වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




ඇඳුම් බෑගය අමතක වී ජී. ආර්. ට අකරතැබ්බයක්

ඇඳුම් බෑගය අමතක වී ජී. ආර්. ට අකරතැබ්බයක්

ජී. ආර්. පෙරේරා මේ දිනවල ‘කැලෑ හඳ’ චිත්‍රපටය ආශ්‍රයෙන් තැනෙන ‘කැලෑ හඳ’ ටෙලි නාට්‍යයේ අන්ධ සීයාගේ චරිතයට පණ පොවනවා. එය රූගත කෙරන්නේ මොණරාගල, බුත්තල ආදී ප්‍රදේශවලයි.

පසුගිය දවසක ජී. ආර්. එහි රූගත කිරීම සඳහා මොණරාගල යාමට බස් රථයකට ගොඩ වුණා. මේ යන අතරමගදී ගමන් මහන්සියටත් එක්ක ජී. ආර්ට වරින් වර නින්ද ගියා. බස් රථය බුත්තල ප්‍රදේශයට ළඟා වෙන විටදී හදිසියේම ජී. ආර්ගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණා. ඉන් කියැවුණේ බුත්තල නගරයෙන් බසයෙන් බහින්න යනුවෙනුයි.

කලබල වුණ ජී. ආර්. තමන්ගේ රෙදිපිළි සමඟ ඇති බෑගයක් රැගෙන බුත්තලින් බැස ගත්තා. ඔහු නවාතැනට ගොස් බලන විටයි වැටහුණේ තමන්ගේ බෑගය වෙනුවට වෙනත් බෑගයක් රැගෙන බස් රථයෙන් බැස්ස බව.

බෑග් එක විවෘත කළ ජී. ආර්. දුටුවේ එය ගැහැනු ළමයෙකුගේ ඇඳුම් සහිත බෑගයක් බවයි.

ජී. ආර් ගේ බෑගයේ තිබිලා තියෙන්නේ ‘කැලෑ හඳ’ ටෙලි නාට්‍යයට ඔහුගේ චරිතයට අදාල සරොම් කිහිපයක්ලු. ඒ සරොම් ජී. ආර්. ට වටින්නේ ජී. ආර්. ගේ පියාගේ සරොම් නිසාලු. ඒ සරොම්වලට අවුරුදු 42 ක් වයසලු.

මේ බෑගය හමු වූ කෙනෙක් සිටිනවා නම් ජී. ආර් ගේ 0777-310-824 දුරකථන අංකයට කතා කරන්න කියා ඔහු කාරුණික ඉල්ලීමක් කරනවා. ජී. ආර්. ළඟ ඇති කාන්තා බෑගයේ හිමිකරුවන්ටත් ජී. ආර් ගේ දුරකථන අංකයට කතා කළොත් බෑග් එක ගන්න පුළුවන්ලු.

ගීතාගේ සිනමාපට හතරක් ඩී වී ඩී ගත කෙරේ

ඩී. වී. ඩී. තැටියේ පළමු පිටපත නිෂ්පාදක විසින් හෙළ සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස්ට ලබා දුන් මොහොත.

ගීතා කුමාරසිංහ විසින් නිෂ්පාදනය කළ චිත්‍රපට හතරක් ඩී වී ඩී ගතකොට පසුගියදා වෙළෙද පොළට නිකුත් වුණා. පාලම යට, සළඹක් හඬයි, ලොකු දුව සහ අනුරාගයේ අනන්තය එම චිත්‍රපට හතරයි. ඒවා එළි දැක් වූයේ බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියෙටර්හි පැවති කෙටි චාම් උත්සවයකදී.

හෙළ සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස් මහත්මිය ප්‍රමුඛ සනත් ගුණතිලක, ලකී ඩයස්, ජැක්සන් ඇන්තනී ඇතුළු කලා ලොවේ සහෘදයන් රැසක් මේ අවස්ථාවට පැමිණ සිටියා.

ඩී වී ඩී, කුමාර ලියනගමගේ ගේ නිෂ්පාදනයක් ලෙසිනුයි කලඑළියට එන්නේ.

එච්. ඩී. ප්‍රේමරත්නයන්ගේ අධ්‍යක්ෂණයෙන් 1990 වර්ෂයේ තිරගත වූ පාලම යට ජෝ අබේවික්‍රම, සනත් ගුණතිලක, සිරිල් වික්‍රමගේ, ශාන්ති ලේඛා, නීල් අලස්, මර්වින් ජයතුංග, විමල් කුමාර ද කොස්තා, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජේ. එච්. ජයවර්ධන, රාසි අන්වර් ඇතුළු පිරිසගේ රංගන දායකත්වයෙන් හැඩ ගැන්වෙනවා. ජෝතිපාලයන්ගේ මනමෝහනීය හඬින් විචිත්‍රණය වූ සළඹක් හඬයි හේමසිරි සෙල්ලප්පෙරුමගේ අධ්‍යක්ෂණයක්. ශෂී විජේන්ද්‍ර, තලතා ගුණසේකර, සුමනා ගෝමස්, රෙක්ස් කොඩිප්පිලි, දෙනවක හාමිනේ, මාක් සැම්සන්, මහේෂ් ජයසිංහ සළඹක් හඬයි හි නළු නිළි කණ්ඩායමයි.

සිංහල සිනමා ඉතිහාසයේ අටසිය හතළිස් වැනි චිත්‍රපටය වූ ලොකු දුව සුමිත්‍රා පීරිස් මහත්මියගේ නිර්මාණයක්. සම්මානනීය චිත්‍රපටයක් වූ මෙය ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ, කමල් අද්දරආරච්චි, ජැක්සන් ඇන්තනී, රෙක්ස් කොඩිප්පිලි, වීණා ජයකොඩි, නදීකා ගුණසේකර, අනූෂා සොනාලි, අමා විජේසේකර යන පිරිවර රංගනයෙන් ඔපවත් කරන ලදී. අනුරාගයේ අනන්තය මොහාන් නියාස්ගේ අධ්‍යක්ෂණයක්. ටෝනි රණසිංහ, ලකී ඩයස්, ඇන්ජලා සෙනෙවිරත්න, පාලිත සිල්වා, සිරිල් වික්‍රමගේ, රෙක්ස් කොඩිප්පිලි, මහේන්ද්‍ර පෙරේරා සහ ළමා නිළි කුසලා බී. පෙරේරා මෙහි චරිත නිරූපණය කොට තිබේ.

මේ චිත්‍රපට හතරේම ගීතා කුමාරසිංහ ප්‍රධාන චරිතය මැවීම විශේෂත්වයකි.

වසර සියයක් සපුරන ‘සිවම්මා ධනපාල’ නැවතත් වේදිකාවේ

සිවම්මා ධනපාල නව නිෂ්පාදනයේ මුහුරත් උළෙල දා කලා කීර්ති එඩ්වින් ආරියදාස සාම්ප්‍රදානුකූලව පොල් තෙල් පහන දැල් වු මොහොත. ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල, ටෙනිසන් කුරේ ඇතුළු පිරිස පසෙකින් වෙති.

නීතිඥ චාල්ස් ඩයස් ශූරීන්ගේ ‘සිවම්මා ධනපාල’ නාට්‍යයට වසර සියයක් සපිරේ. 1911 දී මුලින්ම රඟදැක්වූ ‘සිවම්මා ධනපාල’ එදා නිෂ්පාදනය කළේ ඩබ්. මාර්ෂල් පෙරේරා සහ ටී. පී. අල්මේදාය. ප්‍රකට විකට රංගන ශිල්පී ටෙනිසන් කුරේගේ රංගන දායකත්යෙන් මෙම දෙසැම්බර් මස සිට රංග ගත වන මෙහි නව නිෂ්පාදනය ක්‍රිශාන්ත හෙට්ටිආරච්චිගෙනි.

‘තින්ක් ට්වයිස්’ ජ්‍යාපූර් චිත්‍රපට උළෙලට

නිරෝෂන් විජේසිංහව අප හඳුනන්නේ ජනප්‍රිය දක්ෂ නළුවකු වශයෙන්. එහෙත් ඔහු අධ්‍යක්ෂණයට ද පිවිස ඇති වග නම් දන්නේ බොහොම ටික දෙනයි. නිරෝෂන් හා හා පුරා කියලා අධ්‍යක්ෂණය කොට ඇත්තේ කෙටි චිත්‍රපටයක්. ඒකේ නම ‘තින්ක් ට්වයිස්’.

ඔහු තම කුලුඳුල් නිර්මාණය ඉන්දියාවේ ජ්‍යාපුර් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට ඉදිරිපත් කරලා. එය එහි අවසන් වටයට තේරී ඇති බව නිරෝෂන් පවසන්නේ හදපිරි සතුටින්.

‘තින්ක් ට්වයිස්’ නූතන සමාජයේ කාන්තාවන් සහ මිනිසුන්ගේ චින්තන සොභාවය ගැන කියවෙන්නක්.

දෙබස්වලට වඩා එය සංකේතාත්මක හැඟුම් ප්‍රකාශනවලින් එය නිර්මාණය වී තිබේ.