වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




රුපියල් හැත්තෑ හතයි කමිස දෙකයි

රුපියල් හැත්තෑ හතයි කමිස දෙකයි

රංගනයෙන් කළමනාකරණයට පිවිසි මංජුල

රංගනයට කැමැත්තෙන් කලා ක්ෂේත්‍රයට පිවිස නිෂ්පාදන කළමනාකරුවකු ලෙස තම අනන්‍යතාව ගොඩ නගා ගත් කලා ශිල්පියෙක් මංජුල ගුණවර්ධන. මේ වන විට නාට්‍ය රැසක නිෂ්පාදන කළමනාකරුවකු ලෙස කටයුතු කළත් ඔහු තවත් හැකියාවන් රැසක් උරුම කරගත් කලා ශිල්පියෙක්.

මංජුල මුලින්ම නිෂ්පාදන කළමනාකරුවකු ලෙස ක්ෂේත්‍රයට පිවිසි අන්දම ගැන කියමුනේද?

මගේ ආසාව වුණේ රංගනයට. ඒ නිසා ලක්ස් තරු වරම වැඩසටහනට සම්බන්ධ වුණා. ඒ සඳහා සහභාගි වූ 7000 ක පිරිසගෙන් අවසන් 50 දෙනා අතරට තේරෙන්නට වරම් ලැබුණා. ඒ පනස් දෙනා කලාවේ විවිධ අංශ සඳහා යොමු කෙරුණා. මිහිර සිරිතිලක, මුතු තරංගා, චලිත් මනුරංග ඒ අතර හිටියා.

මම යොමු වුණේ නිෂ්පාදන කළමනාකරණ ක්ෂේත්‍රයට. මුලින් බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා. ඊට පසුව ප්‍රියන්ත කොළඹගේ සමඟ ස්ථිර නිෂ්පාදන කළමනාකරුවකු ලෙස කටයුතු කළා.

ඒ කාලයේදී ඒකාංගික ටෙලි නාට්‍ය 18 ට විතර දායක වුණා. වෙළෙඳ දැන්වීම් දෙසීයකට අධික සංඛ්‍යාවක් කළා. ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශය වූ ජබෝස් ලේන් වැඩ සටහනේ කොටස් දෙසීයක පමණ නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතුª කළා. පී බංකර්, මැංගි වැනි චරිත සමඟින් චරිත හයකට හඬ කැවීමක් සිදු කළා.

පාසල් කාලයේදී හීන මැව්වේ?

මගේ ගම මහනුවර හුන්නස්ගිරිය. පාසලේ නාට්‍ය කණ්ඩායමේ හිටියා. කලාවට ලැදිකම කුඩා කාලයේ සිටම තිබුණා. සරසවිය පත්තරය පුළුවන් දවස්වලට ගත්තා. දවසක් සරසවිය පාඨකයන් අතරින් ළමා නළුවෙක් ඉල්ලලා බුද්ධි කීර්තිසේන මහතා දැන්වීමක් දාලා තිබුණා. මට ෆොටෝ එකක් අරගෙන අයදුම් පත්‍රයක් යවන්න මාසයක් විතර ගියා. ඒ කාලේ එය ඒතරම් දුෂ්කර කටයුත්තක් වුණා. නමුත් කලා ක්ෂේත්‍රයට යොමු වෙන්න තිබූ බලාපොෙරොත්තුව හැමදාම හිතේ තිබුණා.

මහනුවර සිට කොළඹ ආවේ?

1987 දී අහම්බෙන් කොළඹට ආවේ රුපියල් හැත්තෑ හතරකුයි ඇඳුම් දෙකකුයි අරගෙන. කොළඹට ඇවිත් කටුනායක ඇවරිවත්ත සුමිත්‍රාරාමයේ නැවතිලා සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ පාඨමාලාවට සම්බන්ධ වුණා. ඒ සමඟ විමල් ගීගනගේ මහතාගේ වේදිකා නාට්‍ය සඳහාත් දායක වෙන්න අවස්ථාව උදා වුණා. පසුව තරු වරම තමයි මේ දක්වා එන්න මාර්ගය හදල දුන්නේ.

ටෙලි නාට්‍ය නිෂ්පාදන කළමනාකරු වුණාට රංගනයටත් යොමු වුණා නේද?

ඔව්. මගේ මූලික අරමුණ වුණේ රංගනය. ප්‍රේම පාරමී, සඳු තරු ටෙලි නාට්‍යවල රංගනයට අවස්ථාව ලැබුණා. සඳු තරු හි බාලන්ගේ චරිතය ආසවෙන් කළ චරිතයක්. ඒ වගේම ජබෝස් ලේන් හි පී බංකර්ගේ චරිතයට හඬ කැවීම කළෙත් සතුටින්.

මේ සියලු දේ සමඟින් ඔබ අනාගතයට සූදානම් වන අන්දම කියමු නේද?

මේ වන විට මම ආයතනික මට්ටමෙන් මිදිලා ස්වාධීන නිෂ්පාදන කළමනාකරුවෙක් වගේම රංගනයටත් යොමු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම ඉදිරියේදී චිත්‍රපට සඳහා දායක වෙන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

මංජුල ඔබට විශේෂ යමක් කියන්නයි මේ වෙලාව?

පුංචි කාලේ හීනය සැබෑවීම පුදුමයක්. සරසවිය පුවත්පත නිසා තමයි කලාවට උනන්දු වුණේ. මම විවාහකයි. මට පුතුන් දෙදෙනෙක් ඉන්නවා. ආර්ථිකය ගැන නොසිතා මට මේ ගමන එන්න අත දුන්නේ මගේ බිරිඳ. ඇයට මම මගේ හද පිරි විශේෂ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම නාට්‍ය කලාවේ දොරටු විවර කළ විමල් ගීගනගේ, ඩග්ලස් සිරිවර්ධන, බර්මින් ලයිලි ප්‍රනාන්දු, ප්‍රියන්ත කොළඹගේ මහත්වරුන් ඇතුළු මේ දක්වා අත දුන් හැමෝටම මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමනවා. ඒ වගේම ඔබේ අදහස් දැනගන්නත් කැමතියි. මගේ වැරදි නිවැරදි කරගන්න ඔබේ අදහස් බොහෝ වටිනවා. ඒ නිසා 0777676101 මගේ දුරකථනයට කතා කරනවා නම් මම කැමතියි.