නොයොදා හැකි තරම් දුරට තමාම රඟපෑම බොහෝ විචාකරයින්ගේ පැසසුමට ලක් වුණා. හඳුන්වා දුන් නවතම බොන්ඩ් රඟපාන ඊළඟ චිත්‍රපටය වන ‘ලයිසන්ස් ටු කිල්’ චිත්‍රපටය සමඟ නැවත හමු වෙමු.