වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




යාළුකමට වැඩ එපා

යාළුකමට වැඩ එපා
 

ගායක - ගායිකාවන් නළු නිළියන්ගේ අයිතිවාසිකම් හඳුනා ගනිමු

තම අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව දැනගැනීමට ලැබුණ මුල් අවස්ථාවේදීම ඒ පිළිබඳ නිවැරදි සහ සත්‍ය තොරතුරු කඩිනමින් සහ රහසිගතව සපයා ගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.

ගායක ගායිකා, රංගන ශිල්පීන්, නළු නිළියන් ඇතුළු ඉදිරිපත් කරන්නන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සරසවිය පුවත්පතේ පළ වූ ලිපියට එම ක්ෂේත්‍රයන්හි නියුතු බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බව ඒ පිළිබඳව මගෙන් කරනු ලැබූ විමසීම්වලින් පෙනී ගියේය. තමන් මුල්වරට ඉදිරිපත් කළ නිර්මාණ වෙනත් පාර්ශවයන් විසින් නැවත ඉදිරිපත් කිරීමෙන් නොනැවතී කැසට් පට, වීඩියෝ පට ආදිය නිපදවා වෙළෙඳපළට නිකුත් කරමින් අලෙවි කරන බවත් ඒ නිසා තමන්ගේ ජීවන මාර්ගය අහිමි කිරීම පිළිබඳවත් බොහෝ දෙනෙක් මැසිවිලි ප්‍රකාශ කර සිටියහ. මීට එරෙහිව ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව තමන්ව දැනුවත් කරන මෙන් ද බොහෝ දෙනෙක් ඉල්ලා සිටියහ.

ඒ එක් එක් විමසීමට වෙන වෙනම පිළිතුරු දීම වෙනුවට පොදුවේ හඳුනාගෙන ඇති කාටත් මුහුණදීමට සිදුවන ගැටලුවලට පිළිතුරු සැපයීම මැනැවැයි කල්පනා කළෙමි.

නිර්මාණයක ප්‍රකාශන අයිතිය (copyright) හිමි තැනැත්තාට තම ජීවිත කාලය තුළ තම නිර්මාණය පිළිබඳ පරම අයිතිවාසිකමක් හිමිවන අතර එම තැනැත්තාගේ මරණින් පසු වසර හැත්තෑවක කාලයක් එම අයිතිවාසිකම් ඔහුගේ උරුමකරුවන්ට ක්‍රියාත්මක කළ හැකි බව මගේ මීට පෙර පළ වූ ලිපිවලින් පෙන්වා දී ඇත.

ඒ ආකාරයෙන්ම නිර්මාණයක් ඉදිරිපත් කරන්නාටත්, ඔහු නිර්මාණය ඉදිරිපත් කළ මුල් අවස්ථාවේ සිට සහ ඊට පසුව එළඹෙන වර්ෂයේ සිට වසර පනහක් කාලයක් සහ පනස්වන වසරේ අවසාන දිනය දක්වා ද ඉදිරිපත් කිරීමේ අයිතිවාසිකම හිමිවන බවත් දෙවන පෙළ අයිතිවාසිකමක් වූ එය සම්බන්ධිත අයිතිවාසිකම (ආසන්න හිමිකම) (neighbouringright) ලෙසත් හැඳින්වෙන බව පෙන්වා දුනිමි. මෙම අයිතිවාසිකම වසර පනස් එකකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වන බව මෙයින් පෙනී යනු ඇත. එම කාලය තුළ මුල් ඉදිරිපත් කරන්නාගේ ඉදිරිපත් කිරීමක් ඔහුගේ අවසරයකින් තොරව වෙනත් පාර්ශවයක් විසින් ඉදිරිපත් කරනු ලැබීම නීත්‍යානුකූල නොවේ. එහෙත් අපට දක්නට ලැබෙනුයේ මීට පටහැනිව කටයුතු කරන අවස්ථායි.

ගී පද රචකයන්, සංගීතඥයින්, ගායක, ගායිකාවන්, නළු නිළියන් නිතර එකිනෙකා සමඟ ආරාවුල් ඇතිකර ගන්නවා පමණක් නොව විකාශය සංවිධාන, වීඩියෝ සහ තැටි නිෂ්පාදකයන් සමඟ ද නිරන්තර ආරවුල් ඇති කර ගන්නා බව මම අත්දැකීමෙන්ම දැන සිටිමි.

මෙයට හේතු කවරේද? ඉන් මිදීමට ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද?

පෞද්ගලික මිත්‍රත්වය සහ වාචික එකඟතා මත ක්ෂේත්‍රය තුළ කටයුතුª කිරීම ආරවුල්වලට ප්‍රධාන හේතුව ලෙස මම දකිමි. නිදසුනක් වශයෙන් ගායකයකුගේ ගීතයක් ජනප්‍රිය වී ආදායම වැඩියෙන් ලැබෙන විට ගී පද රචකයා සහ සංගීතඥයා සමඟ මතභේද හට ගනී. වීඩියෝ හෝ කැසට් පටියක අලෙවිය සාර්ථක වනවිට ඊට සහභාගි වූ ශිල්පින් සහ නිෂ්පාදක අතර මතභේද හට ගනී. ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ ද මෙවැනි ආරවුල් දක්නට ලැබේ. පොතක අලෙවිය සාර්ථක වන විට පොත් ප්‍රකාශක සමඟ මතභේද ඇති කර ගනී.

මෙම ආරවුල් විසඳා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන තිබියදී එවා පිළිනොපැදීම මීට මූලික හේතුවයි.

පෞද්ගලික මිත්‍රත්වය සහ වාචික එකඟතා මත කටයුතු කිරීම නීතිය ඉදිරියේ පිළිනොගැනේ. නිදසුනක් වශයෙන් මිත්‍රත්වය මත කටයුතුª කරමින් වෙළඳපළට නිකුත් කරන කැසට් පටයක අලෙවිය වෙළඳපළේ සාර්ථක වූ විට පාර්ශවකරුවන් අතර වූ පෞද්ගලික මිත්‍රත්වය බිඳ වැටී ඔහු පරම හතුරන් බවට පත් වෙති.

මෙවැනි ආරවුල් ඇතිකර ගැනීම වැළැක්විමට නම් කළ යුත්තේ ආරම්භයේදීම පැහැදිලි කොන්දේසි ඇතුළත් ලිඛිත ගිවිසුම් ඇති කර ගැනීමයි. ගීතයක් නම් එය ඉදිරිපත් කරන ගායකයා ගීතයේ පද රචකයා සහ සංගීතඥයා සමඟ ලිඛිත ගිවිසුමකට එළඹිය යුතු වෙයි. කැසට් පටියක හෝ වීඩියෝ පටියක් නිෂ්පාදනය කරන විට නිෂ්පාදක සමඟ ලිඛිත ගිවිසුමකට එළඹිය යුතු වෙයි. එම ගිවිසුමට නිෂ්පාදනය කරන පිටපත් සංඛ්‍යාව, එම ගිවිසුම බල පවත්වන කාල සීමාව, ආදායම බෙදී යන ආකාරය ආදී කරුණු ඇතුළත් විය යුතු වෙයි. විකාශන ආයතනයකට ගීතයක් ලබා දෙන විට ද එම ආයතනය සමඟ ද ලිඛිත ගිවිසුමකින් බැඳිය යුතු වෙයි. විකාශන ආයතනයකට ප්‍රචාරය කිරීම සඳහා එක්තරා කාල සීමාවකට යටත්ව ගීතයක් ලබා දුන් විට එම ආයතනයට කළ හැක්කේ අදාළ කාල සීමාව තුළ එම ගීතය ප්‍රචාරය කිරීම පමණකි. එම ගීතය යොදා ගෙන කැසට් පටයක් නිපදවීමට හෝ වෙනත් කාර්යයක් සඳහා අලෙවි කිරීමට අදාළ ආයතනයට හිමිකමක් නොලැබේ.

2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනතේ II කොටසේ I වන පරිච්ඡේදයේ 16 වගන්තියේ ලිඛිත ගිවිසුම් ඇති කර ගත යුතු බව පැහැදිලිවම දක්වා ඇති බැවින් ඒ අනුව කටයුතුª කිරීමට ප්‍රකාශන අයිතිය හිමිකරුවන් මෙන්ම ඉදිරිපත් කරන්නන් ද ඒවා පරිභෝජනයට ගන්නා ආයතන ද බැඳී සිටියි.

මෙවැනි නීති කොතෙක් පැවතිය ද ප්‍රකාශන අයිතිය හිමිකරුවන්ගේ මෙන්ම ඉදිරිපත් කරන්නන්ගේ ද අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධීන්ගේ අඩුවක් නැත. එබැවින් තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවලදී ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ දැන සිටීම ඉදිරිපත් කරන්නන්ට ප්‍රයෝජනවත් වේ.

නිර්මාණකරුවන්ගේ සහ ඉදිරිපත් කරන්නන්ගේ අයිතිවාසිකම් පාලනය කරන ප්‍රධාන ක්‍රම දෙකකි. ඉන් එකක් නම් නිර්මාණකරු හෝ ඉදිරිපත් කරන්නා විසින් තමන්ගේ අයිතිවාසිකම් පාලනය කරගනු ලැබීමයි. වෙනත් වචනවලින් කිවහොත් තමන්ගේ අයිතිවාසිකම් පෞද්ගලිකවම පාලනය කර ගැනීමයි.

දෙවන ක්‍රමය සාමුහික පරිපාලන සමාගමක් හරහා තමන්ගේ අයිතිවාසිකම් පාලනය කිරීමයි. නිර්මාණ හිමිකරුවන්ගේ සහ ඉදිරිපත් කරන්නන්ගේ අයිතිවාසිකම් පාලනය කිරීම සඳහා ඇති සාර්ථකම ක්‍රමය වනුයේ ද සාමුහික පරිපාලන ක්‍රමයයි. ලෝකයේ බොහෝ රටවල සාමුහික පරිපාලන සමාගම් සාර්ථක ලෙස ක්‍රියාත්මක වීම මීට නිදසුනකි.

මෙම ලිපිය මගින් පෞද්ගලික මට්ටමින් තමන්ගේ අයිතිවාසිකම් පාලනය කිරීම පිළිබඳව පමණක් කරුණු දැක්වීමට අදහස් කෙරේ.

තමන් මුල්වරට ගායනා කළ ගීතයක් වෙනත් අයකු විසින් තමාගේ අනුදැනුමකින් තොරව ගායනා කරන බව දැනගතහොත් මුල් අවස්ථාවේම එය වැළැක්වීම සඳහා වානිජ අධිකරණය හරහා වාරණ නියෝගයක් ලබා ගැනීමට එනම් ඉන්ජන්ක්ෂන් තහනමක් ලබා ගැනීමට මුල් ගායකයාට හිමිකමක් ඇත. පසුව අලාභ අයකර ගැනීමේ හැකියාව ද ඇත.

තම අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව දැනගැනීමට ලැබුණ මුල් අවස්ථාවේදීම ඒ පිළිබඳ නිවැරදි සහ සත්‍ය තොරතුරු කඩිනමින් සහ රහසිගතව සපයා ගැනීමට කටයුතුª කිරීම වැදගත් වේ. නිදසුනක් ඇසුරෙන් මෙම කාරණය පැහැදිලි කරතහොත් ප්‍රසංග වේදිකාවකදී තමන්ගේ ඉදිරිපත් කිරීම් අනවසරයෙන් නැවත ඉදිරිපත් කරනවා යැයි දැනගන්නට ලැබී ඇතැයි සිතමු. එවැනි අවස්ථාවක ප්‍රසංගය සංවිධානය කරන පුද්ගලයන්ගේ නම් සහ ලිපිනයන්, දුරකථන අංක ආදිය ද එම ප්‍රසංගය පැවැත්වීම පිළිබඳව පුවත්පත්වල ප්‍රවෘත්ති පළකර ඇත්නම් ඒවායේ පිටපත් ද, ප්‍රචාරක පත්‍රිකා සහ එම ප්‍රසංගය පිළිබඳව ප්‍රසිද්ධ ස්ථානවල අලවා ඇති දැන්වීම් ආදිය ද රැස් කරගත යුතු වෙයි. ප්‍රසිද්ධ ස්ථානයක අලවා ඇති දැන්වීමක් නම් එම ස්ථානය හඳුනාගත හැකි වන පරිදි දැන්වීමත් සමඟ එම ස්ථානය ඡායාරූප ගත කර ගැනීම ප්‍රයෝජනවත් වේ. ප්‍රසංගය සඳහා ටිකට් පත් අලෙවි කරන්නේ නම් එයින් කීපයක් ද ලබා ගැනීමට හැකි නම් මැනවි.

අනතුරුව කළ යුත්තේ එම ප්‍රසංගය පැවැත්වීම වාරණය කිරීම සඳහා නීතිඥයකු මාර්ගයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීම සඳහා වානිජ අධිකරණයට අයදුම් කිරිමයි. තමන් රැස්කරගත් තොරතුරු වාරනය ලබා ගැනීමට මෙන්ම පසුකාලිනව අලාභ අයකර ගැනීමේදී ද බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමේදී ගී පද රචකයා සහ සංගීතඥයා ද පැමිණිල්ලට එක්කර ගත හැකි නම් ඔබගේ කාර්යය වඩා ඵලදායි වනු ඇත.

ප්‍රසංග වේදිකාවේදී ගායනා කරන ගීත කැසට්පටවලට ගෙන අලෙවි කරන අවස්ථා ද බහුලව දක්නට ලැබේ. ප්‍රසංග වේදිකාවේදී තමන්ගේ ගායනය තම අවසරයකින් තොරව වීඩියෝ කිරීමට හෝ කැසට් පටයකට ගැනීමට විරුද්ධවීමේ අයිතිය නිර්මාණකරුට මෙන්ම ඉදිරිපත් කරන්නාට ද ඇත. තම විරෝධය නොතකා කටයුතු කරන්නේ නම් වහාම පොලීසියට පැමිණිල කොට අවශ්‍ය කටයුතු කළ හැකිය.

මෙම නීතිමය ප්‍රතිපාදනවලට අමතරව ආරවුල් සමථකරණ වැඩ පිළිවෙළක්ද බුද්ධිමය දේපල පනතින් හඳුන්වා දී ඇත. සුළු ආරවල් සම්බන්ධයෙන් වැදගත්වන මෙම වැඩ පිළිවෙළට අනුව තමන්ගේ ආරවුල ජාතික බුද්ධිමය දේපළ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉදිරිපත් කළ හැකිය. ඒ සඳහා 2005 ඔක්තෝම්බර් 19 දින දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති ආකෘති පත්‍රය පිටපත දෙකකින් සම්පූර්ණ කර ඒ සමඟ තමන්ගේ ආරවුල පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් සහ සාක්ෂි පිළිබඳ විස්තර ද සමගින් පිටපත් දෙකකින් යුතුව දිවුරුම් පෙත්සමක් මගින් ජාතික බුද්ධිමය දේපළ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ. අධ්‍යක්ෂ ජනරාල්වරයා ආරවුල පිළිබඳව විභාගයක් පවත්වා දෙනු ලබන තීරණය පාර්ශවකරුවන් කෙරෙහි බලපාන අතර එම තීරණයට එකඟ නොවන්නේ නම් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ හැකිය. (මෙය නොමිලයේ සිදු කරන සේවාවකි).

නිර්මාණ, නිර්මාණකරුගේ අවසරයකින් තොරව ඉදිරිපත් කිරීම මෙන්ම මුල් ඉදිරිපත් කරන්නාගේ අවසරයකින් තොරව තෙවන පාර්ශවයක් විසින් නැවත ඉදිරිපත් කිරීම ද නීත්‍යානුකූල නොවන බව ඉහතින් පැහැදිලි කළෙමු. මෙම නීති විරෝධී ක්‍රියාව වැළැක්වීමට මෙන්ම ඒ නිසා තමන්ට සිදු වූ අලාභය අයකර ගැනීම සහ වෙනත් සහන ලබා ගැනීමට ද 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතින් ප්‍රතිපාදන සලස්වා ඇත. එහෙත් අවාසනාවකට මෙන් ඒ පිළිබඳව එම ක්ෂේත්‍රවල නියුතු පිරිස් දැනුවත්ව නොසිටීම නිසා නිර්මාණ හොරුන්ට රිසි සේ තම ජාවාරම කරගෙන යාමට හැකි වී ඇත.