වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




නිර්මලා රණතුංග සංගීත පාසලක් අරඹයි

නිර්මලා රණතුංග සංගීත පාසලක් අරඹයි

ජනතාවගේ ආදරය දිනාගත් ගායන ශිල්පිනියක් වන නිර්මලා රණතුංග පසුගිය දවස්වල කිසිම සද්දයක් බද්දයක් තිබුණේ නැහැ. මේ නිහඬතාවයට හේතු සොයන්න අපි ඇයට කතා කළා.

‘මම මේ දවස්වල මගේ ගෝල පිරිසක් හදන්න උත්සාහ ගන්නවා.

ඈ කිව්වේ ඒ නිහඬතාවයට හේතු දක්වමින්. ඒ වගේම ඇය ජනවාරි මාසයේ ආරම්භ කිරීමට නියමිත නවාරා සංගීත විද්‍යාලයට සූදානම් වන නිසා එහි කටයුතුවලට වගේම ශිෂ්‍ය - ශිෂ්‍යාවන් බඳවා ගන්න මූලිකත්වය ලබාදීම නිසා බොහොම කාර්යබහුලත්වයෙන් සිටිනා බවයි.

ඔබටත් ඇගේ ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් වන්නට අවශ්‍ය නම් ළමා - වැඩිහිටි භේදයකින් තොරව ඒ සඳහා සහභාගි වෙන්න හැකියි. ඉන්දියාවේ භාත්ඛණ්ඩයේ සංගීත විද්‍යා පීඨයන්ට අනුබද්ධ විභාග මධ්‍යස්ථානයක් ලෙසත් පවත්වාගෙන යන්නට නියමිත නවාරා සංගීත විද්‍යාලය පිළිබඳ වැඩි විස්තර දැනගන්න මහරගම හයිලෙවල් පාරේ පිහිටා තිබෙන අංක 200/1, තැනට ගොස් ඔබට ශාස්ත්‍රපති වාද්‍ය නිපුන් ප්‍රසන්න කුරගම හමුවන්න පුළුවන්. එවිට නිර්මලා රණතුංගගේ මියුරු ස්වරය වගේම සංගීතයත් ඉගෙන ගන්න ඔබට හැකියාව ලැබේවි.

ලීල් ආනන්ද ගජනායකගේ නාට්‍ය ත්‍රිත්වය 26 වැනිදා පිළියන්දල පුස්තකාල රංග ශාලාවේ

සරසවි නිර්මාණ රංග පීඨයේ කෘත්‍යාධිකාරි රාජ්‍ය සම්මාන දිනූ ලීල් ආනන්ද ගජනායක රචනා කොට නිෂ්පාදනය කළ ‘රොනා සහ රෝමය’, ‘මට මැරෙන්න බැහැ’, ‘පොදු වැසිකිළි’ යන නාට්‍ය ත්‍රිත්වය දෙසැම්බර් 26 වැනිදා පිළියන්දල පුස්තකාලීය රංග ශාලවේදී රංග ගතවේ.

චානක මදුසංක කුමාරතුංග, රුක්ෂාන් ලමින්ද මිහිඳුකුල නිෂ්පාදනයෙන් සහාය වන මෙම නාට්‍යයන්හි සංගීතය ගිය වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂ ලෙස සරසවි නිර්මාණ සම්මාන දිනූ රනවි අතුකෝරළ විසිනි.

සරසවිය පුවත්පතේ රංගනයට වරම් තීරුවෙන් පැමිණි චානක මදුසංක කුමාරතුංග, දුලානි කාංචනා පෙරේරා, සේපාලිකා ජයරත්න, අශෝක සමන්කුමාර, එම්. ෆර්ෂාන්, හසිත් රන්දුල සමඟ රුක්ෂාන් ලමින්ද මිහිඳුකුල, චතුරානි දෙලේවත්ත, තිවංක රත්නපාල, උදාර බුද්ධික, නදීකා ජයවර්ධන, තිළිණ දිල්ෂාන් තිලකරත්න, උදේනි අල්විස් සහ ගිය වසරේ හොඳම නිළිය ලෙස සරසවි නිර්මාණ සම්මාන ලද ඕෂදී චන්දිමා සේනානායක මේ සඳහා රංගනයෙන් දායක වෙති.

කමල් ශ්‍රී ගෙන් පොත් දහයක්

මාධ්‍යවේදී කමල් ශ්‍රී ලියනගේ රචිත ‘තෑග්ගෙන් තෑග්ග’, ‘පුංචි මලීෂා’, ‘ජිමියයි ටොමියි’, ‘හොඳම යාළුවෝ’, ‘රන්වන් මාළුවා’, ‘රන්වන් සපත්තු’, ‘හොඳ සීයා’, ‘හඳට ගිය කෝච්චිය’, ‘පඹරාලට යාළුවෙක්’, ‘පැණි හොරා’ යන ළමා ග්‍රන්ථ දහය පසුගියදා සීනෝර් ෆුඩ් ඔරියන්ටල් හෝටලයේදී දොරට වැඩිණි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ කතුවරයා දිවයින ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංකට කෘති පිළිගන්වන අයුරුයි.

නොමිළයේ රංග වැඩ මුළුවක්

රංගනය සහ භාවනාව තේමාව යටතේ නාට්‍ය සහ රංග කලා වැඩමුළුවක් මෙම මස 09, 16, 23 සහ 30 යන දිනයන්හී සවස කාලයේ බොරැල්ල සුදර්ශී ආයතනයේදී නොමිලයේ පැවැත්වේ. මේ පිළිබඳ වැඩි විස්තර 0716164344 යන අංකයෙන් ලබාගත හැකිය.

හෙළයේ මහා ගාන්ධර්වයාණෝ බ්‍රහස්පතින්දා රාත්‍රී 10.10 ට

හෙළයේ මහා ගායක පණ්ඩිත් අමරදේවයාණන්ට උපහාර පිණිස බ්‍රහස්පතින්දා රාත්‍රී 10.10 ට විශේෂ ආලකමන්දා වැඩ සටහනක් විකාශය කෙරේ. එය විනීතා කරුණාරත්නගේ අධ්‍යක්ෂණයකි.පිටපත සංජීව පුෂ්පකුමාරගෙනි. සුහානි රාත් එදින විකාශය නොවේ.

රජරට රංග සේනා පදනමෙන් වැඩමුළුවක්

රජරට රංග සේනා සංස්කෘතික පදනම මඟින් සංවිධානය කරනු ලැබූ විවිධ සංස්කෘතික වැඩමුළු පෙළක සමාරම්භක උළෙල පසුගියදා අනුරාධපුර කච්චේරිය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

සම්ප්‍රදායික කුඩා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා ජාතික තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් නිලධාරී ගාමිණී චන්ද්‍රසේකර හා ගීත රචක සුසන්ත රණුක කුමාරසිංහ යන මහත්වරු සහභාගි වී සිටියහ.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම උත්සව අවස්ථාවේදී රජරට රංග සේනා සංස්කෘතික පදනමේ සභාපති, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජිනදාස එම්. ගමගේ පොල් තෙල් පහන දල්වන අයුරුයි.

‘පිළිතුරු හැරෙන තැපෑලෙන්’ මුහුරත් උළෙලදා

හැරල්ඩ් කේ. ජයතිස්සගේ නවතම නාට්‍ය නිර්මාණය ‘පිළිතුරු හැරෙන තැපෑලෙන්’ හි මුහුරත් උළෙල අති පූජ්‍ය කෑගල්ලේ යූ. පඤ්ඤාරාම නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල සුදර්ශී ශාලාවේදී පැවැත්විය.

එහිදී හැරල්ඩ් ඇතුළු කීර්ති බණ්ඩාර, ප්‍රේමදාස විතානගේ, තිලකරත්න ලියනගේ, රූපා ගෝමස්, දමිතා සළුවඩන, ප්‍රියන්ති මංගලා, ඩීමන් හෙට්ටිආරච්චි, චන්ද්‍රපාල හෙට්ටිගේ, ස්වර්ණා පෙරේරා සහ අංජනා සෙව්වන්දි යන අය පොල් තෙල් පහන දැල් වූ අයුරුයි මේ.

ප්‍රවීණ තබ්ලා වාදක හේමපාල ගාල්ලගේ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ තාල තරංග වාද්‍ය ශිල්පියකු වූ හේමපාල ගාල්ලගේ අභාවප්‍රාප්ත විය. හැත්තෑව දශකයේ අග භාගයේ අනියම් වාදකයකු ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි වාදක මණ්ඩලයට එක් වූ හෙතෙම පසු කලෙක එහි නායකයා ලෙස ද කටයුතු කළේය. දිවයිනේ සියලුම සංගීත අධ්‍යක්ෂවරු යටතේ සිය වාදන දායකත්වය ලබා දුන් ගාල්ලගේ ශක්ති සහ සිහශක්ති සංගීත කණ්ඩායම්වල කලක් තබ්ලා හා ඩ්‍රම්ස් වාදන කටයුතු කරන ලදී. ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප්‍රසංගයේ තබ්ලා වාද්‍ය ශිල්පියා ලෙස දිගුªකලක් කටයුතු කළ ගාල්ලගේ ‘ස’ සමාප්ති ප්‍රසංග ත්‍රිත්වයේ ද සිය වාද්‍ය කෞශල්‍යය මැනවින් ප්‍රකට කළේය.

මිය යන විට පනස් තුන්වැනි වියෙහි පසු වූ හෙතෙම තිදරු පියකි.