වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




අන්තර්ජාතික ජූරියට තෝරා ගත්තාම මට බය හිතුනා

අන්තර්ජාතික ජූරියට තෝරා ගත්තාම මට බය හිතුනා

ඉන්දිය අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරි සභික

නිළි රැජන, ආචාර්ය මාලිනී ෆොන්සේකා පවසයි

අපේ සිනමාවට 65 වසර පිරුනේ මේ වසෙර්ය.සරසවිය සිය පනස් වන වසර සපුරන්නේ ලබන වසෙර්ය.ඒ අතර වාරයේ ඉන්දියානු සිනමාව සිය වසර සපුරන්නට ද සූදානම් වෙයි. එය එනම් මුල්ම ඉන්දිය වෘතාන්ත චිත්‍රපටය තිර ගත වූයේ 1913 වසරේ බැවිනි.

ඒ ඩී.ජේ.පාල්කේ අධ්‍යක්ෂණය කළ රාජා හරිශ්චන්ද්‍ර තිර ගත වී එන වසරට සිය වස සපිරෙන බැවිනි.මේ අතරවාරයේ අපේ සිනමාව බිහිවූ ඉන්දියාවේ දී තවත් වරක් අපේ මව්බිම ජගත් අවධානයට පත් වෙමින් පවතී. ඒ මේ දිනවල ඉන්දියාවේ ගෝවේ හි පැවැත්වෙන 43 වැනි ඉන්දිය අන්තර්ජාතික සිනමා උළෙල සමගය.

ලොව ඉහළම සිනමා සම්මාන උළෙලයන්ගෙන් එකක් වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ දී අපේ රට ජාත්‍යන්තර අවධානයට පත් වන මුල්ම අවස්ථාව මෙය නොවේ. මෙරට මුල් වරට ජාත්‍යන්තර සම්මානයට පත් වූයේ 1965 වසරේ දී ගම් පෙරළිය චිත්‍රපටයට හොඳම චිත්‍රපටයට හිමි සම්ානය දිනා දුන්නේ ද මේ ඉන්දීය සිනමා උළෙලයි.එකල එය පැවැත්වූයේ නව දිල්ලියේය.

දැන් වසර දහයක පමණ සිට මේ ඉන්දිය උළෙල පැවැත්වනුයේ ගෝවේ ප්‍රාන්තයේ අගනුවර වූ පාන්ජිම් හිදීය. දීර්ඝ කාලයක් පෘතුගාලයේ යටත් විජිතයක් ව පැවැති ගෝවේ දැන් ඉන්දියාවේ සංචාරක පාරාදීසයයි.පාවෙන කැසිනෝවන් ද තරු පහේ හෝටල් ද සපිරි සුන්දර වෙරළක් වන ගෝවේ ප්‍රාන්තයට සිනමා උළෙල සින්න කරදීමේ ඉන්දියානු අරමුණ නම් වැඩි වැඩියෙන් සංචාරකයන් එරටට අද්දවා ගැනීමයි.

විශේෂයෙන් ආසියාවේ පැරණිතම සිනමා උළෙලක් වන ඉන්දියානු සිනමා උළෙල පවත්වනුයේ 43 වැනි වතාවට වුවද දැන් එය ආරම්භ කොට වසර 60 කට ආසන්නය.එමෙන්ම එය ලොව මහ ඉහළින් සලකන සිනමා උළෙලක් ද වනුයේ එයට වරින්වර පැමිනෙන බොලිවුඩ් හා හොලවුඩ් සුපිරිතරු කිසාවෙනි.

එමෙන්ම කලාත්මක වශයෙන් එහි සම්මානවලට ඇත්තේ ඉහළම පිළිගැනීමකි.ඉඳීන් මේ තරම් වටනා සම්මාන උළෙලක් මෙවර අපට වැදගත් වනුයේ ඇයි?ඒ අප සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකා මෙවර එම උළෙලේ අති ගෞරවනීය විනිශ්චය මන්ඩලයේ සාමාජිකත්වය ඉසිලීම නිසාය.

විශිෂ්ට ගණයේ බෙංගාල සිනමාකරුවෙක් වන ගෞතම් ගෝෂ් සභාපතිත්වය උසුලන එහි සෙසු සාමාජිකයන් වනුයේ ලෝ පතළ සිනමා විචාරකයකු වන ඩෙරික් මැල්නම්, සම්භාවනීය පෝලන්ත සිනමා කරු ලෙච් මැජවස්කි සහ රුමේනියානු නිළි ඇනා මරියා මරෙන්කාය.උළෙලට සපැමිණි රටවල් 72 කින් චිත්‍රපට 172 ක් විවිධ අංශයෙන් තිර ගත වන මෙහි තරගකාරි අංශයෙන් තරග වදින චිත්‍රපට සංඛ්‍යාව 15 කි.ඒ අතර ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය ද අයත් වීම විශේෂයකි.

කෙසේ වෙතත් දිනපතා චිත්‍රපට තුනක් ජාත්‍යන්තර සම්මාන සඳහා නරඹනු ලබන ජූරියේ අතිශය කාර්ය බහුල මොහොතක දී පවා සරසවිය වටා සිටින ආදරණීය රසික කැළ වෙනුවෙන් තම කාලය මිඩංගු කරන්නට අපේ නිළි රැජන මොහොතක් වත් මැලි නොවූවාය.මේ සංවාදය ඇය සමග කරනුයේ විශිෂ්ට චිත්‍රපටයක් නරඹා පැමිණෙන අතරවාරයේ ඇය නැවතී සිටින තරු පන්තියේ හෝටලයක් වන විවන්තා ටාජ් හෝටලයේ සිටය.

මෙයට වසර ගණනාවකාට පෙර ඉන්දියානු සිනමා උළෙලට ඔබ පැමිණි මුල්ම අවස්ථාව සිහිපත් කරන්නට පුළුවන් ද?

ඔව්.තවමත් මතකයි.1978 අවුරුද්දේ සිරිපාල සහ රන්මැණිකා චිත්‍රපටය සමග.එදා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්,සුමිත්‍රා පීරිස් මහත්මිය,අමරනාත් ජයතිලක,රවීන්ද්‍ර රන්දෙණිය,ධර්මසිරි ගමගේ ද සහභාගි වුණා.මට මතකයි. අති විශාල ඉන්දිය සිනමා තරු රැසක් ඒ සදහා සහභාගි වුණා. මා ඔවුන්ව මුල් වරට දැක ගත්තේත් එදා.ශෂී කපූර් ව පවා මතකයි.එවර ජූරි සභාපතිත්වය දැරුවේ සත්‍යජිත් රායි.

ඔහු චිත්‍රපට නැරඹුවට පසු මා දැක පුදුමයට පත් වුනා.එයට හේතුව රායි පැවසූ පරිද්දෙන්ම කියනවා නම් ඉන්දියාවේ එකල නිළියක් කිසි විටෙකත් එබඳු වෙස් ගැන්වීමකට කැමති නොවන බව ඔහු පැවසුවා.එහි දී හොඳම නිළිය ලෙස අමෙරිකානු නිළියකට සම්මානය හිමි වුනත් රායි අතින් මට වශේෂ ජූරි සහතිකය දිනා ගැන්මට සමත් වුණා.

පසුකලක ඔබ එම උළෙලේම හොඳම නිළිය ලෙස සම්මානය දිනා ගත්තා.ඒ අවස්ථාවේ දී හෝ ඔබ කිසි විටෙකත් මෙබඳුඅන්තර් ජාතික ජූරියක සාමාජිකත්වය ඉසිලීමේ දුර්ලභ අවස්ථාව ඔබට ලැබෙයි කියා සිතුවාද?

අපොයි කිසි විටකත් නැහැ. එහෙම තියා මා ලංකාවේදී වත් මා සිනමා ජූරියක කටයුතු කර තිබුනේ නැහැ.එබැවින් මේ සඳහා අදාළ ආරාධනාව ලැබුණාම මට බයක් මෙන්ම පුදුමයකුත් හිතුණා.

කොහොම උනත් මා දැන් රංගනයට පිවිස පනස් වසරකට ආසන්නයි.එබැවින් ඒ අත්දැකීම් මට ප්‍රයෝජනවත් වන බැව් මා දන්නවා.මේ අවස්ථාව මා වෙත ලැබීමට පෙර ප්‍රවීණ සිනමා විචාරක ඈෂ්ලි රත්නවිභූෂණගෙන් ඉන්දිය උළෙලේ සංවිධායකයන් මා පිළිබඳ විමසා තිබුණා.ඈෂ්ලි මේ බැව් මට පැවසුවා.

ඔබට පෙර මේ අවස්ථාව ලැබුණු ලාංකිකයන් මතකද?

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීර්ස් වරක් මේ උළෙලේ විනිශ්චය මණ්ඩල සාමාජිකත්වය ඉසිලුවා.

මෙවර චිත්‍රපට සඳහා සම්මාන ලාබා දීමේදී කිසියම් න්‍යාය පත්‍රයක් තිබෙනවාද?

නැහැ. ඒ පිළිබඳ අපට නිදහස ලබා දී තිබෙනවා.ජූර් සාමාජිකයන්ගේ සාකච්ඡා සම්මුතිය මත සියල්ල සිදුවේවි.කොහොමඋනත් හොඳම නළුවා නිළිය,අධ්‍යක්ෂණය,චිත්‍රපටයට අමතරව ජූරිය විශේෂ සම්මානයකුත් පිරි නැමෙනවා.ජූරියේ විශේෂ සම්මානය චිත්‍රපටයක කිසියම් අංගයක් හෝ කිසියම් කාර්යයක් වෙනුවෙන් පිරිනැමේවි.

කලකට ඉහත සිනමාව යනු නෙගටිව් පටයේ පමණක් රූ ගත වන්නක් . එහෙත් එය අද ඩිජිටල් තාක්ෂණයත් සමග වෙනස් වෙනවා. මේ නිසා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලයන් ගේ චිත්‍රපට වලදී එය නිපදවන ලද මාධ්‍ය පිළිබඳ සඳහන් වෙනවා. මේ තත්වය ජූරියට බලපානවාද?

නැහැ. කිසිසේත්ම නැහැ.

මේ වන විට ජූරිය මගින් නරඹා චිත්‍රපට පිළිබඳ ඔබට හිතෙන්නේ කුමක්ද?

මේ විවිධ රටවල විවිධ සිනමාකරුවන් ජීවිතය හා ලෝකය දකින ආකාරය ත් වර්තමාන පරම්පරාව ලෝකය පිළිබඳ හිතන ආකාරයත් පෙනෙනවා.මට වඩාත් ම සිතුන කාරණය තමයි ලෝක සිනමාවේ පේ්‍්‍රක්ෂකයන්ට වඩා අවශ්‍ය දේ පිළිබඳව අලුතින් සිතන්නට පටන් ගෙන ඇති බවයි.

ඒ වගේම මෙවර ඉන්දියානු සිනමාවේ සියවස හරහා තවත් අලුත් කාරණයක් මට පෙනෙනවා.ඒ ගෙවුණ සියවස හරහා අලුත් පරම්පරාවට තම මුල් සොයා යන්නට අවෂ්ථාව ලැබී තිබෙනවා.

විශේෂයෙන් මෙහි මෙවර ඇති ඉන්දියානු පැරණි චිත්‍රපට ඉන්දියාවේ අලුත් පරම්පරාවට දැක ගන්නට ලැබීමයි. කොහොම උනත් මේ උළෙල බොලිවුඩයට වඩා වෙනත් අයට වටිනවා.එයට හේතුව අද බොලිවුඩ් සිනමාවෙ අරමුණ මුදල් නිසා. අපේ වාසනාවට අපේ රටේ නම් මේ දෙවර්ගයේම සිනමාව තියෙනවා.

කෙසේ වෙතත් දිගු කලකට පසු ඔබ ප්‍රධාන චරිතය රඟපාන චිත්‍රපටයක් තිර ගත වෙනවා. ඒ ප්‍රතිරූ චිත්‍රපටයයි.?

ඔව් අපේ රටේ යුද්ධයට ගිය බොහෝ දරුවන්ගේ මව්වරුන් වඩා සුවිශේෂ කැපවීමක් කළා.මේ චිත්‍රපටයේ එන අම්මා තමන්ගේ දරුවා විශ්ව විද්‍යාලයට යනවාට වඩා රට වෙනුවෙන් යුද වැදීම වඩා යහපත්යැයි විශ්වාස කළා.

එය අපේ විහාර මහා දේවි වැනි චරිතයක ප්‍රති රූපයක්. එබඳු චරිත ඕනෑ තරම් හිටියා.අප අපේ.මට හමුවුණා රටේ දී දැක්කා

ප්‍රති රූ තිර ගත වනුයේ ආකාස කුසුම් චිත්‍රපටයට පසුවයි. කොටින්ම වසර කිහිපයක නිහැඬියාවකට පසුවයි. මේ කාලය ගෙවීයාම පාඩුවක් නොවන්නේද?

ඒ කාලය ඇතුළත චිත්‍රපට කිහිපයක් ලැබුනත් ඒවායේ කරන්නට යමක් තිබුණේ නැහැ. චිත්‍රපටයක චරිතය ලොකු පොඩි කම ඒතරම් වැදගත් නැහැ. අබා සහ මචං චිත්‍රපට වල තිබුණ චරිත නිළියක හැටියට මට වැදගත් වුණා. මෙවර ඉන්දියානු උළෙලේ ආරම්භක චිත්‍රපටය වූ ‘ස්ටෝරි ඔෆ් පායි ’ චිත්‍රපටයේ ලෝ පතල සම්මානනීය නළු ජෙරාඩ් දෙපාර්දු රඟපානුයේ තත්තපර කිහිපයක දර්ශනයක් පමණයි.

තවත් ඔබේ කාලය නොගෙන ඔබෙන් අසන්නනේ, අපේ රටේ අනාගත ආයෝජන අතර වඩාත්ම බලාපොරොත්තු තියෙන්නේ සංචාරක ව්‍යාපාරය පිළිබදවයි. එමෙන්ම අපේ රටේ ඇති නිදහස වඩා දැනෙන්නේ විදෙස් ගතවූවා ට පසුවයි.අපේ රටේ ජාත්‍යන්තර සිනමා උළෙලක් පවත්වන්නට අපට බැරි ඇයි? එය අපේ රටේ සංචාරක ව්‍යාපාරයට මෙන්ම විශාල මුදලක් රට ඇතුළට ගලා එන්නට මග පෑදෙනවා නේද? ඇයි අප්‍රමාද?

ඇත්තටම ඒ කාරණය හරි.මේ පිළිබඳ ඉතා ඉක්මනින් පුළුල් වැඩ පිළිවෙළක් අවශ්‍ය බැව් මගේත් අදහසයි.ඉතා ඉක්මනින් අප සූදානම් වෙමු.