වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




හෙට ඉදලා වැඩට වරෙන්

හෙට ඉදලා වැඩට වරෙන්

නිසල රුවෙන් ‘සරසවිය’ හැඩ කළ රාජා පෙරේරා සොඳුරු යටගියාව සිහිපත් කරයි

පත්තර මහ ගෙදර රැකියාවට ඒමට මට හැකි වූයේ 1967 වර්ෂයේදීය. ඊට පෙර පටන් මා ලේක්හවුස් ආයතනයේ රැකියාවට ඒමට උත්සාහ ගත්ත ද එය මොන යම් හෝ හේතුවක් නිසා වැලකී ගියේය. පුවත්පත් ඡායාරූප ශිල්පියකු ලෙස මා මුලින්ම කටයුතු කරනු ලැබුවේ දවස පුවත්පතේය. නිදහස් ඡායාරූප ශිල්පියකු ලෙසින් දවසට සම්බන්ධ වූ මා එහි කටයුතු කරන අතරතුර හේවුඩ් ආයතනයේ ඡායාරූප කලාව පිළිබඳ හැදෑරීමක් ද සිදු කරනු ලැබුවේ එයින් ලැබෙන දැනුම වගේම ලබා දෙන සහතිකයේ වටිනාකම නිසාමය.

ලේක්හවුස් ආයතනයෙන් කලාව වෙනුවෙන් සරසවිය නිකුත්වීමට පෙර ‘දවස’ ආයතනයෙන් කලා තොරතුරු අලළා විසිතුර පත්තරය මුද්‍රණය කෙරිණි. රැලෙක්ස් රණසිංහ, ජී. ඩබ්ලි,ව්.

සුරේන්ද්‍ර විසිතුර විචිත්‍රවත් කරන අතරේ නිමල් පෙරේරා අබේවර්ධන අතින් සරසවියේ හැඩතල විචිත්‍රවත් විය. නිමල් පෙරේරා අබේවර්ධනයන් ද ඡායාරූප කලාවේ ප්‍රවීණයකු විය. විසිතුර දවස පත්තරවල නිදහස් ඡයාරූප ශිල්පියකු ලෙස කටයුතු කරමින් හේවුඩ් ආයතනයේ ඡායාරූප කලාව හදාරණ අවධියේ හේවුඩ් ආයතනයේ දවස ගෙවන හැටි නමින් ඡායාරූප ඇතුළත් විශේෂාංගයක් සරසවිය පුවත්පතට ලිවීමට මා තුළ ආශාවක් ඇති විය.

ඒ අවධියේ සරසවියේ මුල් පුටුව හොබවන ලද්දේ විමලසිරි පෙරේරා මහතාය. ඒ වන විට මා විමලසිරි මහතා හඳුනා ගෙන නොතිබූ නිසාත්, මා වෙනත් ආයතනයක වැඩ කිරීම නිසාත් මේ අදහස ඉෂ්ට කර ගැනීමට මාර්ගයක් කල්පනා කළෙමි. විමලසිරි පෙරේරා මහතා ද කවියෙක් විය.

මගේ පියා ද හොඳ කවියෙක් විය. තිහාරියේ පීටර් පෙරේරා මගේ පියාණන් විය. දෙදෙනාම හොඳ මිත්‍රයන්ය. පියාගේ හැඳුනුම්කම ප්‍රයෝජනයට ගන්නට සිතූ මා සරසවියට ලියන්නට අදහස් කර ඇති කලායතනයේ දවස ගෙවන හැටි විශේෂාංගය පිළිබඳ පියාට පැවසීමි. විමලසිරි මහතා හමුවීමට යාමට තාත්තා මට ලියුම් කැබැල්ලක් ලියා දුන්නේය.

ලේක්හවුස් ඒමේ සිහිනය යළිත් බොඳ වී ගිය ද මේ බොහොමයක් එදා ප්‍රෙස් ක්ලබ් එකේදී එකට හමු විය. එකල පුවත්පත් කලාවේදී සමාජය හෙවත් ප්‍රේස් ක්ලබ් එක පිහිටියේ ගෝල්ෆේස් හෝටලය ආසන්නයේය. හරියටම කිවහොත් දැන් අමෙරිකානු මධ්‍යස්ථානය අසලින් පහළට බැස රේල් පාර අද්දරින් වෙරළ සමීපවය. එක් එක් ආයතනයන්හි වැඩ කළ පත්තරකාරයෝ බොහෝ දෙනෙක් මෙතනට පැමිණියහ.

එහිදී ඇති කර ගන්නා සුහදත්වය එකිනෙකාට කුමන හෝ අයුරකින් ප්‍රතිඋපාකාරයන්ට හේතු වූ අවස්ථා විය. එවැනි මොහොතක හඳුනා ගත් කෙනෙක් වූයේ එල්මෝ ගුණරත්නය. ඒ වන විට ඔහු ලේක්හවුස් ආයතනයේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ විය. ලේක්හවුස් සභාපතිතුමන් වූයේ රංජිත් විජයවර්ධන මහතාය. එතුමන් හා එල්මෝ අතර පැවතියේ ද නොබිඳෙන මිත්‍රත්වයක් බව මා දැන සිටි බැවින් මා එල්මෝට මා තුළ ඇති ලේක්හවුස් ආශාව පිළිබඳ පැවසීමි.

මගේ අදහසට එක පයින්ම කැමති වූ එල්මෝ හෙට ඉඳල වැඩට වරෙන් යැයි පැවසුවේ හරියට ලේක්හවුස් සභාපති පවසන පරිද්දෙනි. එල්මෝ කියූ නිසාම පසුදාම ලේක්හවුසියට ආවෙමි. එවක සිළුමිණ ප්‍රධාන කර්තෘවරයා වූයේ එස්. සුබසිංහ මහතාය.

ස්වාධීන ඡායාරූප ශිල්පියෙක් හැටියට සිළුමිණ පත්තරයට මට පත්වීමක් ලැබිණි. සිළුමිණට පැමිණීමත් සමඟම නළු නිළියන් යොදවා පින්තූර කතාවක් ගැනීමට මට සිදු විය. එවකට සිළුමිණේ සේවය කළ පසු කලෙක චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ විමලනාත් දිසානායක හා විමලසිරි පෙරේරා ආදි ආනන්දයන් වීම හේතුවෙන් යළිත් මට විමලසිරි පෙරේරා මහතා හඳුනා ගන්නට ඉඩ ලැබිණි. තලංගම ජයසිංහ, පර්සි ජයමාන්න, ආර්. ඩී. ගුණරත්න, පී. බී. ඉලංගසිංහ, බෙනඩික් දොඩම්පේගම, කීර්ති අබේසේකර එවක සිළුමිණ කර්තෘ මණ්ඩලයේ වූහ. බෙනඩික් දොඩම්පේගම සිළුමිණ විශේෂාංග කර්තෘවරයා විය. මේ අය හැරෙන්නට අනිකුත් සියලු දෙනාම පාහේ සිළුමිණට දායක වූයේ අත් උදවුකරුවන් ලෙසය.

සරසවිය පත්තරය සඳහා මා පින්තූර ගත්ත ද කිසි දිනක මා සරසවියේ ස්ථිර සේවකයෙක් නොවිණි. සරසවිය වෙනුවෙන්ම ඡායාරූප ශිල්පීන් තිදෙනකු වෙන්කර තිබුණේය. බන්දු එස්. කොඩිකාර, රෙජී බුලත්සිංහල, එඩ්මන් පෙරේරා සරසවිය වෙනුවෙන් පින්තූර ගැනිණි. මොවුන් නැති අවස්ථාවල සරසවියේ පින්තූර ගැනීම මට පැවරිණි. ඒ අනුවයි මා සරසවියට සම්බන්ධ වූයේ.

මොන යම් කටයුත්තක මා සිළුමිණ නියෝජනය කරමින් ගියත් ඡායාරූපයේ ඇති වැදගත්කම අනුව සරසවියට ලබා දීමට ද අමතක නොකළෙමි. මේ සබැඳීයාව නිසාම සිළුමිණ සේම සරසවියත් මට එකම නවාතැනක් විය. ජනප්‍රිය හින්දි නිළි නූටාන් ලංකාවට පැමිණි අවධිය මා දවස ආයතනයේ වැඩ කරන වකවානුව විය. මීනා කුමාරි ලංකාවට පැමිණි දවසේ මා ඇයගේ පින්තුර ගැනීම සඳහා ගියේ සිළුමිණ පත්තරය වෙනුවෙනි.

එවක අගමැති වූ ඩඩ්ලි සේනානායක මහතා සහ මීනා කුමාරි හා එක්ව සිටින පින්තූරයක් මම සිළුමිණ සඳහා ගත්තෙමි. ඒ උත්සවයේ ගත් පින්තූර අතරේ සුවිශේෂී පින්තූරයක් ලෙස එය සිළුමිණ මුල් පිටුවේ පළ විය. තැප්‍රොබේන් හෝටලයේ පැවැති ඒ හමුව අවසානයේ ඉහළ ආකාරයේ සාදයක් පැවතිණි. එහිදී මීනා කුමාරි ද මධුවිතෙන් හොඳ හැටි සප්පායම් වන අතරේ අපි ද පදම ඉක්මවා යනතුරු මධුවිත තොලගෑවා මතකය.

ලේක්හවුස් ආයතනයේ වැඩට ගිය ද රැකියාවට යාමේ කම්මැලිකමක් මා තුළ තිබිණි. මධුවිතට වඩාත් ලොල් වී තිබීම නිසාත්, රෑ බෝ වනතුරු මධුවිත පානය කිරීම නිසා පසුදා වැඩට යාම මට මහත් කම්මැලිකමක් ගෙන දෙන්නක් විය. පැමිණීම සටහනන් වීම කරනු ලැබුවේ ඒ සඳහා වෙන් කෙරුණු කොලයකය. සමහර දිනවලදීී රැකියාවට ඒමට කම්මැලි වූ විට මා ආයතනයට දුරකථන ඇමතුමක් දී බන්දු එස්. කොඩිකාරට කතා කරමි.

දවසේ කළ යුත වැඩ කලින් පොතේ දමා තිබේ ද කියා විමසා බලා එසේ නොවේ නම් මා බන්දුට කියනුයේ ‘මචං බන්දු ෂේප් එකක් දාන්න’ කියාය. මා එවැන්නකින් අදහස් කළේ රාජකාරිය පැහැර හැරීම නොව ඊළඟ දිනය තෙක් එකී කාර්යය පමා කර ගැනීමටය.

එවක සරසවියේ අලෙවිය දිනෙන් දිනම වැඩි විය. විමලසිරි පෙරේරා මහතා කර්තෘවරයාව සිටින අවධියේ සරසවිය ලක්ෂය ඉක්මවා අලෙවි වන්නට පටන් ගත්තේය. මේ හේතුව නිසාම බොරලැස්ගමුවේ විමලසිරි පෙරේරා මහතාගේ ගෙදර සරසවියේ කර්තෘ මණ්ඩලයට විශේෂ සාදයක් සංවිධානය කෙරිණි.
 

ඉතිරි කොටස ලබන සතියේ...