වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




එහෙම වුණානම් මං ජීවතුන් අතර නැහැ

එහෙම වුණානම් මං ජීවතුන් අතර නැහැ

කෝපි කඩේ හාමිනේ අතීත මතක අතර රත්නා
සුමනපාලට සම්මානයක්

ඇය රත්නා සුමනපාල. එහෙම කියනවාට වඩා ඇයව ඔබට වඩාත් ළෙංගතු කෝපි කඩේ හාමිනේ ලෙස. දශක ගණනාවක් රංගනයෙන් අප පින වූ ඇය ඉකුත් දිනෙක සම්මානයක් දිනා ගත්තා. හැබැයි රංගනයෙන් නම් නෙවෙයි. එහෙනම් ඒ මොකටද? මටත් ඇති වුණේ කුතුහලයක්. ඒ පිළිබඳ එහෙනම් ඇයගෙන්ම විමසා බලමු.

රත්නා අක්කේ මොකක්ද මේ ලද ඇගයීම?

ගොඩක් අය මාව දන්නෙ රංගන ශිල්පිණියක් විදිහට. මං ලේඛනයෙහි යෙදෙනවා කියලා දන්නේ බොහොම ටික දෙනයි. ඇත්තෙන්ම කිව්වොත් දැන් සෑහෙන්න කල් ලියන්න පටන් අරන්. මට සම්මානය හම්බු වුණෙත් ඒකට. සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය සාහිත්‍ය තරගාවලියේ සාහිත්‍ය විචාර අංශයේ සාහිත්‍ය විචාර තරගයේ ප්‍රථම ස්ථානයයි මට හිමි වුණේ. එම උළෙලේම පසුගිය වසරේ විවෘත කෙටි කතා අංශයේ තෙවැනි තැන දිනා ගත්තෙත් මං.

ඉන් නොනැවතී ග්‍රන්ථ රචනයේ යෙදෙන්නට අදහසක් නැතිද?

මොකද නැත්තේ. ළඟදී ළමා ගීත පොත් දෙකක් ලිව්වා. ඒත් තවමත් ප්‍රකාශකයකු නැහැ. හම්බුවුණ ගමන් එළිදක්වනවා.

ලේඛනයට මෙතරම් පමා වුණේ ඇයි?

පුංචි කාලයේ ඉඳලා මං වැඩියෙන්ම ආස කළේ ලේඛනයට. ක්‍රම ක්‍රමයෙන් මට රංගන සහ හඬ කැවීම් කටයුතුවල යෙදෙන කොට කාල වේලාව එයටම වැය වුණා.

මේ දිනවල සිහිනපුරයේ ආච්චිට හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇතිනේද?

අනේ ඔව්. පුංචි ඈයො තමයි මට හුඟක් ආදරේ. කාලෙකට පස්සේ දැනෙන්න රඟපාපු චරිතයක්.

වසර විසි පහක් කෝපි කඩේ හාමිනේ ඔබ. එපා වුණේ නැති ද එකම චරිතයකට කොටු වීම?

කවදාවත් නැහැ. ඒ චරිතය නිසා තමයි මාව වැඩි දෙනෙකු අතරට ගියේ. ඊටත් වඩා ඉන් මට ලැබෙන ආත්ම තෘප්තිය ගැන කියන්න වචන නැහැ.

කොහොමද ඔබේ හඬ කැවීම් කටයුතු?

සුපුරුදු පරිදි කරගෙන යනවා. කූඹිච්චි, කණා මැදිරි රාත්‍රිය වැනි වැඩසටහන් විස්සක පමණ හඬ කැවීම්වල යෙදෙනවා.

ඔබේ හිත සසල කළ සිදුවීමක් ආවර්ජනය කරන්නටයි මං සැරසෙන්නේ. මතකද මීමුරේ දියේ ගිලෙන්න ගිය සිද්ධිය?

කොහොම අමතක වෙන්නද . . . ඒ කස්තිරම නාට්‍ය කරන කාලේ. දියේ ගිලෙන සිදුවීමක් රූපගත කරන්න තිබුණා. වතුර වැඩි තැනකදි මාව දෙපාරක් ගිලුණා. තුන්වෙනි පාර කෙනෙකු ඇදලා ගත්තේ නැතිනනම් මං අද ජීවතුන් අතර නැහැ.