වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




Adult’s Only චිත්‍රපට දැන්වීම ‘බුදුසරණ’ පත්තරේට දාන්න හදලා

Adult’s Only චිත්‍රපට දැන්වීම ‘බුදුසරණ’ පත්තරේට දාන්න හදලා

වාණිජමය පරමාර්ථය මත පැවතෙන ප්‍රචාරක මාධ්‍යයක් වශයෙන් බිහි වූ රූප පත්‍ර හෙවත් පෝස්ටරය අද දෘෂ්‍යමය අත්දැකීමක් ගෙනෙන අපූරු කලාවක් බවට පත්ව ඇත. එසේම චිත්‍රපටයක ප්‍රචාරක අංශ අතරින් අග්‍රස්ථානයක තැබිය හැකි තත්ත්වයක් දරන පෝස්ටරයක් නිම නොවූ එක ද සිංහල චිත්‍රපටයක් නැති තරම්ය.

මෙලෙස බලන විට චිත්‍රපටයකට නැතුවම බැරි පෝස්ටරය නිර්මාණය කරන ශිල්පියා දෙසට අප අවධානය නිතැතින්ම යොමු කළ යුතුය. මොහු අප හඳුනා ගත යුතු තිරයෙන් පිටුපස තවත් ප්‍රබල ශිල්පියෙකි. සිංහල සිනමාව තුළ මෙවන් පළපුරුදු ශිල්පීන් අද වෘත්තිය මට්ටමෙන් දෙතුන් දෙනකුට වඩා නැත. සාලිය ඩයස් ඉන් එක් ශිල්පියකු වශයෙන් වඩාත් නිවැරදිව හඳුනා දිය හැක්කේ ඔහු සමඟ දීර්ඝ ඉතිහාසයක් බැඳී පවතින බැවිනි.

* ඉතින් සාලිය ඔබව හමු වුණේ හුඟ කාලයකින්. සුබ පතන්න උපන් දිනයවත් මට මතක නැහැ?

ඔක්තෝබර් 24 වැනිදා. අවුරුද්ද 1944.

* ඔබ ස්වෝත්සාහයෙන් නැගී සිටි කලාකරුවෙක්. ඊට පන්නරය ලැබුණේ කොහෙන්ද?

මම මූලික අධ්‍යාපනය ලැබූවේ කොටහේන කැනිටර් විද්‍යාලයෙන් හා ගුරුකුලයෙන්.

* ඔබ මුලින්ම සහාය ශිල්පියෙක්. එහි මූලාරම්භය මතකයට ගන්න පුළුවන්ද?

මතක හැටියට 1960 ගණන්වල ඥාතියකුගේ මැදිහත්වීමෙන් චිත්‍ර ශිල්පී දයා කරුණාරත්න හඳුනා ගැනීම මගේ කලා දිවියේ ඇරඹුම. ඔහු ඒ දවස්වල කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයේ කලා අංශයේ ප්‍රධානියා. මට ඔහුගේ ගෝලයකු විදියට චිත්‍රාගාර දර්ශන තල ඉදි කිරීමේ කාර්ය පැවරුණා. ඒ අනුව හාපුරා කියා වනමල චිත්‍රපටය සඳහා කඩදාසි මල්වලින් මල් වත්තක් සකස් කරන්න උදව් කළා අද වගේ මතකයි. දයා කරුණාරත්න පළමු වතාවට අකුරු පෝස්ටර් මුද්‍රණයට සිල්ක් ස්ක්‍රින් ක්‍රමය හඳුන්වා දෙමින් නළඟන චිත්‍රපටයට පෝස්ටරයක් නිමවද්දී ඊටත් අත්වැල දුන්නා. මේ කාර්ය කළේ හැඳල විජය චිත්‍රාගාරය හදන්න කලින් එහි තිබුණු විශාල නිවසක් තුළ. ඔය අතරවාරයේ මම චිත්‍ර ශිල්පය ප්‍රගුණ කරන්න හේවුඩ් කලායතනයට බැඳුණා. එතැනදී මගේ සමකාලීනයන් වූයේ වටරැක ප්‍රේමදාස, විකට කාටුන් ශිල්පි අමිත අබේරත්න.

* ඔබේ වැඩි කැමැත්ත තිබුණේ චිත්‍ර ශිල්පටයටයි කිව්වොත් මා නිවැරදියි. ඉන් පස්සේ ඔබේ ගමන් මඟ ඒ ඔස්සේ ගියාද?

චිත්‍ර ශිල්පය පිළිබඳ ක්‍රමානුකූල පුහුණුවක් ලැබීමෙන් පසු මම වෙළෙඳ චිත්‍ර ශිල්පියෙක් ලෙස පෙරට ආවා. ඔය කාලේ ඩීමන් ආනන්ද මරදානේ ආනන්ද පොත්හල (සොක්කලිංගම්) – පිටකොටුවේ කලෙයිමකල් සමාගම වැනි ප්‍රකාශකයින්ට සතියකට මාරක කතා හතරක් ලියා දෙනවා. මේ හැම කංචුක නිර්මාණයක්ම මගේ. එපමණක් නොවෙයි, මහාචාර්ය නිමල් සේනානායක, වැලිහිඳ මුනිරත්න යන අයගෙත් රහස් පරීක්ෂක කතා කවර නිර්මාණය වුණේ මගේ අතින්.

* ඔබ පසු කාලයක පූර්ණකාලීනව සිනමාවට සම්බන්ධ වෙනවා. එසේ වීමට අවකාශ ලැබුණේ මොන ආකාරයෙන්ද?

මගේ කලා කටයුතුවල ආරම්භයත් සිනමාවයි. පැවැත්මත් සිනමාවයි. චිත්‍ර ශිල්පියකු වශයෙන් ප්‍රසිද්ධ ස්ථාවරයක් ගොඩ නඟා ගත් පසු යළිත් සිනමාවට එකතු වෙන්න අවස්ථාව 1964 සැලසුණා. ඒ සීගිරි කාශ්‍යප චිත්‍රපටයෙන්. මෙහි ආරම්භක අධ්‍යක්ෂ ප්‍රේ්ම්නාත් මොරායස්, කැමරා ශිල්පී ඒ. වී. එම්. වාසගම්, කලා අධ්‍යක්ෂ ආරියවංශ වීරක්කොඩි ඉවත්ව යාමෙන් ඉක්බිති එම තනතුරු බන්දු ගුණසේකර හා විලියම් හොලම්ස්ට පැවරුණා. කලා අධ්‍යක්ෂ ඉතිරි කර ගිය සෙට් නඩත්තුව මට පැවරුණා. මේ චිත්‍රපටය ඉතාමත් මන්දගාමීව නිෂ්පාදනය වූවක්. මේ අතරතුරේ ගැටවරයෝ චිත්‍රපටයෙත් වැඩ කිරීමේ අවස්ථාව ලැබුණා. දවසේ පඩිය රුපියල් පහයි.

සීීගිරි කාශ්‍යප තිරගතවීමට පෙර ලැබුණු තවත් අවස්ථාවක් හැටියට කොළඹ හාදයෝ පෝස්ටරය දක්වන්න පුළුවන්. එය මගේ මුල්ම චිත්‍රපට පෝස්ටරයයි. මේක දැකපු නවක නිෂ්පාදකවරයෙක් ඔහුගේ කුලුඳුල් චිත්‍රපටයේ පෝස්ටරය නිර්මාණය කිරීමට මා වෙත පැවරුවා. මහ රෑ හමු වූ ස්ත්‍රිය නම් එම පෝස්ටරයෙන් මරදාන ඔරලෝසු කණුව පසුබිම් කොට ගෙන දුහුල් වස්ත්‍රයකින් සැරසුණු ගැහැනියක් (සන්ධ්‍යා කුමාරි) මහ රෑ ඇවිද යන අයුරු නිරූපණය වුණා. මීට ඉමහත් ප්‍රතිචාරයක් හා ඇගැයීමක් ලැබීම නොසිතූ දෙයක්. මෙය දෙවෙනි වූයේ ජේ. ඒ. වින්සන්ට්ගේ සිතක මහිම පෝස්ටරයට පමණයි.

* ඔබ පෝස්ටර් කලාවට අවතිර්ණ වන විට සිංහල සිනමාව ගැටවර වියේ. පෝස්ටර් කලාව එවිට ව්‍යාප්ත වී තිබුණ ආකාරය ගැන අවබෝධයක් තිබුණා ද?

මුල් කතානාද සිංහල චිත්‍රපටයේ උපතයි, අපේ පෝස්ටර් කලාවේ ආරම්භයයි එක සන්ධියේ සිදු වූයේ. වෙනස මුල් යුගයේ සිංහල චිත්‍රපට පෝස්ටර් ඉන්දියානුවන් අතින් නිර්මාණය කෙරුණු අතර මුද්‍රණය කළේ මදුරාසියේ. ඒ හින්ද ඒවා ඉන්දීය මුහුණුවරක් ගත් බව රහසක් හැටියට රකින්න බැහැ. එයින් මිදුණු වෙනසක් ඇත්ත වශයෙන්ම සටහන් කළේ ජේ. ඒ. වින්සන්ට්. සම්මානයකින් පිදුම් ලද එකම ශ්‍රී ලංකාවේ චිත්‍රපට පෝස්ටර් නිර්මාණකරුවා ඔහු පමණයි. ඊළඟට මේ ක්ෂේත්‍රයට වෘත්තීය මට්ටමින් සම්බන්ධ වුණේ ප්‍රේම් ජයන්ත්, රැලෙක්ස් රණසිංහ හා මා පමණයි. තෝමස් තිලකරත්න, ප්‍රේම් දිසානායක පසුකාලීනයන්. තවමත් චිත්‍රපට පෝස්ටර් නිර්මාණයේ යෙදෙන එකම පැරණි ශිල්පියා මම බව කියන්නේ ආත්ම වර්ණනාවකට නොවෙයි.

* ඔබ වර්තමානයේ ප්‍රකට පෝස්ටර් හා ප්‍රචාරක මාධ්‍ය ශිල්පියෙක් හැටියටයි. ඒත් වෙනත් අංශවලින් ද සිනමාවේ සම්බන්දකම් පැවැත්වූවා නේද?

සීගිරි කාශ්‍යප චිත්‍රපටයේ වේශ නිරූපණ ශිල්පියා ඩෙරික් ඩී. නීස්. ඔහු ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙක්. ඔහුගේ සහායක ලෙස ඒ චිත්‍රපටයේ හා වෙසතුරු සිරිත චිත්‍රපටයේ වැඩ කෙරුවා. වේශ නිරූපණයෙන් අත්වැලක් දුන්න තව චිත්‍රපටයක් ගැටවරයෝ. අනික සම්පත. කලා අධ්‍යක්ෂවරයෙක් වශයෙන් තනියම සම්බන්ධ වුණ චිත්‍රපටය බට්ටි. ඊට පෙර සනසන්න මා තිරගත වුණා. බිරිඳ කලා අධ්‍යක්ෂණයත්, නිෂ්පාදන කළමනාකරණයත් කළ චිත්‍රපටයක්. පරසතුª මල් චිත්‍රපටයට සම්බන්ධවීමෙන් නිවැරදි අධ්‍යක්ෂණය, නිවැරදි රූපගත කිරීම් වටහා ගත්තා. අද වෙන කොට මම ස්වාධීනව කලා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට 27 ක් ප්‍රදර්ශනය කර තිබෙනවා. පෝස්ටර් නිර්මාණය කළ චිත්‍රපට 175 කට ආසන්නයි.

* ඔබ කලා අධ්‍යක්ෂවරයකු වගේම පෝස්ටර් හා ප්‍රචාරක ශිල්පියෙක් ලෙස දිගු ගමනක් ගිය කෙනෙක්. චිත්‍රපටයකට දෙවනුව සඳහන් කළ මාධ්‍යයන් අවැසි වෙන්නේ කුමන කරුණු කාරණා මුල් බැසගෙනද?

යමෙක් භාණ්ඩයක් මිලදී ගන්න පෙරාතුව එහි ලේබලය බලන සිරිතක් පවතිනවා. ලේබලය අනුව ඔහු තමනට රිසි භාණ්ඩය තෝරා බේරා ගන්නවා. චිත්‍රපටයක් කියන්නෙත් එක පැත්තකින් වෙළෙඳ භාණ්ඩයක්. එය නැරඹීමට හෝ නරඹා නොසිටීම තීරණය වෙන්නේ ඇස ගැටෙන මාධ්‍යයෙන්. ප්‍රචාරක ව්‍යාපාරය තුළ ප්‍රබල අයුරින් නිතර දෙවේලේ ඇසට හසුවන පෝස්ටර්, ඡායාරූප, පුවත්පත් දැන්වීම්, තිර දැන්වීම්, සිතුවම් පුවරු යනාදිත් ප්‍රේක්ෂක සිත් ප්‍රිය උපදවන අන්දමට සකස් කිරීම චිත්‍රපටයක සාර්ථකත්වයේ පදනමයි.

මේ කටයුත්ත සිනමාව පිළිබඳ නිසි අවබෝධයක් හා ප්‍රේක්ෂක රුචිකත්වය ගැන මනා වැටහීමක් නැත්තකුට කිසිසේත් කළ නොහැකිය. අසීමිත ප්‍රදර්ශන වරම ලත් චිත්‍රපටයකට වැඩිහිටි පෝස්ටරයක් නිර්මාණය කරලත් බැහැ. වැඩිහිටි චිත්‍රපටයකට සාමාන්‍ය පෝස්ටරයක් නිර්මාණය කරලත් බැහැ.

* ඔබ දැනට චිත්‍රපට සෑහෙන ප්‍රමාණයකට පෝස්ටර් නිර්මාණය කළ ශිල්පියෙක්. මින් සුවිශේෂ චිත්‍රපට පෝස්ටරයක් එහෙම තියෙනවද?

ගර්ල් ෆෙ‍්‍රන්ඩ් පෝස්ටරය ගැන කියනවා නම් චිත්‍රපටයේ ප්‍රදර්ශන සාර්ථකත්වය මුළුමනින්ම රඳා පැවතුණේ ඒ මතයි. සුරයහන ගිනි ගනී, ස්ත්‍රී සම ලිංගිකත්වය තේමා කොට ගත් චිත්‍රපටයක්. මේ වෙනුවෙන් පෝස්ටර් තුනක් සකස් කෙරුවා. ඒ හැම පෝස්ටරයකින්ම ප්‍රේක්ෂකයන්ට ආමන්ත්‍රණය කළේ රංගන ශිල්පිනියන්ගේ රූපවලින්. කළු සුදු පිටපත් පහළොවකින් ලක්ෂ 180 ඉපයූ එම චිත්‍රපටයේ තීව්ර අවස්ථා ඊට ඇතුළත්. මින් එක පෝස්ටර් ආකෘතියක් අනුව දේශපාලන මඩ පොස්ටරයක් පවා අගනුවර දක්නට ලැබුණා කාටත් මතක ඇති. වෑකන්ද වලව්ව පෝස්ටරය මම පෞද්ගලිකව කැමති ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි දැවැන්ත සිනමාකරුවකුගේ චිත්‍රපටයක් නිසා.

* ඔබ සිනමාවේ අංශ කිහිපයකට සම්බන්ධ හා පළපුරුදු චිත්‍ර ශිල්පියෙක්. චිත්‍රපට පෝස්ටරයක් නිර්මාණය කරද්දී නිෂ්පාදක හෝ අධ්‍යක්ෂ ගේ සංකල්පනාත් එකතු කර ගන්නවාද?

නිෂ්පාදකවරයාටත්, අධ්‍යක්ෂවරයාටත් තම චිත්‍රපටයේ සාර්ථකත්වය උදෙසා සිතේ මැවෙන රූප තියෙන්න පුළුවන්. ඒවායෙත් හරයක් ඇත්නම් බැහැර කරන්න බැහැ. නමුත් මෙතෙක් කල් මම නිර්මාණය කළ හැම පෝස්ටරයක්ම මගේ ස්වාධීන සංකල්පනා. බලපෑම් කෙරුණේ නැහැ. සුළු සුළු වෙනස්කම් කිහිපයක් කෙරුණු අවස්ථා තිබෙනවා.

* ඔබ වෘත්තීමය චිත්‍රපට පෝස්ටර් නිර්මාණකරුවන් දෙතුන් දෙනාගෙන් කෙනෙක්. මේ ක්ෂේත්‍රය තුළ පවතින දුර්වලතා හඳුනාගෙන තිබෙනවාද?

පෝස්ටර් මුද්‍රණය අතින් අපි ඉහළ තලයක හිටියත් ඒ සඳහා සපයන ඡායාරූපවල ප්‍රමිතියක් නැහැ. මේ නිසා තරඟකාරී පෝස්ටරයක් නිමවන්න අමාරුයි. ලෝකයේ බොහෝ රටවල පෝස්ටර් සුරක්ෂිතාගාර පවත්වාගෙන යනවා. අපේ රටේ එහෙම තැනක් බිහිවෙන ලකුණක්වත් නැහැ. අඩු තරමින් චිත්‍රපට සංස්ථාව මගින්වත් මෙම කාර්යය ක්‍රියාවට නංවන්න කියලා මම යෝජනා කරනවා.

* ඔබ සිනමාවට පා තැබුවේ 1960 ගණන්වල. එදා මෙදා කාල පරාසය තුළ සිනමාවේ කිසියම් විපර්යාසයක් දකිනවාද?

එදා පොදු ජනතාවගේ අති ප්‍රබල රස වින්දන මාධ්‍ය සිනමාවයි. වේදිකා නාට්‍ය බැලීමටත් ප්‍රිය කළා. මෙය අද තරමක ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවක් මතු පිටින් පෙනුණත් තවම සිනමාහල ජන ශූන්‍ය තැනක් වී නැහැ. වත්මනේ පවතින සිනමාවේ පසුබෑමට මූලික අඩිතාලම දැම්මේ දින හතෙන් බ්‍රොයිලර් චිත්‍රපට කළ අධ්‍යක්ෂවරු, කැමරා ශිල්පීන් හා අඩු දළ සේයාපට ප්‍රමාණයකින් චිත්‍රපට හදන්න බල කරපු නිෂ්පාදකවරුන් බව අකමැත්තෙන් හරි කියන්න සිදු වෙනවා.

* ඔබ මේ වන විට සිනමාවට සම්බන්ධ වෙලා වසර 52 සපිරෙනවා. මේ කාලයේ ඇසූ හෝ සිදු වූ රස කතා එහෙම නැද්ද?

විකට චිත්‍රපටයක් හදන්න තරම් රස කතා ගොඩ ගැහිලා. 1999 චිත්‍රපටයක් නිෂ්පාදනය කළා සම ලිංගිකත්වය තේමා කරගෙන. මේක අතිශය වැඩිහිටි චිත්‍රපටයක්. මෙහි ප්‍රචාරක කටයුතු අපිත් හොඳින් දන්නා හඳුනන පුද්ගලයකුට නිෂ්පාදකවරයා පැවරුවා. ඔහු පුවත්පත් දැන්වීම් පළ කරන පත්‍ර හා දවස් ඇතුළත් කාල සටහනක් සකස් කරගෙන ඇවිත් තිබුණා. එහි බුදුසරණ පත්‍රයත් සඳහන් වෙලා. නිෂ්පාදකවරයා ද්‍රවිඩ ජාතිකයෙක් නිසා බුදුසරණ පත්‍රය දැකලාවත් නැහැ. අපෙන් ඇහැව්වා ඒ පත්‍රයේ දැන්වීම් පළ කිරීම ප්‍රයෝජනවත් වේවිද කියලා. කරන්න වෙන දෙයක් නොතිබුණ නිසා මුවෙන් නොකියා ඔලුව වැනුවා.