වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




නව වසරෙන් දීගය අවසන්

නව වසරෙන් දීගය අවසන්

තිරයේදී විඳින විරහ වේදනාව තාවකාලිකය. එහෙත් බොලිවුඩ් සිනමා සිත්තමක මෙන් සැබෑ ජීවිතයේ සුඛාන්තයම පතන තාරකාවකට විරහව පමණක් උරුම වන්නේ නම් එය කෙතරම් ඛේදජනකද?

කරිෂ්මා කපූර්, කපූර් පවුලේ දියණියන්ට රංගනයට තිබූ තහංචි බිඳ දැමූ පළමුවැන්නියයි. පවුලේ නීති බිඳ දැමීම ඇයට පාරා වළල්ලක් වී ඇත්දැයි කියා සිතෙන්නේ ඇයගේ විවාහ ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන් ගැන ඇසෙන පුවත් නිසයි.

ඇය මුලින්ම විවාහ ගිවිස ගත්තේ අභිෂේක් බච්චන් සමඟයි. එහෙත් ඒ ගිවිසුම ඉතා කෙටිකාලීන ගිවිසුමක් වුණේ වැඩිකල් නොයා දෙදෙනා වෙන් වූ නිසයි. ඉන් පසු හදිසියේම කරිෂ්මා සිය ළමා වියේ සිටම මිතුරකු වූ දිල්ලි ව්‍යාපාරික සංජේ කපූර් සමඟ උත්කර්ෂවත් මංගල්‍යයකින් යුග ජීවිතය ඇරැඹුවේ දහසක් බලාපොරොත්තු ඇතිවයි. 2003 වසරේ බොලිවුඩයේ සුපිරි මංගල්‍යයක් ලෙසින් තවමත් මේ මංගල්‍යය බොහෝ දෙනකුගේ මතකයේ පවතී.

ප්‍රසිද්ධියේ කරිෂ්මා කිසිවක් හෙළි නොකළත් තතු දන්නෝ පැවසුවේ විවාහ වූ දිනයේ පටන්ම කරිෂ්මා සතුටින් ජීවත් නොවූ බවයි. 2005 දී සමෙයිරා දියණිය ඉපදීම බිෙඳමින් පැවැතුණු විවාහයට බැඳීමක් ඇති කළත්, එය ද ටික කාලයකට විය. පසුව කරිෂ්මා, කරීනා සොයුරිය සහ සායිෆ්ගේ නිවෙසේ පදිංචියට ගියාය. තමන් යළිත් ගැබ්ගෙන ඇති බව කරිෂ්මා දැන ගත්තේ දෙතැනකට වූ පසුවයි.

කරිෂ්මා - සංජේ පවුලට එක් වූ පුතු කියාන් ද දෙදෙනාගේ විවාහය සවිමත් කිරීමට හේතු වූයේ නැත. මෑතකදී වැඩි දෙනකු කරිෂ්මාව දුටුවේ කරීනා සහ සායිෆ් සමඟය.

මේ අතර ස්ත්‍රී ලෝලියකු වූ සංජේ කපූර්, ප්‍රියා සච්දේව් සමඟ හාදකමක් පවත්වන බව ක්ෂේත්‍රය පුරා සුළි කුණාටුවක් මෙන් හමා ගියේය. සියලු ආරංචි සත්‍ය බව ලෝකයාට ඔප්පු වූයේ කරීනාගේ මංගල්‍යයේදී සංජේ කපූර් දක්නට නොලැබුණු නිසයි. දින පහක් පුරා පැවැති සායිෆ් – කරීනා මංගල්‍යයට එක් දිනයක්වත් සංජේ සහභාගි වූයේ නැත.

කපූර් පවුලේ හිතවත් පවුලක් වුව ද සංජේ, කරීනාගේ විවාහයට සහභාගි වී නැත්තේ සිය පෙම්වතිය ප්‍රියා සච්දේව්ට ඊට සහභාගිවීමට කරිෂ්මා අවසර නොදුන් නිසා බව කියවේ. කෙසේ වුණත් සැමියා, සංජේ සමඟ කිසිදු ඇඟෑලුම්කමක් නොපෑවත් කරිෂ්මා සැමියාගේ පාර්ශ්වය සමඟ දිගින් දිගටම හිතවත්ය. ඔවුන් සියල්ලන්ම කරිෂ්මාගේ පැත්තේය. ප්‍රියා සමඟ සංජේ පවත්වන සම්බන්ධය බිඳ දැමීමට ඔවුන් නොකළ දෙයක් නැත.

දික්කසාදයෙන් නව වසරක යුග දිවිය අවසන් වීමට ඇත්තේ තවත් කෙටි කාලයකි. දික්කසාදයට පෙර දෙදෙනා දරුවන්ගේ අයිතිය පිළිබඳ සාකච්ඡා කරමින් සිටිති. දරුවන් දෙදෙනා තමන් සතුකර ගැනීමට කරිෂ්මා වෙර දරන බව නම් ඒකාන්තය.

තිස් අට හැවිරිදි කරිෂ්මා ජාතික සිනමා සම්මානයෙන් සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන හතරකින් පිදුම් ලැබූ තාරකාවකි. ඇය විවාහයෙන් පසු සිනමාවේ දෙවැනි ගමන මේ වසරේදී ‘ඩේන්ජරස් ඉෂ්ක්’ සිනමාපටයෙන් ඇරැඹුවාය. එය ද එතරම් ආදායම් වාර්තා පිහිට වූ සිනමාපටයක් නොවීය.

හොලිවුඩ්, පොලිටික්ස් මේ දෙකම මට එපා!

‘ජබ් තක් හෛ ජාන්’ හොලිවුඩ් පුරවරයේ ද ඉහළම ආදායම් වාර්තා ලබමින් තිරගත වෙද්දී සුපිරි නළු ෂාරුක් ඛාන්ට හොලිවුඩය සමඟ නෑකමක් ගොඩ නැෙඟ්වි ද? ෂාරුක් පවසන අන්දමට හොලිවුඩය සහ දේශපාලනය තමන්ගේ ජීවිතයට කිසි දිනක නෑකම් නොකියන විෂයයන් දෙකකි.

‘හොලිවුඩයේ රඟපාන්න ආරාධනා ලැබිලා නෑ. ලැබුණත් මං කැමැති බොලිවුඩ් රංගනයටයි. දේශපාලනයත් මගේ විෂයයක් නොවෙයි. මා ඉපදුණේ සිනමාපට නිපදවා මිනිසුන් සතුටු කිරීමටයි.

දේශපාලනයට අකැමැති වුණත් තිරයේ දේශපාලන චරිත රඟපාන්න නම් කැමැතියි. රාශ්ත්‍රිය ජනතා පක්ෂයේ ප්‍රධානියා ලාලු ප්‍රසාද්ගේ චරිතය රඟපාන්න කැමැත්තෙන් ඉන්නවා’ ෂාරුක් පවසන්නේය.

ෂාරුක් - සල්මන් කෝන්තරය නිම වූ බවට මෑතකදී රාවයක් පැතුරිණි. එහෙත් ෂාරුක් පවසන්නේ එය නිම නොවන කෝන්තරයක් බවයි. ‘ජබ් තක් හෛ ජාන්’ සල්්මන්ගේ හිටපු පෙම්වතිය කත්‍රිනා ෂාරුක් සමඟ රඟපෑ පළමු සිනමාපටයයි. සිනමාපටය තිරගතවීමේ ප්‍රීතිය බෙදා ගැනීමට ෂාරුක්, සල්මන්, අමීර් යන ඛාන් ත්‍රිත්වයම සහභාගි වූහ. අමීර් ෂාරුක් හා සල්මන් සමඟ සුහද ලෙස හැසිරුණත් ෂාරුක් හා සල්මන් නම් එකිනෙකා සමඟ එසේ හැසිරී නැත.

අන්තර් ජාලයෙනි