වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




සුපිරි තරු බිහි කරන ‘සිහිනය’

සුපිරි තරු බිහි කරන ‘සිහිනය’

යස ඉසුරින් පිරි රජ මැදුරක හෝ කටුමැටි දුප්පත් පැල්පතක හෝ වෙනසක් නොමැතිව ඔබ මා සියලු දෙනා සිහින දකින්නෙමු. ඒ සිහින යථාර්ථයක් කරගන්නට දිවා රෑ වෙහෙසෙන අපි තමන්ගේ සිහින උපන් ගෙයිම මියෙද්දී කිසිවක් කර කියා ගන්නට නොහැකි මේ රටේ වෙනස් වූ හැකියාවන් සහිත තරුණ තරුණියන් පිළිබඳ කුමන හෝ මොහොතක සිහියට නගා තිබේ ද?

ඒ මහා ජාතික වගකීම කරට ගත් ජාතික තරුණ සේවා සභාව මහ මෙර උසට පැතුම් පොදි බැඳගෙන නැතත් ජීවිතයේ සහන් එළියක් අපේක්ෂා කරන ඔවුන්ගේ ‘සිහිනය’ යථාර්ථයක් බවට පත් කරමින් ‘සිහිනය රියැලිටි ෂෝ’ ප්‍රේක්ෂක අභිමුව දිග හැරීමට කටයුතු යොදා තිබේ. දහසකට ආසන්න පිරිසක් අතරින් අවසන් මහා තරගයට තරග කරන තරගකරුවන් පිළිබඳ මෙසේ තොරතුරු බිඳක් හෙළි කරන්නේ ඔබට අමතකව ගිය ඔවුන්ගේ හැකියාවන් දැන ගැනීමටත්, ඔබේ උපකාරයත් ඇවැසි බැවිනි.

ගායන අංශය

නිලන්ති ප්‍රියංගිකා සෝමරත්න පොළොන්නරුවෙන් සිහිනය වැඩසටහනට එක් වූ තිස්වැනි වියේ පසුවන යෞවනියක්. කුරුණෑගල සඳගල විශේෂ පාසලෙන් සා/පෙළ සමත් වූ ඇය උසස් පෙළ සඳහා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වූවාය. ජීවිතයේ අනේක විඳ දුක්ඛ දෝමනස්සයන් ජය ගනිමින් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ නිලන්ති මේ වන විට ගුරුවරියක් ලෙසින් පොළොන්නරුව ආදර්ශ කනිටු විදුහලේ දූ දරුවන්ට සිය දැනුම ලබා දෙන්නීය.

දෙනෙතින් නොපෙනෙන ලෝකය මනසින් ග්‍රහණය කළ ඇය ස්වභාව දහමේ සෑම සියුම් හඬක්ම මනසින් ග්‍රහණය කර ගනිමින් එහි ලයාන්විත බව විඳ ගත්තාය. එහි ප්‍රතිඵලයක් ලෙස අද සිහිනය වැඩ සටහනේ ගායන අංශයේ තරගකාරියක් ලෙසින් ඇගේ මියුරු හඬින් සිය ප්‍රේක්ෂකයන් ග්‍රහණය කර ගැනීමට ඇය සමත් වී සිටින්නීය.

සංගීත අංශයෙන් ඇය සමඟ කරට කර තරග කරන අනෙක් තරගකරු වන්නේ කොටුගොඩ ප්‍රාථමික විද්‍යාලයෙන් හා මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයට ඇතුළු වූ බුද්ධික ඒකනායකයි. අත් දෙක වගේම පාදයන්හිත් ආබාධ සහිත ඔහු විවාහකයෙකි. බෙල්වුඩ් නිකේතනයේදී ඇතිකරගත් ආදරය විවාහයෙන් අවසන් විණ. දැන් පුංචි කොලු පැටියෙකුට පියෙක් විය. මෙම තරගයේදී ගායන අංශයෙන් තරග කළත් බුද්ධිකට ඕගන්, ගිටාර්, ඩ්‍රම්ස් වගේ බොහෝ වාද්‍ය භාණ්ඩ වාදනය කළ හැකියි. ආබාධයන් බාධාවක් කරනොගත් ඔහු සිය කැදැල්ල වෙනුවෙන් යමක් හරිහම්බ කර ගන්නට සංගීතය යොදා ගත්තේය. සිහිනය දිගේ මෙතෙක් පැමිණි ඔහුගේ ගමන් මෙඟ් කෙළවර සුබවාදී වනු ඇති බව ඔහුගේ බලාපොරොත්තුවයි.

තවමත් 14 වැනි වියේ පසුවන උශාන්දිනි ලෝගනාදන් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් සිහිනය වැඩසටහනට පැමිණි පාසල් ශිෂ්‍යාවක්. කල්ලඩිවල විශේෂ පාසලක අධ්‍යාපනය හදාරන ඇය කිසි දිනක ලෝකයේ ලස්සන නොදුටු හිරිමල් යෞවනියකි. කායික දුෂ්කරතාවන්ට අමතර ආර්ථික දුෂ්කරතාවලින් ද හෙම්බත්ව සිටින ඇය ඒ සියල්ල දරා ගනිමින් සිහිනය වැඩසටහනට පැමිණ සිටින්නේ ඇගේ ගායන ශිල්පිනියක වීමේ අභිලාශය මුදුන්පත්කර ගැනීමටයි. ඇය ඒ දිනය උදාවන තෙක් ඇඟිලි ගනිමින් සිටින්නීය.

තිස්ස ජයරත්නත් ගායන අංශයෙන් අනෙක් තරගකරුවන් සමඟ කරට කර තරග කරන අති දක්ෂයෙකි. කළුතර මොරපිටියෙන් පැමිණ සිටින ඔහු රත්මලාන අන්ධ විද්‍යාලයෙන් හා බුලත්සිංහල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීය. මේ වන විට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කලා උපාධිය හදාරන තිස්ස එහිදී ද සංගීතය විෂයයක් ලෙස හදාරයි. මව් සෙනෙහස අහිමි වුවත් පියාගේ සහ සහෝදර සහෝදරියන්ගේ ආදර සැලකිලි ලබන තිස්ස ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන අපූරු තරුණයෙකි.

අවසන් මහා තරගයට ගායන අංශයෙන් තරගකරුවන් පස් දෙනෙක් තේරී පත් වී සිටින අතර අනෙක් තරගකරු වන්නේ මධුරංග ජයරත්නය. ගම්පහ වතුරගමින් සිහිනය තරගාවලියට පැමිණ සිටින 28 හැවිරිදි මධුරංග වතුරගම ප්‍රාථමික විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. දෙමාපිය සොයුරු සොයුරියන්ගේ ආදර සංග්‍රහ ලබමින් ජීවත්වන ඔහු තම දක්ෂතා මතුකර ගැනීමට ජාතික තරුණ සේවා ලබා දෙන අනුග්‍රහයට ප්‍රශංසා කිරීමට අමතක නොකළේය.

වාදන අංශය

විසිනව හැවිරිදි බුද්ධික තරංග පුත්තලම කිවුල අංක 04 නම් වූ දුෂ්කර ග්‍රාමයෙන් සිහිනය තරගාවලියට එක් වූ තරගකරුවෙකි. මහවැව සිවිරාජ දෘෂ්‍යාබාධිත පාසලෙන් අධ්‍යාපනය ලැබූ බුද්ධික බටනලා වාදනයෙන් තරග වදී. කුලී වැඩක් කර දෙමාපියන් උපයන මුදලින් ජීවත්වීමට අකමැති ඔහු තමන්ටත් කුමක් හෝ රැකියාවක් තිබේ නම් මිට වඩා ඉදිරියට යාමට අවශ්‍ය පසුබිම සකසා ගත හැකි බව විශ්වාස කරයි. තමා වෙනුවෙන් මිත්‍රයකු දැමූ ඉල්ලුම් පතක් නිසා මෙම තරගයට සහභාගීවීමට අවස්ථාව ලද බුද්ධික තමන් පැමිණි ගමන් මග පිළිබඳ සිය සතුට පළ කළ අතර, මිතුරාට ස්තුති කිරීමට ද අමතක නොකළේය.

සීතල උඩුදුම්බරින් ‘සිහිනය’ට මහරගම ජාතික තරුණ සේවා සභාවට පැමිණි 27 හැවිරිදි අමිල චානක සිය යෞවනය රෝද පුටුවක් මත ගෙවා දැමුව ද ඔහුගේ සිතේ ශක්තිය ලෝකය ජය ගන්නට තරම් සමත් වී තිබේ. සරස්වතී දේවිය දුන් කලා කුසලතාවන් දෝතින් ගෙන පැමිණි අමිල කී බෝඩ් වාදනයේ අති දක්ෂයෙකි. කී බෝඩ් වාදනයට අමිල දායක කර ගනිමින් ඔහුගේ එම සහජ කුසලතා සමාජගත කිරීමට උපකාර කළ නිලන්ත රණසිංහ මහතා පිළිබඳ මෙන්ම තමාගේ බොහෝ කටයුතුවලදී උදවු උපකාර කරන හිත මිතුරන් ද සෙනෙහසින් සිහිපත් කිරීමට අමිල අමතක නොකළේය. ජීවිතය ජය ගැනීමට සිතේ ශක්තිය හැර වෙනත් කිසිදු ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති අමිලට ඔබේ උපකාරය රටක් රාජ්‍යයක් තරමට වටිනු ඇත.

වාදන අංශයෙන් තරග කරන එකම තරගකාරිය සඳරු ප්‍රියන්වදා. ගැට්ටුවාන මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා අ. පො. ස. (සා. පෙළ) ටඒ සාමාර්ථ 10 ක් ලබා ගත් සඳරු ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ප්‍රවිශ්ට වූයේ ඒ සාමාර්ථ 3 ක් ගෙන බ්‍රේල් අංශයෙන් ලංකාවේ ප්‍රථම ස්ථානය ද ලබා ගනිමිනි. විශ්ව විද්‍යාලයේ ප්‍රථම වසරේ මෙන්ම විශාරද අවසන් වසර ශිෂ්‍යාවක් වූ සඳරු වයලින් වාදනයෙන් තරග කරන්නීය. එමෙන්ම බටනලා, ගිටාර්, කී බෝඩ්, තබ්ලා වැනි බොහෝ වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමේ සහජ හැකියාවක් ඇති සඳරු ගායනයට ද සමත්කම් දක්වන්නීය.

නර්තන අංශය

නුවර දේවි බාලිකා විද්‍යාලය සා. පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ 19 හැවිරිදි සඳුනි තාරකා ශ්‍රව්‍යබාධිත තරුණියක්. නමුත් ඇගේ ශරීරය තුළ රිද්මය මනාව පිහිටා තිබේ. සංඥා භාෂා හා පාද චලනයන් රිසි ලෙස ග්‍රහණය කර ගන්නා සඳුනි වේදිකාව තුළ අති දක්ෂ නර්තන ශිල්පිනියකගේ කාර්යය ඉටු කරන්නීය.

මොහොමඩ් ෂියාම් කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ 21 හැවිරිදි තරුණයෙක්. බහ තෝරන වියේදී මුවින් වචන පිට නොකළ ඔහු දකින දකින දේ එලෙසින්ම අනුකරණය කරන්නට විය. ළාබාල වියේ සිටම චිත්‍රපට නරඹා ඒ අනුව නර්තනය ඉගෙන ගත් ඔහු අද සිහිනය රියැලිටි වේදිකාවේ අවසන් වටයට තරග කරන සුපිරි තරගකරුවෙකි.

රත්මලාන බිහිරි විද්‍යාලයේ 7 වසරේ අධ්‍යාපනය ලබන ඉන්දික සඳරුවන් සිය නර්තන දක්ෂතා මැනවින් ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂක අවධානය දිනාගත් තරගකරුවෙකි. කෙතරම් ආර්ථික දුෂ්කරතා තිබුණ ද සිය හැකියාව රටට පෙන්වීම සඳහා විශාල කැපවීමක් කරන මව්පියන් ආදරෙන් සිහිපත් කළ ඉන්දික අනාගතයේ ගුරුවරයකු ලෙස කටයුතුª කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහු වෙනුවෙන් කතා කළ මව පැවසුවාය.

ශානිකා කුමාරි, කෑගල්ල සෙන් ජෝසප් බාලිකා විද්‍යාලයේ විශේෂ ඒකකයේ අධ්‍යාපනය ලැබීය. උඩරට, පහතරට, ෆ්‍රී ස්ටයිල්, බැලේ, බොලිවුඩ් ස්ටයිල් වැනි විවිධ නර්තන සම්ප්‍රදායන් හදාරන ඇය අනෙක් දරුවන් වගේම සාමාන්‍ය දරුවෙක් බව ඇගේ මව පුෂ්පා අමරසේකර මහත්මිය පැවසුවේ මහත් වූ සෙනෙහසිනි.

විසි හය හැවිරිදි ඉන්දික බණ්ඩාර කුරුණෑගල නිශ්ශංක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේය. ගී පදයක් මුමුණන්නට හෝ මියුරු තාලයක් නොඇසුණත් ඒ තාලයෙන් මොහොතකට හෝ පිට නොයන ලෙස පාද තබමින් කරන රංගනය බලා සිටින්නට අපූරුය. සුනේත්‍රා බණ්ඩාරනායක පදනම, සුනෙර පදනම, කුරුණෑගල ජනකලා ආයතනයේ ගුරුවරයෙක් ලෙස කටයුතු කරන ඉන්දික මේ ගමනට දිරිදුන් දෙමාපියන්, සහෝදරියන් මෙන්ම බිරිඳ නිම්මි ද ආදරයෙන් සිහිපත් කළේය.

නර්තනය (මන්දමානසික)

සිහිනය තරගාවලියේ ලාබාලම තරගකාරිය 13 හැවිරිදි ඉෂිනි අචින්ත්‍යා. හොරණ තක්ෂිලා ප්‍රාථමික විද්‍යාලයේ විශේෂ ඒකකයේ අධ්‍යාපනය ලබන ඇය කුඩා අවධියේ සිටම මනරම් ලෙස නර්තනයන් ඉදිරිපත් කළත් මෙතරම් වූ විශේෂ හැකියාව ඇති බව රටටම පෙන් වූයේ ජාතික තරුණ සේවා සභාවේ ‘සිහිනය’ වැඩසටහනයි. එය ඇගේ ජීවිතයේ සුවිශේෂී සංදිස්ථානයයි.

ඩිල්කිශානි වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේ විශේෂ ඒකකයේ ඉගෙන ගන්නා ශිෂ්‍යාවක්. කෝසල දුලාර පදනම, සුනෙර පදනම මෙන්ම සුපුන් රංගායතනයේ ශිෂ්‍යාවක් වූ ඇයගේ එම දක්ෂතා නිසාම ඇගේ නර්තන හැකියාවන් දැක් වූ චිත්‍ර පටයක් ස්වීඩනයට ද ගෙන ගොස් තිබේ. ඇය ඒ තරමටම දක්ෂතා ඇති තරුණියකි.

එල්. සිල්වෙස්ටර් 17 හැවිරිදි තරුණයා බගවන්තලාවෙන් සිහිනය තරගාවලියට එක්වේ. අසල්වැසියන්ගේ උදවු උපකාරවලින් ජීවිතය ජය ගන්නට වෙර දරන සිල්වෙස්ටර්ගේ සිහිනය සැබෑ වේවායි අපේ ප්‍රාර්ථනයයි.

ලේ කිරි කර පොවා, කැත කුණු අතගා ඇති දැඩි කළ දරුවන් ආබාධිතයන් ලෙස පවුලෙන් කොන් නොකර ඔවුන්ගේ දක්ෂතා හඳුනාගෙන ඒ අනුව ඉදිරියට රැගෙන යෑම නිසා මෙවන් රටම දන්නා හඳුනන තරු බවට පත් වූ බව මේ සියලු තරගකරුවන්ගේ ඥාතීන්ගේ විශ්වාසයයි.

ජාති, ආගම්, කුල භේද හෝ දුප්පත්, පොහොසත් භේදය නොසලකා ජාතික තරුණ සේවා සභාව සමස්ත තාරුණ්‍ය වෙනුවෙන් සිය වගකීම නොපිරිහෙලා ඉටු කරන රාජ්‍ය ආයතනයක් වශයෙන් මෙතෙක් සමාජයේ අඩු අවධානයට ලක්ව සිටි මෙම තරුණ කණ්ඩායම ජාතියට හඳුන්වාදීමේ භාරදූර වූත්, දුෂ්කර වූත් කාර්යයට මූලිකත්වය ගනු ලැබීය. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ උදාර සංකල්පයට ජීවය දෙමින් වත්මන් සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතාගේ උපදේශකත්වය හා මඟ පෙන්වීම යටතේ අධ්‍යක්ෂ (සංවර්ධන) සනත් වීරසූරිය මහතා මෙම කාර්යයේ මෙහෙයුම්කරු ලෙස ක්‍රියා කරමින් සිටී.

වර්තමානයේ ක්‍රියාත්මක වන අනෙකුත් බොහෝ රියැලිටි වැඩසටහන් අතරින් මෙය සුවිශේෂී වේ. මෙම තරගාවලියේ මුල් වටවලදී දිස්ත්‍රික්කවලින් පැමිණි සෑම බස් රථයක් සඳහාම බස් ගාස්තුව ගෙවීම මෙන්ම මේ වන විට සීමිත තරගකරුවන් ප්‍රමාණයක් පැමිණෙන බැවින් ඔවුන්ට හා ඔවුන්ගේ සහායකයාට ගමන් වියදම් ජාතික තරුණ සේවා සභාව විසින් ගෙවනු ලැබේ. එමෙන්ම නවාතැන් හා ආහාර පාන සියල්ලෙහි බරපැන සභාව දරනු ලැබේ.

ගායන, වාදන, නර්තන හා මන්ද මානසික කාණ්ඩ හතර යටතේ සුපිරි තරු 4 ක් තෝරා පත්කර ගන්නා අතර ඔවුන්ට ලක්ෂ 5 බැගින් සහ ඉතිරි 12 දෙනාට ලක්ෂය බැගින් වූ මුදල් පිරිනැමීමටත් ජාතික තරුණ සේවා සභාව කටයුතු යොදා තිබේ.

මහාචාර්ය ආරියසේන කළුආරච්චි, කරුණාරත්න බණ්ඩාර, කථිකාචාර්ය පාලිකා සමන්ති, කථිකාචාර්ය එම්. ඩී. කුමුදිනී, මනීජා ශ්‍රීනිවාසන්, විශාරද නිර්මලා රණතුංග, විශාරද නිහාල් ගම්හේවා, රෝහණ බෝගොඩ, ටියුලින් ජයරත්න වැනි ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ තම දක්ෂතා ඉදිරිපත් කළ මෙම දක්ෂයන් රටට හඳුන්වාදීමේ කාර්යය ඛ් ඉ ව් නාලිකාව විසින් සිදු කරන ලදී.

දක්ෂයන් අතරින් සුපිරි දක්ෂයා තෝරා ගැනීමේ අවසන් මහා තරගය දෙසැම්බර් 03 සවස 05 ට මහරගම ජාතික තරුණ සේවා සභා රංග ශාලාවේදී පැවැත්වේ. යථාර්ථයෙන් ඔබ්බට ගිය සිහිනය නරඹා ඔවුනට ශක්තියක් වන්නට අපි ඔබට සුහද සිතින් ආරාධනා කරමු.