වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ත්‍රස්තයන්ට උඩ ගෙඩි දුන් ගිනි ගෙඩිය

ත්‍රස්තයන්ට උඩ ගෙඩි දුන් ගිනි ගෙඩිය

ඉස්ලාම් ලොව කැලඹ වූ ‘කූප්‍රකට’ චිත්‍රපටය 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය කිසිදු ලෝ වැසියකුට අමතක කළ නොහැකිය. අමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය සුනු විසුනු කළ ඒ රුදුරු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව හටගත් සිද්ධි දාමයන්ට තවමත් නිමාවක් නැති ලෙසය.

9/11 ප්‍රහාරයෙන් වසර 11 කට පසුව නැවතත් ඒ මතකය අලුත් කරන්නටදෝ අමෙරිකානු තානාපතිවරයකු ත්‍රස්ත ප්‍රහාරයකින් මරු වැලඳ ගත්තේය. ඒ, ලිබියාවේ බෙන්ගසි නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙනි. තවත් මැද පෙරදිග රටවල් කිහිපයක අමෙරිකානු තානාපති කාර්යාලවලට ද මෙවැනි ප්‍රහාර එල්ල වූ බව නොරහසකි.

බෙන්ගසි නුවර අමෙරිකානු තානාපති කාර්යාලයට ත්‍රස්තයන් පහර දුන්නේ ‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ නම් වූ වීඩියෝ චිත්‍රපටයේ දෙබස් කාණ්ඩ මතුරමින් යැයි පැවසෙයි. මේ චිත්‍රපටය ත්‍රස්තයන්ට උඩ ගෙඩි දුන් චිත්‍රපටයක්ද? මොකක්ද මේ චිත්‍රපටය? දැන් බොහෝ දෙනකුගේ අවධානය යොමු වී ඇත්තේ මේ චිත්‍රපටය වෙතය. මීට කලින් ‘ඩෙසර්ට් වොරියර්ස් ඇන්ඩ් ඉනසන්ස් ඔෆ් බින් ලාඩන්’ නමින් හඳුන්වා තිබූ ‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ චිත්‍රපටයෙන් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කර ඇති බවත්, චිත්‍රපටය අමෙරිකාවේ නිෂ්පාදනය කළ නිසා අමෙරිකානු තානාපති කාර්යාලවලට ප්‍රහාර එල්ල වූ බවත් පැවසෙයි.

අන්තර් ජාලයෙන් විකාශය වූ, නළු නිළියන්ගේ දුර්වල රඟපෑම්වලින් පිරුණා වූ ‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ චිත්‍රපටය අඩු වියදමකින් නිෂ්පාදනය වූවකි. මෙහි අධ්‍යක්ෂවරයා කවුරුන්ද? ඔහුගේ නම තවමත් අබිරහසකි. ඔහු ඇලන් රොබට්ස් යැයි මුලින්ම පැවසුණි. එහෙත් පසුව හෙළි වූයේ ඔහු සෑම් බැසිලි නමැත්තකු බවය.

පනස් හය වැනි වියෙහි පසුවන මේ තැනැත්තා අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙහි වෙසෙන යුදෙව් ජාතිකයකු බවත් පැවසුණි. ඇසෝසියේටඩ් ප්‍රෙස් නම් වූ ප්‍රකට ප්‍රවෘත්ති ඒජන්සියට දුරකථනයෙන් කතා කර ඇති මොහු, තමන් ඊශ්‍රායලයෙහි පුරවැසියකු බවත් පවසා ඇත. මේ පිළිබඳව වගතුග සෙවූ ඊශ්‍රායල බලධාරීන් පවසා තිබෙන්නේ එවැනි පුද්ගලයකු ඊශ්‍රායලයෙහි වෙසෙන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

කෙසේ වෙතත්, බැසිලි පවසා ඇත්තේ යුදෙව් ජාතිකයන් සිය දෙනකුගේ සම්මාදමින් ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 5 ක මුදලකින් ‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ චිත්‍රපටය නිෂ්පාදනය කළ බවයි. මේ අතර කැලිෆෝනියාවෙහි වෙසෙන නකෞලා බේස්ලේ නමැත්තකු මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ සමාගමට මූල්‍යමය අතින් උදව් කළ බවක් ද පැවසෙයි.

නකෞලා, මාධ්‍යයන් අමතමින් පවසා ඇත්තේ ‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ චිත්‍රපටය තමන් අධ්‍යක්ෂණය කළ බවට ද ප්‍රචාරය වන නමුදු එහි සත්‍යතාවක් නොමැති බවය. නකෞලා, මිසර ක්‍රිස්තියානු ලබ්ධිකයකු යැයි පැවසෙයි. කෙසේ වුවද දැනට හෙළිදරව් වී තිබෙන කාරණා අතරින් වඩාත්ම මතු වී ඇත්තේ නකෞලාගේ මූල්‍ය වංචාවන් රැසකි. ඔහු ආරූඪ නම් කිහිපයක්ම භාවිත කරන බවත් පැවසෙයි. මෙම වංචාකාරී ක්‍රියාවන් නිසා ඔහු වෙත චෝදනා පත්‍ර එල්ල වී ඇති බවත් තතු දන්නෝ පවසති.

‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ අධ්‍යක්ෂණය කළේ යැයි පැවසෙන සෑම් බැසිලිට සමාන නම් කිහිපයක්ම නකෞලා විසින් භාවිත කරනු ලබන බවට ද තොරතුරු හෙළි වී ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පරීක්ෂා කළ ආරක්ෂක අංශවලට දැන ගැනීමට ලැබී ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය පාලන ඒකකයක් වන සෙරිටස් හි පිහිටි ‘මීඩියා ෆෝ ක්‍රයිස්ට්’ නම් වූ සමාගමක් ‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ චිත්‍රපටය වෙනුවෙන් නිෂ්පාදන කර්තව්‍යය ඉටු කර ඇති බවය.

මෙම සමාගමෙන් විමසීම් කරන්නට එයට දුරකථන ඇමතුමක් දුන් ලොස් ඇන්ජලීස් හි ෂෙරීෆ්වරයකුට (නීතිය ක්‍රියාත්මක කරන විධායක නිලධාරියකුට) පිළිතුරු දී ඇත්තේ අරාබි භාෂාවෙන් කතා කළ කාන්තාවකි. ඇය, ෂෙරීෆ්වරයා ඉංග්‍රීසි භාෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට අරාබි භාෂාවෙන් පිළිතුරු දී දුරකථනය විසන්ධි කර තිබේ. ‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ හි රඟපෑ නළු නිළි පිරිස මේ වන විට පසු වන්නේ දැඩි ව්‍යාකූලත්වයකිනි. ඔවුන් මාධ්‍යයන් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තමන් මෙම චිත්‍රපටයේ රඟපෑවේ කරුණු නොදැන බවය.

චිත්‍රපටයේ කතා පුවත හෝ එහි අරමුණු මොනවාදැයි යන්න තමන්ට හරි හැටි අවබෝධයක් නොතිබූ බවත් එහි නිෂ්පාදකවරුන් තමන්ව හිතාමතා රැවටූ බවත් ඔවුහු පවසති. ‘අපිට මේ චිත්‍රපටයේ වගකීම භාර ගන්න බැහැ. එත් අපි කනස්සල්ලෙනුයි ඉන්නේ. අපි කොහෙත්ම මේ චිත්‍රපටයේ නිෂ්පාදනයට හවුල් වුණේ නැහැ. චිත්‍රපටයේ කතා තේමාව ගැන අපිට අවබෝධයක් තිබුණේ නැහැ’ මෙම චිත්‍රපටයේ රඟපෑ 80 ක් පමණ නළු නිළි පිරිසෙන් එක් අයකු එලෙස පැවසීය.

සින්ඩි ලී ගාර්සියා, මෙම චිත්‍රපටයේ මවකගේ සහ මහම්මත්තුමා විවාහ කර ගන්නට සිටින කාන්තාවකගේ චරිතය රඟපෑ නිළියකි. කැලිෆෝනියාවේ පදිංචිව සිටින ඇය පවසන්නේ තමන් මෙම චිත්‍රපටයේ අන්තර්ගතය හරි හැටි නොදැන එහි රඟපෑ බවයි.

‘මට එහි අධ්‍යක්ෂවරයා කීවේ ‘ඩෙසර්ට් වොරියර්ස්’ කියන චිත්‍රපටයේ රඟපාන්න එන්නය කියලයි. අවුරුදු 2000 කට කලින් මිසරයේ තිබුණු ජීවන රටාව පිළිබිඹු කෙරෙන මේ චිත්‍රපටයේ ‘මාස්ටර් ජෝජ්’ නමින් ප්‍රධාන චරිතයකුත් තිබුණා. චිත්‍රපටයේ රූපගත කෙරෙද්දී මගේ දෙබස්වල තිබුණේ ‘මාස්ටර් ජෝජ්’ කියන නමයි. නමුත්, මේ චිත්‍රපටය වෙනත් භාෂාවලින් දෙබස් කවද්දී ඒ නම වෙනුවට ‘ප්‍රොෆට් මොහොමඩ්’ (මහම්මත්තුමා) ගේ නම ඇතුළත් වෙලා.

චිත්‍රපටයේ රඟපාද්දී මට ඒක අතාත්වික කතාවක් කියල තේරුණා. මගේ දෙබස් නෙමෙයි, ඔය කියන ‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ චිත්‍රපටයේ තියෙන්නේ. වෙන කෙනෙක් මා වෙනුවෙන් දෙබස් කියලා. ‘මාස්ටර් ජෝජ්’ චරිතය පස්සෙ මහම්මත්තුමා වෙලා. මේ චිත්‍රපටය මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව නිර්මාණය කළ එකක් බව දැනගත්තාම මම ගල් ගැහුණා. හරිම දුකක් ඇති වුණා. මේ කරපු රැවටීමට එරෙහිව නීතිය ඉදිරියට යන්න මම තීරණය කළා’ සින්ඩි ලී ගාර්සියා රූපවාහිනී චැනලයකට පැවසුවාය.

මේ වන විට ද ‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සෑම් බැසිලි නමැත්තා අගහරුවාදා අත්අඩංගුවට ගත්තත් මැද පෙරදිග ඇතුළු අරාබි රටවල් ගිනි ගනිමින් පවතියි.