වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රවීණ මාධ්‍යවේදී, ගීත රචක සිරිල් ඒ. සීලවිමල ගුණ සැමරේ

ප්‍රවීණ මාධ්‍යවේදී, ගීත රචක සිරිල් ඒ. සීලවිමල ගුණ සැමරේ

කීර්තිමත් පුවත්පත් කලාවේදියකු මෙන්ම ජනකාන්ත ගීත රැසක් ලියූ ප්‍රවීණ ගීත රචකයකු වූ සිරිල් ඒ. සීලවිමල මිය ගොස් දෙසැම්බර් 04 වැනි දිනට වසර දෙකක් සපිරේ. මේ නිමිත්තෙන් ලබන දෙසැම්බර් පළමුවැනිදා රාත්‍රී සුමධුර දම් දෙසුමක් සහ පසු දින සංඝගත දක්ෂිණාවක් අනුරාධපුර ඔහුගේ වැඩිමල් පුතුගේ නිවසේදී පැවැත්වේ.

නව පරපුරට ආදර්ශමත් පුවත්පත් කලාවේදියකු ලෙස රිවිරැස සහ දවස පුවත්පත්වල කර්තෘත්වය දරමින් ඉතාමත් අනගි සේවයක් ඉටු කළ හෙතෙම මෙරට අතිශය ජනාදරයට පත් ගීත රැසක පද හිමිකරුවා ද වෙයි. වික්ටර් රත්නායක ගැයූ ‘මෝහෙන් මුලා වෙලා’, මොරිස් දහනායක ගායනා කළ ‘මෙත් මල් පිබිදේවා’, සුදෝ පොඩ්ඩක් හඬන්න’, එච්. ආර්. ජෝතිපාල ගැයූ ‘විෂ්ණු දෙවිඳේ’, එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක සමඟින් ගැයූ ‘හොඳ සිරියාවයි ආකාසේ’, ‘දෝතින් දෝතයි’, ‘හදවත මාගේ තටු සලා’, ‘හරූන් ලන්ත්‍රා, සුජාතා අත්තනායක සමඟ ගායනා කළ ‘ආනන්ද මේ රෑ’ වැනි ජනප්‍රිය චිත්‍රපට ගී රැසක් ඔහු විසින් රචනා කර තිබේ.

ප්‍රසිද්ධිය පසුපස හඹා නොගිය සීලවිමල මහතා ගීත ලොවටත්, පුවත්පත් කලාවටත් අමිල මෙහෙයක් කළ අයෙකි. කලාව මෙන්ම සාර්ථක දිවි පෙවෙතක් ගත කළ සීලවිමල මහතා පුතුන් දෙදෙනකු සහ දියණියන් දෙදෙනකුගේ පියෙක් වශයෙන් සිය යුතුකම් ඉටු කළ දයාබර පීතෘවරයෙකි. සීලවිමල මහතාගේ ජීවිතයට සවියක් වෙමින් ඔහුගේ ළඟින්ම සිටි දයාබර බිරිය අනුලා සීලවිමල මහත්මිය ඔහුගේ ගුණ සුවඳ සමඟ අදටත් හදවතින් බැඳී සිටිමින් එතුමා වෙනුවෙන් මෙම පිංකම සිදු කිරීමට මූලිකත්වය ගෙන සිටින්නීය.

කලාකරුවන් 60 කට රක්ෂණ ඔප්පු

මහින්ද චින්තන වැඩ පිළිවෙළ අනුව කලාකරුවන් දිරි ගැන්වීමේ හා අගැයීමේ අරමුණැතිව ආරම්භ කළ ‘සුව ප්‍රතිභා’ කලාකරු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි තෝරා ගත් කලාකරුවන් පිරිසකට පසුගියදා අදාළ රක්ෂණ ඔප්පු පිරිනැමීම සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

මෙහිදී කලාකරුවන් 60 දෙනකු සඳහා අදාළ රක්ෂණ ඔප්පු ප්‍රදානය කළ අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් සංස්කෘතික සංවිධානයේ සභාපති සුනිල් දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. ශ්‍රී ලංකා නිදහස් සංස්කෘතික සංවිධානය මඟින් මෙය සංවිධානය කරන ලදී.