වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




සිත මාගෙ හඬවලා - ඔබ ඈත දුර ගියා

සිත මාගෙ හඬවලා - ඔබ ඈත දුර ගියා
 

බුද්ධිමා මධුශානි ගේ කුළුඳුල් ගීතය

බුද්ධිමාගේ ගීතය:

* සිත මාගේ හඬවලා ඔබ ඈත දුර ගියා

මුළු ලොවම දන්නවා මං වැරදි නෑ කියා

පෙරදාක කී කතා මගෙ ළඟට වී ඔයා

ඔබෙ සුවඳ දැනෙනවා ළඟ නැතත් අද ඔයා

 

* ඒ කී කතා පිළිගන්න වුණ නිසා

ඔබ මා හැර ගියා

ඔබට මා කී කතා පිළිගන්න බැරි නිසා

ඔබ මා හැර ගියා

 

* පෙරදාක සීත රෑ මට තුරුළු වී ඔයා

දුන් හාදු නෑ මෙදා පාළුවේ තනි වෙලා

මගෙ හිතට දැනෙනවා ඔබ එන්නේ නෑ කියා

ඔබ එන්නෙ නැති නිසා මගෙ හුස්ම නැවතුනා

ඒ කී කතා . . .

‘සිත මාගෙ හඬවලා ඔබ ඈත දුර ගියා
මුළු ලොවම දන්නවා මං වැරදි නෑ කියා’

වර්තමානයේ ගුවන් විදුලි නාළිකාවන්හී ප්‍රචාරය වන මෙම ගීතය ඔබ අසා ඇති. යොවුන් සිතට වඩාත් සමීප අර්ථයක් මුසුව ලියැවුණු ඒ පදමාලාවට හඬින් ජීවය ලබා දී තිබෙන්නේ බුද්ධිමා මධුශානි. ඇය සිරස සුපර් ස්ටාර් හතරවැනි අදියරෙන් එකොළොස් වෙනි තැනට පත් වූ තැනැත්තියයි.

මේ එළිදක්වා ඇත්තේ බුද්ධිමාගේ කුලුඳුල් ගීතයයි.

කොහොමද ගීතයට ලැබෙන ප්‍රතිචාර?

මේක විරහ ගීතයක්. ඒ වගේ ගීතයක් වැඩිපුර දැනෙන්නේ තරුණ තරුණියන්ට. ඒ අයගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා. සමහරු කතා කරලම මට ඒක කියලා තියනවා.

ඇයි පළමු ගීතය විරහවට නිර්මාණය කළේ?

විශේෂයක් නැහැ. මේක මගේ අත්දැකීමක් එහෙම නෙවෙයි. මෙහි පද රචනය සහ සංගීත නිර්මාණය කළේ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියෙන් කලඑළියට ආ මා මිත්‍ර කසුන් මධුසංක. මෙහි වචන දුටු සැනින් මගේ හිතට තදින් දැනුණා. මෙම ගීතය සුපර් ස්ටාර් සහ ඩ්‍රීම් ස්ටාර් එකමුතුවෙන් නිර්මාණය වූ ගීතයක් කිව්වොත් නිවැරදියි.

බුද්ධිමාගේ සංගීත චාරිකාව ඇරැඹෙන්නේ සුපර් ස්ටාර් සමඟින්ද?

මෙහෙමයි, මං එයට කලින් තුරුණු ශක්ති,, හෙට පිපෙන මල් වැනි තරගවලට සහභාගි වුණා. රියැලටි තරගයක් කියලා පළමුව සහභාගී වූයේ සුපර් ස්ටාර්. ඒකෙනුයි මං වඩාත්ම ජනප්‍රිය වුණේ.

කාගේ ගීත ද එහිදී ගැයුවේ?

ලතා වල්පොල, සුජාතා අත්තනායක වැනි මහත්මීන්ගේ පැරැණි ගීත තමයි වැඩිපුර ගැයුවේ.

බුද්ධිමාගේ පෞද්ගලික විස්තර ටිකක් කියමු?

මං පාසල් ගියේ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට. ගම මීගොඩ. පවුලේ මමයි නංගියි, අම්මයි, තාත්තයි. පුංචි කාලෙ ඉඳලම සංගීතයටයි වැඩිපුරම ආස කළේ.

ජීවිතයේ ඉදිරියත් ගෙවෙන්නේ සංගීතයත් එක්කද?

අනිවාර්යයෙන්ම මගේ වෘත්තීය සංගීතය. විශාරද උපාධියත් ලබන්නත් ලැහැස්තියි.