වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




සූපවේදයට සමු දී ගායකයකු වූ චන්දන

සූපවේදයට සමු දී ගායකයකු වූ චන්දන

ඔහු සුපවේදියෙක්. ඒ වගේම ගායකයෙක්. මේ දෙඅංශයටම ඔහු දක්වන්නේ නොවෙනස් වූ ඇල්මක්. සංගීත ක්ෂේත්‍රයේ කර්යබහුලත්වය මධ්‍යයේ ඔහුට සුපවේදී ක්ෂේත්‍රයෙන් තරමක් දුරස් වෙන්නට සිදු වෙලා. නමුත් ඒ දැනුම නවකයන්ට ලබා දෙමින් චන්දන සමරසිංහ නම් වූ ඔහු සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්නටයි දැන් සූදානම. ඔහු දැන් මීගමුව සිටි ක්‍රික් සංගීත කණ්ඩායමේ ගායකයකු සහ නිවේදකයකු ලෙස කටයුතු කරනවා.

චන්දන මේ වන විටත් ගීත ඇල්බම් එකක් එළි දක්වලා නේද තියෙන්නේ. ඒ ගැන කියමුද මුලින්ම?

මගේ පළමු ගීත ඇල්බම් එක ‘ආදරේ ඇස් දෙකෙන්’. එහි ගීත රැසක්ම දැන් ජනප්‍රිය වෙලා තියෙනවා. එහි ගීත බොහොමයක් රචනා කළෙත් මම. ඒ වගේම සමහර ගීත සංගීතවත් කළෙත් මම. ඒ වගේම දෙවන ගීත ඇල්බම් එක ‘ආශාවෝ’ ලබන අවුරුද්දේ නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ වන විටත් එහි ගීත සියල්ල නිර්මාණය කර අවසන් කරලා තියෙන්නේ. එහි ‘ආශාවෝ’ ගීතයේ වීඩියෝ එක මේ දිනවල රූපවාහිනී නාලිකාවල විකාශය කෙරෙනවා.

සුපවේදියෙක් වූ ඔබ සංගීත ක්ෂේත්‍රයට පැමිණි ගමන ගැනත් කියමු?

මම කටාන විද්‍යාලෝක මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ. පාසලේදී සංගීත කටයුතු වගේම නාට්‍යවලටත් දායක වුණා. ඊට පසුව හෝටල් පාසලේ පාඨමාලාවක් හැදෑරුවා. ඒ සමඟ සුපවේදියෙක් ලෙස රැකියාවේ යෙදෙන ගමන් කැලිප්සෝ සංගීත කණ්ඩායම්වල ගීත ගායනා කළා. ඒ අතරේදී ජනප්‍රිය සංගීත කණ්ඩායම්වලින් මට ආරාධනා ලැබුණා. මුලින්ම සන්ෂයින් සංගීත කණ්ඩායමේ ලාල් විතානගේ ගේ ආරාධනයට අනුව මම ඒ සමඟ සම්බන්ධ වුණා. එහිදී මම මගේ හැකියාවන් තව දියුණු කර ගත්තා. පසුව තවත් සංගීත කණ්ඩායම් කිහිපයක් සමඟම එක්ව කටයුතු කිරීමෙන් පසු ගැලැක්සිස් සංගීත කණ්ඩායම සමඟ එක් වුණා. ඒ සමඟ මට ගොඩක් විදෙස් රටවල සංචාරය කරන්න අවස්ථාව ලැබුණා. රැකියාව සමඟ මේ කටයුත්ත තරමක් අපහසු වූ නිසා මම සුපවේදී රැකියාවෙන් ඉවත් වෙන්න තීරණය කළා.

සංගීතයේ රස දැනිල සුපවේදය එපා වුණාද?

කොහෙත්ම නැහැ. මම ප්‍රංශය, ඩුබායි ඇතුළු රටවල් ගණනාවක සුපවේදියෙක් ලෙස කටයුතු කරල තියෙනවා. සුප ශාස්ත්‍රයට මම හැමදාම ආදරෙයි. ඒක කවදාවත් අත හරින්නේ නැහැ. සුපවේදී සංගමය විසින් පැවැත් වූ තරගවලින් පවා මම ජයග්‍රහණය කරල තියෙනවා. රැකියාව ලෙස මම දැන් ඒ සඳහා යොමු නොවුණත් අලුත් අයට ඒ පිළිබඳ දැනුම ලබා දෙනවා.

ගීත ලියන්නත් උනන්දුයි නේද? ඒ ගැනත් විස්තර කළොත්?

ගීත ලිවීම මගේ විනෝදාංශය. පුන්සිරි සොයිසා ගයන ‘පිණි බිංදුවක්’ ගීතය වගේම අපේ සංගීත කණ්ඩායම වෙනුවෙන් මම ගීත ලියල තියෙනවා. මගේ ගීත ඇල්බම් එකේ නුඹට බැන්ද පෙම, මගේ හිතේ උපන් ආදරේ, සඳුට රහසින් වැනි ගීත කිහිපයක්ම රචනා කළා.

සංගීත කණ්ඩායම ගැනත් කියමු නේද?

අපේ සිටි ක්‍රික් සංගීත කණ්ඩායම ඩුබායිවලදී තමයි පටන් ගත්තේ. ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම්වල කීප දෙනෙක්ම අප සමඟ එකතු වුණා. විවිධ රටවල සංචාරය කරන අතරෙදි ලංකාවට පැමිණි අවස්ථාවකදී ලැබුණ ආරාධනා අනුව අපේ කණ්ඩායමේ ප්‍රධානි ප්‍රේම් ජයසිංහ මෙහෙ නවතින්න තීරණය කළා. මෙරට ගුවන් විදුලි නාලිකා රැසකින්ම අපට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම ලංකාවේ සංගීත කණ්ඩායම්වලින් අමෙරිකානු තාක්ෂණය සහිත අති නවීන ශබ්දවාහිනී උපකරණ අපේ සිටි ක්‍රික් සංගීත කණ්ඩායම සතුව තියෙන්නේ. අපි එළිමහන් ප්‍රසංග වගේම තෝරා බේරා ගත් උත්සව අවස්ථාවලට සහභාගි වෙනවා.

චන්දන ඔබේ අනාගත බලාපොරොත්තු ගැනත් සඳහන් කළොත්?

සංගීතය තමයි මගේ ජීවිතේ. සංගීත කණ්ඩායමක ගායකයෙක් විදියට එතනින් එහාට මගේම අනන්‍යතාවක් ගොඩ නගා ගන්න තමයි එකම බලාපොරොත්තුව.

ඔබට යමක් කියන්නයි මේ අවස්ථාව?

අපේ සංගීත කණ්ඩායමේ ප්‍රධානී ප්‍රේම් ජයසිංහ ඇතුළු නන් අයුරින් සහයෝගය දුන් හැමෝටම ස්තුති කරන අතරම අලුත් ගීත නිර්මාණ මට එවන්න කියල ආදරණිය රසික ඔබට කියන්න කැමැතියි.
 

- චන්දන සමරසිංහ - 0776618421