වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




කුමාරගෙන් මෙවර පරිවර්තන හතක්

කුමාරගෙන් මෙවර පරිවර්තන හතක්

රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී කුමාර සිරිවර්ධනගේ පරිවර්තන කෘති හතක් සාහිත්‍ය මාසය වෙනුවෙන් නිකුත් වී තිබේ. ඉන්දීය ලේඛිකා අමුල්යා මල්ලවිගේ ඒ Breath of Fresh Air නවකතාව ගිනි සුළෙඟ් සිරකාරී නමින් ද, එඩ්ගාර් වොලස්ගේ නවකතා දෙකක් අබිරහස් සොහොයුරියෝ සහ ටූනා අසිපතේ අබිරහස නමින් ද, එඩ්ගාර් රයිස් බරෝස් ගේ The Mad King නව කතාව ‘ලූතාවේ උමතු රජ’ යන නමින් ද, ඉනිඩ් බ්ලයිට්න්ගේ යොවුන් නව කතා දෙකක් උන්මත්තකයාගේ මාලිගයේ වික්‍රමය සහ රහස් කන්දේ වික්‍රමය යන නම් වලින් කුමාර අතින් සිංහලට පරිවර්තනය වී ඇත. ලොව විසූ විශිෂ්ටයන් සිය දෙනකුගේ ජීවන තොරතුරු ඇතුළත් අධ්‍යාපනික ග්‍රන්ථයක් ‘නව ලොවට මං සෙවූ විශිෂ්ටයෝ 100 ක්’ යන නමින් කුමාර අතින් ලියැ වී සැප්තැම්බරයේ එළි දකී.


දොරට වැඩුම්

‘අසිකි ගෝත්‍රිකයන්ගේ රන් පිළිමය’ 24 වැනිදා

පරිවර්තක එස්. චන්ද්‍රසිරි දසනායක පරිවර්තනය කළ ‘අසිකි ගෝත්‍රිකයන්ගේ රන් පිළිමය’ කෘතිය මෙම මස 24 වැනිදා පෙරවරු 10.00 ට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශන කුටිවලදී දොරට වඩී.

‘වනගත යුවතිය නොහොත් සැඟවුනු මිනිසුන්ගේ දේශය’ 25 වැනිදා

ප්‍රභාත් මිරිහාගල්ල පරිවර්තනය කළ ‘වනගත යුවතිය නොහොත් සැඟවුණු මිනිසුන්ගේ දේශය’ කෘතිය මෙම මස 25 වැනිදා පෙරවරු 10.00 ට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශන කුටිවලදී දොරට වඩී.

‘තොටුපළ හැර දා’ සිනමාවට

‘අජනම් පුරාණය’, ‘ඇසළ අහස’, ‘හිණි පෙළ’ ‘නැඟි මිනිස්සු’, ‘අහස් මංගල්ලය’, ‘ඉන්දචාප’ කෘති ලියූ රසිකා සෝලංග ආරච්චිගේ ‘තොටුපළ හැරදා’ නවකතාව පසුගියදා දොරට වැඩිණ.

ලලිත් රෝහිත එදිරිසිංහගේ ප්‍රථම සිනමා නිර්මාණය ලෙසින් ‘තොටුපළ හැරදා’ කෘතිය ළඟදීම රූපගත කිරීම් ආරම්භ කිරීමට ද නියමිතය.

‘සහෘද සටහන් – 3’ 26 වැනිදා

බුද්ධදාස ගලප්පත්තිගේ ‘සහෘද සටහන් – 3’ ජනගතවීම මෙම මස 26 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී සිදුවේ.

මෙසේ දොරට වඩින්නේ බුද්ධදාස ගලප්පත්ති කිවියා විසින් 2003 වර්ෂය තරම් ඈත කාලයක සිට ලංකාදීප විමංසා සාහිත්‍ය සංග්‍රහයට රචනා කරන ලද සහෘද සටහන් තීරු ලිපි එකතුවේ තුන්වන කාණ්ඩයයි. සාහිත්‍ය, සිනමාව, සංගීතය, වේදිකා හා ටෙලි නාට්‍යය, ජනමාධ්‍යය ආදී ක්ෂේත්‍රවල නිර්මාණකරුවන් හරස්කඩක් පිළිබඳ ඔවුන්ගේ නිර්මාණ ද සමඟ කෙරෙන කෙටි විවරණ ඇතුළත් තීරු ලිපි හැට දෙකකින් මෙවර කාණ්ඩය සමන්විතයි. මෙම කෘතිය ජනගත කිරීමේදී මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර තීරු ලිපි රචනා කලාව පිළිබඳ දේශනයක් පැවැත්වීමටද නියමිතය.

අලුත් සරසවි පොත් රැසක්

සාහිත්‍ය මාසයේදී සරසවි ප්‍රකාශකයෝ මෙම මස 20, 22, 23, 26 යන දිනයන්හි පොත් රැසක් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී දොරට වඩී. ඒ අතර, * 20 වැනිදා ප. ව. 4.00 - සම්පත් බණ්ඩාරගේ ‘ද ස්ටෝරි ඔෆ් 20 – 20 ක්‍රිකට්’ * 22 වැනිදා – ප. ව. 3.00 අජන්තා තෙරුණි – ‘ගැහැනු සහ පිරිමි’ * 23 වැනිදා – ප. ව. 4.00 – විශේෂඥ වෛද්‍ය මහේෂ් රාජසූරිය ‘රතිය විදු ඇසින්’ * 26 වැනිදා – 10.00 – බුද්ධදාස ගලප්පත්ති ‘සහෘද සටහන්- 3’ යන කෘති දොරට වැඩීමට නියමිතය.