වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




‘රොජර් මුවර් බොන්ඩ්ගෙන් සමු ගනී’

‘රොජර් මුවර් බොන්ඩ්ගෙන් සමු ගනී’

A View To A Kill

1985 දී තිරගත වුණු ‘අ විව් ටු අ කිල්’ චිත්‍රපටය ඉඔන් ප්‍රඩක්ෂන්ස් සමාගම විසින් නිපැයු 14 වැනි බොන්ඩ් චිත්‍රපටය වන අතර එය රොජර් මුවර් රඟපෑ හත් වෙනි සහ අවසාන චිත්‍රපටය ද වෙයි.

මැක්ස් සොරින් සුප්‍රකට අස් ගාල් හිමියෙකි. තුරඟ තරග සඳහා අසුන් පුහුණු කරන ඔහු අවශ්‍යයෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකි. එක් විශේෂිත කාරණයක් වන්නේ ඔහු විසින් තරගයට ඉදිරිපත් කරන අශ්වයා අනිවාර්යයෙන්ම ප්‍රථම ස්ථානයට පැමිණීමයි.

ඔහුගේ අශ්වයින්ට තහනම් උත්තේජක ලබා දෙතැයි ඇති වූ සැකය පරීක්ෂණ මගින් සනාථ කිරීමට නොහැකි වුවත්, පරීක්ෂණවලට ලක් නොවන ආකාරයේ අයථා ක්‍රමයකින් මෙය සිදුවන බවට බොහෝ හේතු සාධක හමු වෙයි. සොරින්ගේ ධන උපයන මාර්ග අතර මයික්‍රෝචිප් වන අතර නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලබා දෙන සිලිකන් වැලි පතල් සංකීර්ණයක් ද වෙයි. අශ්වයින් සඳහා උත්තේජක නිපදවන රසායනාගාරයක් ද හොර රහසේ ක්‍රියාත්මක මේ සියල්ල පසුපස අදිසි බලවේගයක් ලෙස ක්‍රියාත්මක වන්නේ සොරින් සහ ඔහුගේ ප්‍රියම්භිකාව වන ‘මේ ඩේ’ නමැති නීග්‍රෝ තරුණියයි.

ඔහුගේ සමාජ විරෝධී කටයුතු විනාශ කිරීමත් අබිරහස් මිනීමැරුම් අනාවරණය කර ගැනීමත් මෙවර ජේම්ස් බොන්ඩ් හට පැවරෙන භාරධූර වගකීම වෙයි. මෙහිදී ඔහුට සොරින්ගේ සහායිකාව වූ ‘මේ ඩේ’ නම් සටන්කාමිනිය සමඟ මුහුණට මුහුණ ලා සටන් කිරීමට සිදුවන අතර මෙම බිහිසුණු ව්‍යාපෘතියේ නියැලෙද්දී අහම්බෙන් මෙන් ‘ස්ටේසි සට්න්’ නම් අතිශයසුරූපී ක්‍රියාශීලී තරුණියක් මුණ ගැසෙයි. ඉන් අනතුරුව ක්‍රියාදාමයට ලැබෙන්නේ වෙනත් මුහුණුවරකි.

1985 දී තිරගත වුණු ‘අ විව් ටු අ කිල්’ චිත්‍රපටය ඉඔන් ප්‍රඩක්ෂන්ස් සමාගම විසින් නිපැයු 14 වැනි බොන්ඩ් චිත්‍රපටය වන අතර එය රොජර් මුවර් රඟපෑ හත් වෙනි සහ අවසාන චිත්‍රපටය ද වෙයි.

ඉයන් ෆ්ලෙමින් විසින් රචිත ‘ෆෙ‍්‍රාම් අ විව් ටු අ කිල්’ නම් කෙටි කතාව ඇසුරින් මෙහි තිර නාටකය ලියැවුණේ රිචඩ් මේ බෝම් සහ මයිකල් ජී. විල්සන් අතිනි. නිෂ්පාදනය ඇල්බට් ආර්. බ්‍රොකොලි සහ මයිකල් ජී. විල්සන් විසිනි. මෙය ජෝන් ග්ලෙන්ගේ තෙවැනි බොන්ඩ් සිනමා අධ්‍යක්ෂණයයි.

චිත්‍රපටයේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස රඟපෑවේ ක්‍රිස්ටෝපර් වෝල්කන්ය. ස්ටේසි සට්න් නම් වූ ප්‍රධාන නිළි චරිතය සඳහා ජනප්‍රිය ටෙලි මාලා නාටකයක් වූ ‘බේ වොච්’ හි රඟපෑමෙන් ජනප්‍රියත්වයට පත්ව සිටි ටානියා රොබට්ස් නම් සුරූපිනිය තෝරා ගැනිණි. සොරින් ගේ පෙම්වතිය සහ සහායිකාව ලෙස රඟපෑවේ කළු ජාතික නිළි ගායිකාවක් වූ ග්‍රේස් ජෝන්ස්ය. ඇගේ මිතුරිය ලෙස පැපීලොන් සු සු චරිත නිරූපණයෙහි යෙදුණා. ලොයිස් මැක්ස්වෙල් මිස් මනිපෙනි ලෙස රඟපාන අවසන් චිත්‍රපටය මෙය වූ අතර ෆියෝනා ෆූලර්ටන් කේ. ජී. බී ඒජන්ත සෝලා ඉවානෝවා ලෙස රඟපෑවා. රොබට් බ්‍රවුන් බ්‍රිගේඩියර් ‘එම්’ ලෙසත් මිස්ටර් ‘කිව්’ ලෙස ඩෙස්මන්ඩ් ලෙවලින් ද චරිත නිරූපණයට එක් වුණා. ප්‍රතිවාදී සොරින් ගේ චරිතයට ඩේවිඩ් බෝවි මුලින් තෝරා ගෙන සිටියත් පසුව ඔහු එයින් ඉවත් වීම නිසා ක්‍රිස්ටෝපර් වෝල්කන්ට එම චරිතය හිමි වුණා.

ග්‍රේස් ජෝන්ස් ගේ පෙම්වතා වූ ඩෝල්ෆ් ලන්ග්‍රීන් වරෙක ඈ හමුවීමට දර්ශන තලයට ආ අවස්ථාවකදී නළුවකුගේ අඩුපාඩුවක් සපුරාලීමට රඟපෑමට එක් වූ ඔහුට සැලකිය යුතු චරිතයක් ලබාදීමට අධ්‍යක්ෂ ජෝන් ග්ලෙන් පියවර ගත්තා. චිත්‍රපටයේ ප්‍රධාන රූගත කිරීම් ආරම්භ වූයේ 1984 ජූනි 23 දා අයිස්ලන්තයේදී. එම 27 දා ලන්ඩන් පයින්වුඩ් චිත්‍රාගාරයේ දී රිඩ්ලි ස්කොට් ගේ ‘ලෙජන්ඩ්’ නම චිත්‍රපටය රූගත කෙරෙද්දී ඇති වූ හදිසි ගින්නකින් එහි තනා තිබූ 007 වේදිකාව මුළුමනින්ම දැවී ගිය අතර එය නවීකරණය කොට යළි විවෘත කෙරුණේ 1985 ජනවාරියේදී.

නව වේදිකාව නම් කරන ලද්දේ ඇල්බට් ආර්. බ්‍රොකොලිගේ 007 වේදිකාව නමින්. පයින්වුඩ් චිත්‍රාගාරයට අමතරව බොහොමයක් රූගත කිරීම් සිදු කෙරුණේ අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේදීය. ග්‍රේස් ජෝන්ස් පැරිසියේ අයිෆල් කුළුණ මුදුනේ සිට පහළට පනින දර්ශනයක් සහ හරි මැදින් දෙකඩ වුණු රථයක් බොන්ඩ් විසින් පදවාගෙන යනු ලබන දර්ශනයක් ද මීට ඇතුළත්.

රාත්‍රී කාලයේ පැරිසියේ ජනාකීර්ණ වීදි පුරා ගිනි නිවන රථයක් හා කෙරෙන අවදානම් ලුහුබැඳීමේ දර්ශනය ද කාගේත් සිත් පැහැර ගත්තා.

විව් ටු අ කිල් තේමා ගීය ගැයුවේ එවකට ලන්ඩනයේ අති සාර්ථකත්වයේ සිටි නව පරපුරේ සංගීත කණ්ඩායමක් වන ‘ඩුරාන් ඩුරාන්’ විසින්. මෙම ගීතය අමෙරිකානු ගීත දර්ශකයේ ප්‍රථම ස්ථානයත්, බ්‍රිතාන්‍ය ගීත දර්ශකයේ දෙවැනි ස්ථානයත් දිනාගත් අතර එය වාර්තා වන්නේ බොන්ඩ් සිනමාවලියේ ජනප්‍රියම ගීතයක් ලෙසයි. මෙම ගීතයේ සහ චිත්‍රපටයේ සංගීත නිර්මාණය කළේ සුපුරුදු සංගීතවේදී ජෝන් බැරී විසින්.

ප්‍රථම වරට බ්‍රිතාන්‍යයෙන් බැහැර රටකදී මංගල දර්ශනය පැවැත් වු බොන්ඩ් චිත්‍රපටය වන්නේ ද මෙයයි. 1985 මැයි 22 දා සැන්ෆ‍්‍රැන්සිස්කෝහිදී එය පැවැත්වුණ අතර ජූනි 12 දා ලන්ඩන් හි ඕඩියන් ශාලාවේදී බ්‍රිතාන්‍ය පුර්ව දර්ශනය තිරගත වුණා. චිත්‍රපටයේ මුල් සතියේ ආදායම ඇමෙරිකාවේදී ඩොලර් මිලියන දහයක් වූ අතර ඉන් අනතුරුව එහි ආදායම වූයේ ඩොලර් මිලියන 50.3 කි. ලොව වටා එහි මුළු ආදායම ඩොලර් මිලියන 152.4 කි.

චිත්‍රපටයට ලැබුණු විචාරක ප්‍රතිචාර ඉතා නිර්දය මෙන්ම දැඩි අසතුටුදායක මට්ටමක පැවතුණා. 57 වියැති රොජර් මුවර් බරපතළ විවේචනයන්ට පාත්‍ර වුණා. ෂෝන් කොනරිගේ අදහස වූයේ බොන්ඩ් චරිතයට සුදුසු වන්නේ වයස 35 සහ 45 අතර නළුවකු බවයි. ඒ සඳහා තමා මෙන්ම රොජර් ද මහලු වැඩි බව ඔහුගේ මතය වුණා. රොජර් මුවර් ද එය නිහතමානිව පිළිගෙන තිබුණේ තමා එහි ප්‍රධාන නිළිය වූ ටානියාගේ මවටත් වඩා වැඩිමහලු බව ප්‍රකාශ කරමින්.

කෙසේ වෙතත් ඇතැමෙකුගේ අදහස වූයේ එය වේගවත්ම බොන්ඩ් චිත්‍රපටය ලෙසයි. සියලු විවේචන හමුවේ එය රොජර් මුවර්ගේ අවසන් බොන්ඩ් චිත්‍රපටය ලෙස සනිටුහන් වුණා.

බොන්ඩ් සිනමා අඹරේ පායන සිව්වෙනි බොන්ඩ් තාරකාව වන තිමති ඩෝල්ටන් රඟන ලිවින් ඩේලයිට්ස් සමඟ ලබන සතියේ හමුවෙමු.