වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




සෝමලතා සුබසිංහගේ නාට්‍ය උළෙල

සෝමලතා සුබසිංහගේ නාට්‍ය උළෙල

දෙසැම්බර් 5 වැනිදා සිට...

සෝමලතා සුබසිංහ ලංකා ළමා හා යොවන් රඟහල පදනමෙන් යෞවනයින් සඳහා නාට්‍ය උළෙලක් ලබන දෙසැම්බර් 05 වැනිදා සිට 09 වැනිදා දක්වා දිනපතා 3.30 සහ 6.45 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ.

‘නාට්‍ය තුළින් මානසික සුවය’ නම් තේමාව යටතේ මෙවර උළෙලට විකෘති, කලුමාලි වැනි ජනප්‍රිය ස්වතන්ත්‍ර නාට්‍යයන් සහ දරුවන් උදෙසාම නිර්මාණය වූ හිම කුමරිය සංගීතමය නාට්‍යයත්, සඳ ළඟ මරණය, බර්නාඩාගේ සිපිරි ගෙය යන විශ්ව නාට්‍ය සාහිත්‍යයේ විශිෂ්ට කෘතීන් පදනම් කරගත් සිංහල නිෂ්පාදනයන් මෙයට ඇතුළත් වෙයි.

ඉහළ ගුණාත්මක බවින් යුතු නාට්‍ය ප්‍රචලිත කිරීමත් ප්‍රේක්ෂකයන්ගේ නාට්‍ය රසිකත්වය ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කරගෙන පසුගිය වසර හය පුරා මෙම නාට්‍ය උළෙල පවත්වා ඇත.

‘සුදු ලිහිණියෝ’ මංගල දර්ශනය අද

සුනිල් සමරකෝන්ගේ නවතම නාට්‍ය නිර්මාණය සුදු ලිහිණියෝ නාට්‍යයේ මංගල දර්ශනය අද (29) මරදාන ටවර් රඟහලේදී වේදිකා ගත කෙරේ.

සුනිල් සමරකෝන් විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරන මෙහි රචනය එස්. ඒ. ෆැන්සිස් ගෙනි. ලක්ෂ්මන් ආරච්චිගේ, අජිත් කොටුවිල, සංජු දිවාරත්න, තිලකරත්න ලියනගේ, ඩේමියන් ජයලත්, සුරංගි නිරුෂනි හා අෂාන්ති තෝමස් සුදු ලිහිණියෝ සඳහා රංගනයෙන් දායක වෙති.

විදු ගී මියැසිය අද මාතලේදී

මාතලේ පුරවරයෙන් ගී ලොවට පෑයූ දෙරණ ලිට්ල්ස්ටාර් සිවුවැනි අදියරේ 12 න් පහළ ගායනා අංශයේ ජනප්‍රියම තරුව බවට පත් වූ විදුෂා නේත්‍රාංජලී රාජගුරු පුංචි දියණිය ප්‍රමුඛ ලිට්ල් ස්ටාර් තරගාවලියේ එම අදියරෙහි විදුෂා නේත්‍රාංජලී, දමීෂ නිල්ශාන්, සුපුනි රශ්මිකා, තරුෂි සෞභාග්‍යා, නමුනු හසංජිත්, තෙෂාරා විනිලි සහ දෙවුමි සේයා දුවා දරුවන් ගී ගයන ‘විදු ගී’ මියැසිය මෙම මස 29 දා එනම් අද මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත් වෙයි.

නලින්ද රණසිංහ ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සංගීතය මෙහෙයවයි. කථනය ගැමුණු ධර්ම ශ්‍රී හේරත්ගෙනි.