වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




මම තවම අංකුර කලාකරුවෙක්...

මම තවම අංකුර කලාකරුවෙක්...

ගී ලොව නවමං සොයා යන ග්‍රේෂන් ආනන්ද පුතු මාරියෝ කියයි

‘මාරියෝ ආනන්දනීය රාත්‍රිය’ දෙසැම්බර් 01 වැනි දා කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී ගීතවත් වේ...

දෙවසරකට ප්‍රථම සදහටම නිහඬ වූ ආනන්දනීය කොවුල් නද ග්‍රේෂන් ආනන්ද පුතු මාරියෝ ආනන්ද ගේ හඬින් ඔපවත්වන විචිත්‍රවත් ගීතමය ප්‍රසංගයක් එළඹෙන දෙසැම්බරයේ පළමු වැනිදා සවස කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.

ඒ නිමිත්තෙන් සහ මාරියෝ ගේ අලුත් තොරතුරු පිරික්සා බැලීමේ අටියෙන් ඔහු සමඟ කළ සංවාදයකි මේ.

මාරියෝ මොකක් ද මේ ප්‍රසංගය.?

මේක අතීතාවර්ජන ගී ප්‍රසංගයක්. මාරියෝ ආනන්දනීය ගීත රාත්‍රිය ලෙසයි එය නම් කොට ඇත්තේ. ගොඩක් දෙනෙක් තාත්තගෙ ගීත ඇතුළත් ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න කියා පසුගිය කාලෙ මගෙන් ඉල්ලීමක් කළා. ඒත් මගෙ අධ්‍යාපන කටයුතු නිසා එවන් ඇරැයුම් එක්රැස් කරගත්තා මිසක ඒවා සැබෑ කරන්න සුදුසු පරිසරයක් නෙවෙයි තිබුණෙ. වසරක් පමණ සංගීත කටයුතුවල යෙදෙන්නටත් බැරිවුණා. හරියටම තාත්තත් වියෝවෙලා වසර දෙකයි. ඒකත් ප්‍රබල හේතුවක් මෙය පවත්වන්න. ඒ වගේම මගෙ සංගීත දිවියෙ සැබෑ ප්‍රවිශ්ටය මෙැවැනි ප්‍රසංගයක් ඔස්සේ සිදුකරන්නට මට හිතුණා.

ප්‍රසංගයේ සංගීතය මෙහෙය වීම අතුල අධිකාරී ප්‍රමුඛ වාද්‍ය වෘන්දයෙන්. තාත්තාගේ ගීත විසිහයක් සහ මගේ ස්වනිර්මාණ ගී හතරකින් ප්‍රසංගය සමන්විතයි. සාරංග දිසාසේකර කථනයෙන් සහාය වෙනවා. ලතා වල්පොල, උරේෂා රවිහාරි, නටාෂා පෙරේරා, අනුරාධා නන්දසිරි, වජිර එදිරිමාන්න සහ මගෙ අක්කා දුලංජනී ආනන්ද එදින මට ගායනයෙන් සහාය වෙනවා. මෙහි විශේෂ දායකත්වය ශිරාන් විජය ගුණවර්ධන මහතාගෙන්.

මෙය කවර රසික පිරිසක් සඳහා ද?

ඇත්තම කිව්වොත් තාත්තගෙ රසිකයෝ වැඩි දෙනකු මෙතනට ඒවි. මගේ ගීත අසන්නටම කියලා විශේෂයෙන් කෙනෙකු නාවත් මට කමක් නැහැ. නමුත් මගේ කටහඬ ග්‍රේෂන් ආනන්දගේ කටහඬ නෙවෙයි. ඔහු විවිධාකාර ශෛලීන්ට ගැයුවා. අවුරුදු ගණනාවක් සංගීතය ප්‍රගුණ කළා. මම එහෙම නෙවෙයි. මං තවම අංකුර කලාකරුවෙක්.

ඔබව තැනකට ඔසවා තැබෙන්නේ ග්‍රේෂන් ආනන්ද නිසා යැයි මං කිව්වොත්?

මං ඊට එකඟයි. මගෙ තාත්තා ග්‍රේෂන් ආනන්ද නොවුණා නම් මං ගී ගයනවා තියා සංගීත ක්‍ෂේත්‍රය දිහා බලන එකකුත් නැහැ. තාත්තාගෙ ගීත වර්තමානයේ ගැයුවත් මගේම අනන්‍යතාවක් මත ඉදිරියට යනවා. ඒක නිසයි ප්‍රසංගයටත් මගේම ගීත හතරක් ඇතුළත් කළේ.

පියා වගේම ඔබත් ජීවිතයේ ඉදිරිය දකින්නේ සංගීතයෙන් ද?

තාත්තා කළා වගේ පූර්ණ කාලීනව සංගීතයේ යෙදෙන්න තරම් සුදුසු වටපිටාවක් අද නැහැ. ඒ වකවානුවේ බිහි වූ සංගීත නිර්මාණ වර්තමාන පරපුරටත් ආදර්ශයක්. වෙනත් රැකියාවක නියැලෙන ගමන් මියුසික් කරන්නයි මගෙ අදහස.

ඔබ හිතන්නේ අද වනවිට සංගීත ක්‍ෂේත්‍රය අස්ථාවරයි කියලද?

සත්තකින්ම.

ඒ වුණත් නව පරපුරේ බොහෝ දෙනෙක් රිඟින් ටෝන් හරහා විශාල මුදලක් උපයනවා නේද? ඉතිං කොහොමද අස්ථිරයි කියන්නේ?

රිඟින් ටෝන්වලින් මුදල් උපයන්න පුළුවන්. ඒත් එහෙම හැමදාම කරන්න බැහැනේ. මටත් තාත්තගෙ ගීත ඒවගේ කම්පැනිවලට විකුණලා මිලියන ගණන් උපයන්න තිබුණා. ඒක හරි පවු වැඩක්. තාත්තලා අපිට සමාන සෙනෙහසකින් තමයි ඒවා හැදුවේ.

ග්‍රේෂන් ආනන්ද සහ සිංහල සිනමාව කියන්නේ එකට බද්ධ වුණු නාම යුගළක්. ඔබට අදහසක් නැද්ද රිදී තිරයට දායක වන්න?

ජයසේකර අෆොන්සු මහත්මයාගෙ ‘සීතා මං ආවා’ චිත්‍රපටයට ගී ගැයුවා. මං පෙර කිව්වා වගේ තාත්තලගෙ කාලෙ තරම් සුන්දර නිර්මාණ බිහිවෙන්නේ නැහැ. චිත්‍රපටවලට වුණත් ඒ කතාව වලංගුයි. හොඳ චිත්‍රපටයකට දායක වන්න ආසයි. ඒත් අද කෝ එවැනි නිර්මාණ.

බොහෝ ප්‍රසංග සංවිධායකවරු කියනවා ප්‍රසංග වේදිකාවේ ගයන්නට ග්‍රේෂන් ආනන්ද ඉල්ලූ මුදලට වඩා වැඩි මුදලක් ඔබ ඉල්ලනවා කියලා?

මෙතෙන්දි මට විශේෂ දෙයක් කියන්න ඕනේ. ඇතැම් පිරිස් තාත්තා ඉල්ලන මුදල තියා ඉන් බාගයක්වත් නොගෙවා වෙන වෙන දේවල් දී ප්‍රසංගවලට කැඳවාගෙන ගියා. මං දන්නා තරමින් සමහර ප්‍රසංගවලට මුදල් ලැබිලත් නැහැ. ඒ අය වෙන්න ඇති ඔහොම කියන්නේ. තාත්තගෙ ගාණ කීයද කියලා මං දන්නෙ නැහැ. ඒත් මට මිලක් තියනවා. ඒ ගාණ ලැබුණොත් විතරයි මං ප්‍රසංග සඳහා යන්නෙ.

ඔබ පෙර කිව්වා තාත්තගෙ සිංදු විකුණන්නේ නැති බවට. දැන් කිව්වා ප්‍රසංග වේදිකාවට මිලක් තියනවලු. පරස්පරයි නේද ඒ කතාව?

රිඟින් ටෝන්වලින් ගීතයට කිසිසේත්ම සම්බන්ධයක් නැති අය සල්ලි හොයනවා. මට ග්‍රේෂන් ආනන්දගෙන් ලද උරුමයක් තියනවා. ඒක තමයි ගීත ටික. මට ඒවා ගයන්න අයිතියකුත් තියනවා. අනික මුදල් නොගෙන ප්‍රසංගයක ගැයුවොත් ඒක විහිළුවක් වේවි.

මාරියෝ දැන් විලාසිතාවලට බරවෙලා යැයි මට හිතෙනවා?

ඒ මං කොණ්ඩෙ ටිකක් වවපු නිසා වෙන්න ඇති. ප්‍රසංගය ඉවර වුණ ගමන් කොණ්ඩෙ කපනවා.

මාරියෝ ආනන්දනීය ගී රාත්‍රියේ නර්තනය නැත්තේ ඇයි?

පුද්ගලිකව මං ඒකට අකැමැතියි.

ඔබේ නව නිර්මාණ ගැනත් කතා කරමු?

ගීත කිහිපයක් කළා. ඉන් නටාෂා පෙරේරා සමඟ කියූ ‘හඳුනන්නේ’ ගීතයට රූප රචනාවක් නිර්මාණය කොට මාධ්‍යයන්ට දුන්නා. එය මේවන විට විකාශය වෙනවා. ඊට අමතරව රවීන්ද්‍ර විජේරත්නගේ ‘තූර්යා’ නාට්‍යයේ තේමා ගීතය ගැයුවා උරේෂා අක්කා සමඟ.

මාරියෝ ආනන්දට ග්‍රේෂන් ආනන්ද කියූ අමරණීය වාක්‍යය මොකක් ද?

පුතා, ඔයාට පුළුවන්, පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔය ගමන මං වගේම ඉදිරියට යන්න.