වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




ඇල්වතුර උණුවතුර මාරු වී ගාමිණී රෝහලේ

ඇල්වතුර උණුවතුර මාරු වී ගාමිණී රෝහලේ

කුමාරගෙන් ගිරාට කුණු බාල්දි ප්‍රහාරයක්

නිල්මිණි ඔළුවෙන් හිටගනී

ස් . . . ස් . . . ස් අයියේ අයියේ . . . පොඩ්ඩක් මෙහෙට එන්නකෝ . . .

කෙටි තාප්පයකින් එබුණු පුංචි ළමයකු මට අඬ ගසයි.

ඇයි?

අනේ අයියේ මට අන්න අර කඩෙන් අයිස්ක්‍රීම් එකක් ගෙනත් දෙන්නකෝ. මෙන්න සල්ලි . . .

මොකද මට කියලා ගෙන්න ගන්න හදන්නේ? ඔයාට ගෙදරින් එන්න දෙන්නෙ නැද්ද? අම්මා සැරයි ද?

මේක මගේ ගෙදර නෙවෙයි? මෙතන ඉන්න අයියලා මාව කොහේටවත්ම යවන්නෙ නැහැ අනේ හවස් වෙනකම්.

ඒ මොකෝ?

අයියෝ උත්තර දිදී ඉන්න වෙලාවක් නැහැ. ඔයා කියපු දේ කරන්නකෝ.

සිහින . . . සිහින . . . කොහෙද ඔයා . . . ආ මේ ඉන්නේ තාප්පයක් උඩ නැගගෙන . . . යමු යමු. රන්ජන් අයියා ඔයාව හොයනවා.

නිවසින් පැමිණි තරුණයකු සිහිනව වඩාගෙන ඇතුළට ගියේය.

එහි ගේට්ටුවට අගුළුලා තිබිණි. එහෙයින් මට පිටත සිටින්නට සිදු විය.

මෙතන මොකක්ද වෙන්නේ?

මම අසල්වැසියකුගෙන් විමසීමි.

ඇයි මෙතැන ගැන දන්නේ නැද්ද? අඩුම තරමේ මේ ගම ගැන අහලා නැද්ද?

නැහැ. කොහෙද මේ?

ගිමන් නිවන හරිය

අමුතු මිනිසුන් ඇතිය

නවතින්නට ද පිිරිය

මේක සිහිනපුරය

ඔහු මට පිළිතුරු දුන්නේ කවියකිනි.

එහි තෙවැනි පේළියේ කියූ පරිදි මට මෙතැන මොහොතක් නවතින්නට පළමුව පිරිය ඇති විය. දෙවනුව මට කල්පනාවට ආවේ සිහින පුරය යනු සිරස නාළිකාවේ සෑම සතියේ දිනකම රාත්‍රී 7.30 ට විකාශය වන ටෙලි නාට්‍ය බවය. එය රූගත කෙරෙන්නේ මෙතැන විය යුතුය.

ස්වල්ප වේලාවකින් නිවසින් පිටතට ආවේ පිරිසකි. පිටපතක් අතින්ගත් සිහින පුරයේ අධ්‍යක්ෂ රන්ජන් ප්‍රසන්න, ගිරිරාජ් කෞශල්‍ය, නිල්මිණි බුවනෙක, ගාමිණී හෙට්ටිආරච්චි, සංජීව දිසානායක, කුමාර තිරිමාදුර මට අයිස් ක්‍රීම් ගේන්න කියූ දරුවා ද ඒ අතරය.

අයියත් එන්න අපේ ෂූටිං බලන්න. කාටත් කලින් සිහිනගෙන් ඇරැයුමකි.

බලාගෙන ඉන්නකෝ අපේ ෂූට් එක කොහොමද කියලා. නියම වැඩ තමයි වෙන්නේ.

රන්ජන් එහෙම කියමින් චමිලා සහ සංජීව දිසානායක සිටිනා දර්ශනයක් ඇරැඹීය.

චමිලා අසල ඇති වාහනයකට නැගී එය පණ ගන්වා රේස් කරයි. සංජීව සිටින්නේ වාහනය ඉදිරියේය. චමිලා එසේ කරනුයේ සංජීවව බියවැද්ද වීමටයි. හදිසියේම චමිලාගේ අතින් තිරිංග පද්ධතිය ලිහිල් විය. වාහනය ගැස්සී ස්වල්ප දුරක් ඉදිරියට ආවේය. එන පොට හොඳ නැති බව දැනගත් සංජීව වෙනතකට පැන ගත්තේ කෑගසමිනි.

හප්පේ පොඩි කාලේ දුර පැනලා තියන හින්දා හොඳයි. නැතිනම් මං එලොව.

එතැන එසේ වෙද්දී තවත් තැනක දෙදෙනෙකු උස් හඬින් බහින් බස් වෙයි. ඒ වෙන කවුරුවත් නොව කුමාර තිරිමාදුර සහ ගිරිරාජ් කෞශල්‍යයයි. කුමාරගෙ අතේ කුණු පිරී ඇති බක්කියකි. වාදය උත්සන්න වූ තැන ඔහු එය ගිරිරාජ්ගේ හිසෙහි හැලුවේය.

අයියෝ කුමාර අයියේ ඔයා ෂූට් එකේදී කරන්න ඕන දේ දැන් කළේ. හරි හරි කමක් නැහැ ගිරා අයියා දැන් හොඳට නාලා කරලා එන්නකෝ.

රන්ජන් එවදන් පැවසුවේ වමතින් නාසය වසා ගන්නා ගමන්ය.

මේක හොඳයි. මට තමයි මරු වැඩේ වුණේ.

ගාමිණී හෙට්ටිආරච්චි පෙර මතකයක් අවදි කරන්නට සැරසෙයි.

දවසක් එක සීන් එකක තිබුණා මාව නාවන. උණු වතුරයි ඇල් වතුරයි භාජන දෙකක දාලා තිබුණේ. වැරදිලා මගේ ඇඟට උණු වතුර දැම්මයි කියමුකෝ. එදා මාව හොඳටම පිච්චුණා. ඉස්පිරිතාලෙත් අරන් ගියා. දැන් නම් හොඳයි.

අයියා වැඩක් නැහැ. මට අයිස්ක්‍රීම් ගෙනත් දුන්නේ නැහැනේ.

සිහින දඟකාරව කියවයි. සිහින ළමා නළු කෝකිල පවන්ගේ බාල සහෝදරයාය. සිහිනගේ සැබෑ නම සත්සර පවන්ය. කතාවට අනුව සිහිනගේ මව්පියන් සිහිනව ජනප්‍රිය තරුවක් කිරීමට උත්සාහ කරවයි. එහිදී හරි අපූරු දේවල් සිදු වෙයි.

මේ අතරවාරයේ ගිරිරාජ් පිරිසුදුව ඇවිත්ය. විලවුන් සුවඳ ඔහුගෙන් නික්මෙයි.

හපොයි මෙන්න මෙයා මගේ සෙන්ට් බෝතලය ඉවර කරලා.

නිල්මිණිගේ මුහුණ ඇඹුල් විය.

මේ ඊළඟට තියෙන්නේ මම කරන එකම ඔයා කරන සීන් එක නේද?

ඔයාට මං කරන එක දෙයක් කරන්න බෑ. ඔට්ටුයි බැරුවට.

ගිරිරාජ් නිල්මිණිගේ සිතුවිලි වෙනත් පැත්තකට යොමු කර වීය.

මොකක්ද?

ඔන්න බලන්නකෝ . . .

ගිරිරාජ් කාමරයට ගොස් ඇඳක ඔළුවෙන් හිට ගත්තේය.

අයියෝ ඕකද?

ගිරිරාජ්ගේ අභියෝගය භාර ගත් නිල්මිණි ද ඔළුවෙන් සිට ගත්තේ අපි සැවොම මවිතයට පත් කරමිනි.

දැන් නම් දෙන්නගෙ මොළේ බහින්න ඇති නියම තැනට.

සිහින, අපේ මවිතය සිනහවක් බවට පත් කළේය. සුළු මොහොතකින් සිහින පුරයේ දුක්ගන්නාරාළ හෙවත් සීනා පැමිණියේ සියලු අඩු සපුරමිනි. සීනා වනුයේ සරත් කරුණාරත්නය.

සිහින පුරයේ තවත් දවසක් එලෙස ගෙවිණි. තවත් දර්ශනයක් රූපගත වෙද්දී මම ඔවුන්ගෙන් සමුගත්තෙමි.

සිහින පුරය රංගනයෙන් හැඩ කරන්නෝ:

අජිත් ලොකුගේ, කුසුම් පෙරේරා, ගංගා ජීවනී වැලිවත්ත, හර්ෂන බෙත්මගේ, ප්‍රතිභා හෙට්ටිආරච්චි, සුලෝචනා වීරසිංහ, ගිවන්ත අර්ථසාද්, ඥාණාංග ගුණවර්ධන, මානෙල් වානගුරු, දීපානි සිල්වා, බර්ටි නිහාල් සුසිරිපාල, ශෂිරංග වික්‍රමසේකර.

නිෂ්පාදනය - සන්ධ්‍යා මෙන්ඩිස්
රචනය – අසංක සායක්කාර
සහය අධ්‍යක්ෂණය – මහේන්ද්‍ර කුලසිංහ
කලා අධ්‍යක්ෂණය – ඩොරික් සමරතුංග
අංග රචනය – මලිත් ගුණසේකර
නිෂ්පාදන කළමනාකරු - සිදත් උපුල් ගුණවර්ධන