වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ කිරුළ ජනපි‍්‍රයත්වයයි
මේ ජිප්සීස් සුනිල් නොවේ, අනුර පලිහවඩන . . .

මගේ කිරුළ ජනපි‍්‍රයත්වයයි

වේලාව මැදියම් රැයට ආසන්නය.

මේ උදා වී ඇත්තේ විසේකාර ගැටවරයන්ගේ අතේ පයේ හිරි ඇර ගන්නා යාමයයි. ඔවුන් එසේ තම අතේ පයේ හිරි ඇර ගන්නේ එකිනෙකා පරයන විවිධ වූ නර්තන අංගයන්ගෙනි.

තැන එළිමහන් ප්‍රසංග වේදිකා භූමියයි.

හොඳයි . . . මීළඟට මම තමුන්නාන්සේලා වෙනුවෙන් තව ගීතයක් ගායනා කරන්නම්. එහෙම නම් දෙන්න බලන්න පොඩි සද්දයක්. රයිට්, තැන්ක්යු. එහෙම දෙන්න, දෙන්න තමයි ලැබෙන්නේ.

වත්මන් ප්‍රසංග වේදිකාවේ ප්‍රවේගවත් මෙන්ම ප්‍රතාපවත් හඬක් හිමි මේ සුවිශේෂී ගායන ශිල්පියා සිය රසිකයන් අමතන්නේ එලෙසිනි.

කමෝන් . . . වන් මෝ . . .

වයන පදට නෙක රැගුම් පාන්නට බලා හිඳිනා තරුණයන්ගේ පමණක් නොව තරුණියන්ගේද ඉල්ලීම එයයි.
 

‘පිටි කොටපන් නෝනේ

පිටි හලපන් නෝනේ

හෙට උදේට කන්නට මට

ඉඳීයප්පන් ඕනේ . . .’

සුනිල් පෙරේරා ප්‍රමුඛ ‘ජිප්සීස්’ ගයන එකී ජනප්‍රිය ගීය ඊට බෙහෙවින්ම සමාන අයුරින් එසේ ගැයෙන්නේ අප කතා නායකයා වූ අනුර පලිහවඩනගේ හඬිනි.

ජිප්සීස් සුනිල් ගේ ගී ආර, ඉදිරියට ගෙන යන එකී ගීතයන්ට උපරිම සාධාරණයක් ඉටු කරනා ගායන ශිල්පියකු ලෙස අනුර හඳුන්වා දීම වඩාත් උචිත යැයි මට සිතේ.

අපි හැමෝම දන්න විදිහට ඔබ ලංකාවේ ජනප්‍රිය චරිතයක් වුණේ ‘ජිප්සීස්’ සුනිල් වගේ ගීත ගායනා කරලා. ඒ පසුබිම ගැන මුලින්ම කතා කරමු.

මගේ ටීනේජස්වලදී ‘ජිප්සීස්’ වැඩිපුරම නැඹුරු වෙලා හිටියේ බටහිර සංගීතය පැත්තට. පානදුර පුරහල ග්‍රවුන්ඩ් එකේ ජිප්සීස්ලාගේ ප්‍රසංගයක් තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ඒ ප්‍රසංගය බලන්න මම ගියා. එතකොට මම පාසල් ශිෂ්‍යයෙක්. ඒ කාලේ ජිප්සීස්ලාගේ ‘කුරුමිට්ටෝ’ ගීතය ඇවිල්ලත් නැහැ. එදා තමයි මුලින්ම සජීවීව ඔවුන් මම දැක්කේ. ඒ වෙන කොටත් ‘ජිප්සීස්’ පුදුම ජනතා ආකර්ෂණයක් ලබපු සංගීත කණ්ඩායමක් වෙලා හිටියා.

ඔබත් ඒ අතරින් කෙනෙක්?

ඇත්ත, ජිප්සීස්ලාගේ විශේෂයෙන්ම සුනිල් පෙරේරාගේ ගායනයට, ඔහුගේ රංගනයට වගේම ඔහුගේ කතා විලාසයට පවා මම වශී වුණා කිව්වොත් නිවැරදියි. එදා ඉඳන් මට පුදුමාකාර ආදරයක් තිබුණේ සුනිල් අයියා, ජිප්සීස් සංගීත කණ්ඩායම ගැන. ඒක අදටත් වෙනස් වෙලා නැහැ.

එතකොට ඔබ ප්‍රසංග වේදිකාවේ ‘ජිප්සීස්’ ගී ගායනා කරන්න පටන් ගත්තේ කොයි අවිධියේද?

සංගීත ලෝකයට මම අවතීර්ණ වුණේ ඇත්තටම ජිප්සීස් ගීත ගායනා කරමින්. මුලින් ඉතින් පාසල් වේදිකාවේදී ජෝතිපාලගේ, එම්. එස්. ගේ ගීත තමයි ගායනා කළේ. කෙසේ හෝ වේවා අර මුලින් කිව්වා වගේ ජිප්සීස්ලා දැක්කට පස්සේ මගේ හැම දෙයක්ම වෙනස් වෙලා ඔවුන්ගේ ගීත ගායනා කරන්න ආසා හිතුණා. නොයෙක් ආධුනික ගී ප්‍රසංගවල මම ඒ කාලේ ජිප්සීස්ලාගේ ජනප්‍රියම ගීත වූ ‘ඔබ දුටු ඒ මුල් දිනේ’, ‘තොරන් බඳීන්නට’, ‘හිනා හිනා’, ‘කෙල්ලෝ ඇතුවත් බෑ’ වගේ ගීත තමයි වැඩිපුර ගායනා කළේ.

ඒ අවධියේ කොහොමද ඔබට ලැබුණු රසික ප්‍රතිචාර?

80 දසකයේ මුල් භාගයේ විතර මම එක්තරා ගී ප්‍රසංගයකට සහභාගි වුණ වෙලාවේ මට මතකයි ගායකයෝ දෙතුන් දෙනෙක්ම ඇවිත් ‘ආ . . . සුනිල් පෙරේරා ඇවිත්’ කියලා කිව්වා. මට පොඩි ජොලියකුත් දැනුණා. එදා නොමිලේ ගී ගයන්න මට එන්න කියලා කිව්වේ. නමුත් සිංදු කිව්වට පස්සේ රුපියල් තුන්සිය පනහක් ලැබුණා. ඒ තමයි සිංදු කියලා ගත්ත මුල්ම පේමන්ට් එක. හෝකන්දර විද්‍යාල හන්දියේ පැවැති ඒ ප්‍රසංගය සංගීතවත් කළේ උපාලි සන්නස්ගල ප්‍රමුඛ ‘සුපර් සෙවන්’. ඊට පස්සේ හැම සෙනසුරාදා, ඉරිදාවකම ඔය අවට තිබුණ ප්‍රසංගවල ගී ගයන්න මට ආරාධනා ලැබුණා. සුනිල් අයියගේ අවසරය පිට මම ‘කුරුමිට්ටෝ’ත් වේදිකාවට ගෙනාවා. ඒ ආපු ගමන තමයි ඉතින් මේ.

සුනිල් පෙරේරා කියා ඔබට රසිකයෝ රැවටුණ අවස්ථාත් තියෙනවා නේද?

ඔව් අසංක. එහෙම අවස්ථාත් තිබුණා. ඒක මට වාසියට හිටියට සුනිල් අයියගේ පැත්තෙන් බලන කොට ඔහුට ඒක ප්‍රශ්නයක් වුණා ඒ කාලේදි. මොකද ප්‍රසංග වේදිකාවට ගිහින් විදුලි ආලෝකය මැද්දේ, අර දුම් වලාවලට මැදි වෙලා ගීත ගායනා කරන කොට මාවත් ඉතිං අර බීලා කාලා ආතල් එකේ ඉන්න මිනිස්සුන්ට සුනිල් වගේ පෙනුණා. මොකද මමත් තොප්පිය දාලා ඔහු විදිහටම ඇැඳලා පැළඳලානේ එන්නේ. ආ . . . සුනිල් අයියා . . . කියලා සමහරු මම යන කොට අතත් වනනවා. මම ඒ අයට එතකොට පහදලා දෙනවා මම සුනිල් පෙරේරා නෙවෙයි කියලා. ඉතිං ඒ වගේ තමයි සිද්ධ වුණේ.

අනුර පලිහවඩන මුළු මහත් ලාංකේය ජනතාවම දැනගන්නේ ස්වර්ණවාහිනියේ - ‘ෂැඩෝ ස්ටාර්’ හරහා. මම හිතන්නේ එතනදි ඔබට සුනිල් පෙරේරාගේ ආශිර්වාදය හිමි වුණා. ඒක ඔබේ ජීවිතයේ අමරණීය අවස්ථාවක්?

ඇත්තටම ඔව්. ඔය ‘ෂැඩෝ ස්ටාර්’ ප්‍රෝග්‍රෑම් එක ආවට පස්සේ ‘සැග්මා’ සංගීත කණ්ඩායමේ නායක සිසිර තාඹුගල සොයුරා මට කිව්වා ඒකට ඉල්ලුම් කරන්න කියලා. ටිකක් කල්පනා කරලා බලලා මමත් ඇප්ලයි කළා. එතනදි ස්වර්ණවාහිනී ආයතනයේ බුද්ධික කුලසේතර, කාවින්ද සුරේන්, චිරාත් රාජපක්ෂ මහත්වරුන් මා ගැන විශේෂ සැලකිල්ලක් යොමු කළා කියලා මම දන්නවා. මම මුලින්ම ගායනා කළේ ‘අම්මා අම්මා’ ගීතය. ඉතින් ඒ වෙලාවේ කරපු ඒ ඉදිරිපත් කිරීමත් එක්ක මම ජිප්සීස්ලාගේ ‘ඔජායේ’, ‘කුරුමිට්ටෝ’, ‘ලුණු දෙහි’, ‘ළිඳ ළඟ සංගමය’, ‘පිටි කොටපන් නෝනේ’, ‘ලංකාවේ ලංකාවේ’ වැනි ගීත ප්‍රාසාංගිකව විදහා දක්වමින් තරගාවලියේ ඉදිරියට ආවා. ඔය අතරේ ස්වර්ණවාහිනියෙන්ම කතා කරලා ජිප්සීස් සුනිල්ලාගේ ගෙදරට මාව එක්කගෙන ගිහින් ඔහුගෙන් ගුරුහරුකම් මට ලබා දුන්නා. එක් දිනක් සුනිල් පෙරේරා මහත්මයාව විනිශ්චය මණ්ඩලයට කැඳවාගෙන විත් මගේ අඩු පාඩු පෙන්වා දෙමින් මට විශාල ශක්තියක් ලබා දුන්නා. සුනිල් අයියා එදා මට දුන්න ඒ සහයෝගයට මම හදපත්ලින්ම එතුමාට ස්තුතිවන්ත වෙනවා.

සමහරු ඔබට කියන්නේ ‘ඩුප්ලිකේට්’ සුනිල් කියලා?

ඔව් . . . ඉතින් ‘ෂැඩෝ’ එකක් කියන්නේ ඩුප්ලිකේට් තමයි. මේ වැඩ සටහනේදී ‘මිස්ටර් බීන්’ව පවා අනුකරණය කළා. ඒත් ඔරිජිනල් නෙවේනේ. ඔරිජිනල් වෙන්න බෑ කාටවත්.

බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව සහ ප්‍රාර්ථනාව වුණේ ඔබ ‘ෂැඩෝ ස්ටාර්’ වෙයි කියලා. ඇයි ඒ කිරුළ ඔබෙන් ගිළිහුණේ?

ඒක ඉතින් මම දන්නේ නැහැ. ඒ අවස්ථාව ගිළිහුණා කියා මම ස්වර්ණවාහිනිය සමඟ අමනාප වෙන්නේ නැහැ. මගේ ප්‍රේක්ෂක ජනතාව මේ තරගාවලියේ සිව්වන තැනට මා ඔසවා තැබුවා. මම වෙනුවෙන් එක් එස්. එම්. එස්. පණිවිඩයක් හෝ යැවූ, ඒ වගේම මට නොයෙක් අයුරින් උපකාර කළ, විශේෂයෙන්ම ‘සරසවිය’ ඇතුලු මුද්‍රිත මාධ්‍යයන්ට පවා මේ මොහොතේත් මා ස්තුතිවන්ත වෙනවා. මේ කිරුළ මට ලැබෙයි කියා බොහෝ දෙනෙක් විශ්වාස කළා. ඒ ප්‍රාර්ථනාව සුන් වුණ වෙලාවේ ඒ හැමෝම හඬා වැළපුණා. අඩුම තරමේ අවසන් තිදෙනා අතරටවත් මාව ආවේ නෑ. ඒත් ඒ ගැන මම කනගාටු වෙන්නේ නෑ. අද මට සංගීත ප්‍රසංග රාශියක් තියෙනවා. ඒක තමයි මගේ කිරුළ.

ඔබ තරගාවලියෙන් ඉවත් වූ දා බොහොම සංවේදී මොහොතක් වුණා. බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ඇසට කඳුළු ඉනූ මොහොතක් ඒ?

මේ කිරුළ අහිමි වීම නෙවෙයි මට වේදනාවක් ගෙන දුන්නේ. මගේ දුවගේ බලාපොරොත්තුව කඩවීමයි. මම පුදුමාකාර ආදරයක් තියෙන්නේ මගේ දුවට. ‘ෂැඩෝ ස්ටාර්’ වෙන්නේ තාත්ත තමයි කියලා එයා ස්කෝලේ යාළුවන්ටත් කියලා පුදුම සතුටකින් හිටියේ. මම තරගයෙන් ඉවත්වුණ වෙලාවේ දුව ඉකි බිඳිමින් හැඬුවා. මගේ මිතුරන්ට පවා එය ඉතා දුක්බර මොහොතක් වුණා. මා වෙනුවෙන් නැගුණු ඒ කඳුළුවලටයි මගේ ඇසෙනුත් කඳුලක් කඩා හැළුණේ.

මේ වෙන කොට ඔබේ දියණියත් ගායන ක්ෂේත්‍රයට පිවිසිලයි ඉන්නේ?

එයා’දෙරණ’ ලිට්ල් ස්ටාර් සීසන් 01, 02 තරගවලට ඉදිරිපත් වුණා. තරග වට පහළොවක් පමණ ඇවිත් ඇයට ඉවත්වන්න සිදු වුණා. ඇය ප්‍රසංග වේදිකාවේ බටහිර, හින්දි, සිංහල ගීත ගායනා කරනවා. ගිත්මි දුව සංගීතය හදාරමින් මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යනවට මගේ අකැමැත්තක් නැහැ.

මම හිතන්නේ ‘ෂැඩෝ ස්ටාර්’ හරහා ඇති වූ ‘මිත්‍ර සන්ධානය’ තුළ සුනිල් පෙරේරා ඔහුගේ ගීත ගායනා කිරීමේ නීතිමය අවසරය පවා ඔබට ලබා දුන්නා?

රත්නපුරේ පූජි ආයතනයේ අධිපති පූජි පතිරණ මහතා ජිප්සීස් කණ්ඩායමේ ජනප්‍රිය ගීත දොළහක් මගේ හඬින් නැවත පටිගත කර සංගත තැටියක් නිර්මාණය කරන්නට සූදානම් වුණා. ඒ අනුව සුනිල්ගේ ගීත දොළහක් ඔහුගේ අනුමැතිය සහිතව අප ලබා ගත්තා. ඉතාමත් ජනප්‍රිය ගීත දොළහක්. ඒක දැවැන්ත කාර්යයක් නිසා වැඩේ පොඩ්ඩක් පරක්කුයි. නමුත් මගේ ආදරණීය රසිකයන්ට ඉදිරියේදී ඒ ගීත සංගත තැටියක් මඟින් රස විඳින්නට හැකි වේවි.

ඉදිරි බලාපොරොත්තු?

ලබන වසරේ මගේ සජීවී ගී ප්‍රසංගයක් පවත්වන්නට දැන් සියලු කටයුතු සූදානම්. එය අලුත්ම ආරකින් ඉදිරිපත් කරන්නටයි සැළසුම් කොට තිබෙන්නේ.