වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




නිළියකගේ හදවත පසාරු කළ සැබෑ ප්‍රේම කතාව HEROIN

නිළියකගේ හදවත පසාරු කළ සැබෑ ප්‍රේම කතාව HEROIN
 

1968 අගෝස්තු මස 26 වැනිදා ජාතික තලයේ සම්මානලාභී අධ්‍යක්ෂවරයෙකි. තිරනාටක රචකයෙකි. නිෂ්පාදකයෙකි. ඔහු වඩාත් ප්‍රකට 2001 දී නිපදවූ චාන්දනී බාර්,2005 දී නිපදවූ පේජ් 3 ,2007 දී නිපදවූ ට්‍රැ?ෆික් සිග්නල් සහ 2008 දී නිපදවූ ෆැෂන් සිනමාපට හේතුවෙනි.
 

හෙරොයින් සිනමාපටයේ අධ්‍යක්ෂ මධූර් භාන්දර්කාර්

බොලිවුඩය දැන් දැන් ඇත්තට ළං වෙමින් සිහින ලෝකවල ඉන්නා ප්‍රේක්ෂකයන් කණෙන් ඇද පොළොවේ ගැසීමේ ව්‍යාපාරය පටන් ගෙන තිබේ. මීට දශකයකට පෙර බොලිවුඩය නිපදවූ සිනමාපට සමඟ වත්මනේ ඔවුන් නිපදවන සිනමාපට එක පෙළට තැබූ විට මේ වෙනස පැහැදිලිව දැක ගත හැකිය.

ස්වල්ප වූ සුරඟනා ලෝකයක ප්‍රේක්ෂකයා අතරමං කර,ඔවුන්ව අතිශය කුල්මත් කර,තාවකාලික ස්වර්ගයක් මවා දුන්නෝ ඔවුන්මය. එහෙත් මේ ස්වර්ගය දශකයකින් වෙනස් වීමට ඉටා ගෙන ඇති සෙයකි. හින්දි සිනමාවෙන් මිනිසුන්ගේ ජීවිතයේ හරස් කැපුම් පෙන්වීමට පටන් ගෙන ඉන් නොනැවතී ස්වකීය සිනමාවේම තිත්ත ඇත්ත පෙන්වීමට තීරණය කර කර ඇති සැටියකි.

2011 වසරේ නිපදවූ 'ද ඩර්ටි පික්චර්' සිනමාපටයෙන් කතා කෙරෙන දකුණු ඉන්දියානු නිළියගේ අභාග්‍යසම්පන්න ඉරණමත් මැරලින් මොන්රෝගේ ජීවිත කතාව ඇසුරින් නිපදවන ලද 'මයි වීක් විත් මැරලින්' මෙහිදී සිහියට නැඟෙනු වලකා ගත නොහැකිය. හුදෙක් නිළියකට උරුම අසාමාන්‍ය අලංකාරවත් ජීවිතය පලා ගෙන මතුවන්නට දගලන සාමාන්‍ය ගැහැනියගේ හුදෙකලා ජීවිතය මේ සියල්ලේම පොදු සාධකයව මතුව පෙනෙයි.

'හෙරොයින්' යනු 2012 වසරේ සැප්තැම්බර් මස 21 වැනිදා සිනමාශාලා වෙත මුදා හරින ලද බොලිවුඩ් සිනමාපටයකි. මහී අරෝරා ලෙස කරීනා කපූර් පෙනී සිටින හෙරොයින් බොලිවුඩ් සිනමාවේ තිත්ත ඇත්ත තිත්තක් ලෙසම පෙරා ගන්නට ඉඩ සලස්වයි. නිළියක සතු හුදෙක් ආකර්ශනය හෝ රංගනයෙහි දක්වන බුහුටි බව පරයමින් තවත් අවශේෂ සාධක අනන්තයක් ඇගේ වෘත්තිය ඉදිරිපිට පෙනී සිටින ආකාරය කතාබහට ලක් වෙයි.

එහෙත් සිනමාපටයේ මුල් අර්ධය තරමක් ඕලාරික ගතියකින් ගලා යන හෙයින්ම මේ සිනමාපටයේ තවත් කුමක් නම් සඟවා ඇතිදැයි නිරුත්සාහිකවම සිතෙයි. සාමාන්‍ය වට්ටෝරු සිනමා සම්ප්‍රධායේ සිනමාපටයක් ලෙස තම මුහුණ පෙන්වා සිටින හෙරොයින් ඉවසා සිටින්නන්ට පමණක් නිසි සත්කාරය ලබා දෙයි.

සිනමාපටයේ ආරම්භක දර්ශනය වඩාත් ආකර්ශනීය බව නොකියා සිටීම සුදුසු නැත. මහී අරෝරා ව කාරයක දොරක් විවෘත කර මහ පාරට ඇද දමන ඒ දර්ශනය බෝම්බයක් මෙන් ප්‍රේක්ෂකයා කළඹවාලයි. ඈ පොලිස් ස්ථානයකට ගොස් වචනයකුදු කථා නොකර කඳුළු වගුරුවන දර්ශනයත්, ඈ ප්‍රකට සිනමා නිළි මහී අරෝරා ලෙස අන්‍යයන් හඳුනා ගැනීමත් කදිම ආරම්භයකි. කිසිදු පැමිණිල්ලක් නොකර,අයාගත් දෑසින් ඉලක්කයක් නොමැතිව බලා සිටින මහී තමා උරමින් සිටි සිගරට්ටුවද සහිතවම පොලිස් නිළධාරියා ඉදිරියේ අසුන් ගෙන සිටියි. ඈ පොලිස් ස්ථානයට ඇතුළු වත්ම තවත් පොලිස් නිළධාරියෙකු කියන්නේ ඇය උරමින් සිටින සිගරට්ටුව එළියට විසි කර ඇතුළු වන ලෙසයි.

තාරකාවක සාමාන්‍ය මිනිසුන්ට අයිති නීති-රීති නොසලකන බව හඟිමින් ඈ නොනවත්වාම තම සියුමැලි ඇඟිලි තුඩු මත සිගරට්ටුව රඳවා ගෙන සිටියි. සැබවින්ම තමා ආදරය කළ පෙම්වතා,අනෙකෙකුගේ සැමියා පදවාගෙන ආ කාරයෙන් එළියට ඇද දැමූ පසු ඈ කාට විරුද්ධව පැමිණිලි කරන්නද ගැටුමක මුලක අප පටලවමින් සිනමාපටයට අපේ ඇස යොමු කර ගන්නා හෙරොයින් මද වේලාවකින් තම ආරම්භය අමතක කර ඕලාරික ස්වරූපයක් ගනී. එතැන් සිට පෙර කී බෝම්බයෙන් වූ තුවාල පෑරිමක් නොමැතිව ගලා යයි. එහෙත් ප්‍රේක්ෂකයාට අවශ්‍ය කම්පනය,තිගැස්ම,වෙනස,කලබලය සියල්ල අමතක කර සැනින් වට්ටෝරු හින්දි සිනමා පටයකට මාරු වෙයි.

මහී අරෝරා ලෙස රඟන කරීනා කපූර් මෙන්ම ඇගේ පෙම්වතා ආර්යන් ලෙස රඟන අර්ජුන් රාම්පාල් ගේ රංගනය ප්‍රසංසා ලැබිය යුතුමය. එහෙත් හෙරොයින් හි මහී අරෝරා ගේ චරිතය මුලින් රඟපෑමට තෝරාගෙන තිබුණේ කරීනා කපූර්වය. චිත්‍රපටයේ ඇති අතොරක් දර්ශන නිසා ඇය මේ චරිතය භාර ගැනීම අදි මදි කරමින් සිටියාය. ඉන් පසුව මේ චරිතයට යෝජනා වූයේ අයිශ්චර්යා රායිවය.

සිනමාපටය පටන්ගත් සැනින් ඈ දරුවෙකු ලැබීමට සිටීයෙන් යළිත් චරිතය කරීනා කපූර් වෙතම ළඟා විය. මේ චරිතය කරීනා කපූර්ට වඩා අයිශ්චර්යා රායි හට ගැලපෙන බවට සැක සංකාවක් මසිතේ මතුවෙමින් පහවෙමින් පැවතීම එතරම් අසාධාරණ නැත. මන්දයත් කරීනා කපූර් තම උපරිමය සිනමාපටය වෙනුවෙන් ලබා දී නැතැයි සිතෙන බැවිනි.

ඕ නොනවත්වා කෝප වෙයි,මත්පැන් පානය කරයි,දුම්වැටි පානය කරයි. හිතුමතේ බෙහෙත් භාවිත කරයි. ප්‍රකට නිළියක සතු සියලු රෝග ලක්ෂණ ඈ ප්‍රකට කරවයි. ඉවසීමෙන් තොර ඇගේ හැසිරීම සහ ආදරය වෙනුවෙන් උන්මාදයෙන් පසුවීම මැරලින් මොන්රෝගේ චරිත ලක්ෂණ ප්‍රකට කරවයි. ආර්යන් හට අසීමිතව පෙම් කරන ඇය ඔහු දික්කසාදය ලබාගෙන පැමිණෙන තෙක් බලා හිදී. ආර්යන් තම බිරිය සහ පුතු හැර එයි. එහෙත් ආදරය සැකයෙන් පටන් ගැනීමත්,සැකයෙන් අවසන් වීමත් යන නරක ලක්ෂණ හේතුවෙන් මහීආර්යන් පෙම් කතාව දෙදරා යයි. සියල්ල තිබූ නිළියකට බොහෝ දේ අහිමි වෙයි. අලුත් තාරකා බොලිවුඩයට පායා එන විට ඇගේ දීප්තිය අඩුව යයි. මාධ්‍ය හසුරුවන තාරකාවල හැසිරීම ඇගෙන් ගිලිහී යයි. තරු ඇති කරන-නැති කරන මාධ්‍ය සමඟ ඈ නිතර ආරවුල් ඇති කර ගනියි.

සිනමාපටයේ දෙවැනි අර්ධයේ කරිනා තම උපරිමය ලබා දීමට තීරණය කර ඇති සැටියකි. මුදල් අඩුවෙන් යෙදවූ,යථාර්ථවාදී සිනමාපට අධ්‍යක්ෂවරයෙකු සමඟ ඔහුගේ සිනමාපටයේ රඟන්නට ඈ එකඟ වෙයි. ආර්යන් සමඟ ඇතිවූ ආරවුලත්,අබ්බාස් ඛාන් සමඟ ඇති කරගත් ගැටුමත් ද්විත්වයම හේතුවෙන් ඈ සැබෑ නිළියක වීමට තීරණය කරයි.

 නගර ශෝභනියන් ගැන කියැවෙන මේ සිනමාපටය මහී ගේ සිනමාත්මක පරිකල්පනය ඔසවා පොළොවේ ගසයි. හුදෙක් නැටුමෙන්,ගැයුමෙන් සහ සරල රංගනයෙන් ඉටු කළ රාජකාරියෙන් ඈ පිටමං කරන මේ චරිතය සැබෑ නගර ශෝභණියක් ඉල්ලා සිටියි. ඕ තවත් යෙහෙළියක් සමඟ ගණිකා මඩමකට ගොස් ඔවුන් සමඟ කතා බහ කරමින් තම චරිතයේ ගැඹුර සොයයි. පසුදා ඈ සැබෑ නගර ශෝභණියක් ලෙස රඟමින් අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රසංසා ලබා ගනී. අවාසනාවකට ඒ සිනමාපටය සම්භාව්‍ය වැඩි යැයි පවසමින් තිරගත කිරීම නවතයි. මහී නැවතත් අකාරුණික අතීතයේම හිර වෙයි.

සිනමාපටය අධ්‍යක්ෂණය කළ මධූර් භාන්දර්කාර් කියන්නට උත්සාහ කරන නිළි ජීවිතයේ අල්ප සංතෝෂය අල්ලා ගැනීමට ප්‍රේක්ෂකයාට හැකි මුත් ඉන් ඇති විය යුතු තදබල කම්පනය නම් නොලබයි. මේ කම්පනය ඉල්ලා සිටින ප්‍රේක්ෂකයා මහී තම සිනමා ජීවිතයෙන් පලා ගොස් යුරෝපයේ දිවි ගෙවීම අනුමත නොකරන සුළුය.

ඈ තමන් කෙටි කලකින් හඳුනා ගත් පැරැණි නිළියකගේ මරණයක් සැල වී පැමිණි විට ඈ වට කර ගන්නා මාධ්‍යයට දෑත් එක් කර වැද වැටීම සිනමාපටය පුරා පැය ගණනාවක් පෙන්වූ රූප රාමු සියල්ලටම වඩා බලවත්ය. ජනමාධ්‍ය සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට කරන බලපෑමට වඩා සිය දහස් ගුණයක් වැඩි බලපෑමක් ප්‍රකට පුද්ගලයන් විෂයෙහි දැක්වීම සදාතන සත්‍යයකි. මේ කුප්‍රකට ව්‍යාපාරයකි.

සුප්‍රකට මිනිසුන්ට සහ ගැහැනුන්ට කුප්‍රකට ව්‍යාපාරයකින් ගැලවීගත නොහැකි විට සෙසු අය ගැන නම් කවර කතාද හෙරොයින් තවත් එක් සිනමාපටයක් නොවන්නේ අන්න ඒ කාරණය හේතුවෙනි.