වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ගාමිණි ජෝ අබ්බවා ලින්ටන්ට සම්මාන

ගාමිණි ජෝ අබ්බවා ලින්ටන්ට සම්මාන

කලක් සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස (93 වසරේ සිට 2000 වසර දක්වා) කටයුතු කළේ ප්‍රවීණ ජනමාධ්‍යවේදියකු වන තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ය. කලා විචාරකයකු, ලේඛකයකු ලෙස කෘතහස්ත නමක් දිනූ කුරුවිට බණ්ඩාරයන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උපදේශකවරයකු ලෙස වර්තමානයේ කටයුතු කරයි.

සිනමායා නමින් ලිපි පෙළක් මම සරසවියෙන් ඇරැඹූවෙමි. එය වඩාත් ජනප්‍රිය වූ විශේෂ ලිපි පෙළක් විය. චිත්‍රපට කර්මාන්තයේ උපතේ සිට නවීකරණය දක්වා ඒ ලිපි පෙළ හරි අපූරුවට ලියනු ලැබුවේ ගිවන්ථ අර්තසාද් විසිනි.

සුරූපී නළු නිළියන්ට වෙන්ව තිබූ සරසවිය මුල් කවරය මා දක්ෂතාවලින් පිරිපුන් නළු නිළියන් වෙනුවෙන් ද වෙන් කරනු ලැබිණි. සුරූපී බව නොවූව ද දක්ෂතාවට සරසවියේ මුල් කවරය ඔවුන් වෙනුවෙන් වෙන්වීම ද කලා ක්ෂේත්‍රයෙන් මා වෙත පැසසුම් ගලා එන්නත් විය.

මාගේ කර්තෘත්වයෙන් සරසවිය සිනමා සම්මාන උළෙල හතරක් පැවැත්විණි. ඒ සඳහා මගේ කර්තෘ මණ්ඩලය එකා මෙන් මට උපරිම සහායක් ලබා දුන්හ.

ඒ සියලු සම්මාන උළෙල සඳහා මම හොඳ විනිශ්චය මණ්ඩලයක් තෝරා ගැනීමේ භාරධූර කාර්ය නිසි අයුරින් ඉටු කෙරිණ. එහි ප්‍රතිරූප වන්දනාවට ඉඩ නොවිණි. ඒ සඳහා මට පූර්ණ නිදහසක් පාලන තන්ත්‍රයෙන්ම ලැබිණි. අලුත් මුහුණු රැසක් මම සරසවිය විනිශ්චය සඳහා රැගෙන ආවෙමි.

ලයනල් ප්‍රනාන්දු, උපේකා චිත්‍රසේන, කුසුම් දිසානායක, ආරියවංශ රණවීර, ලාල් හෑගොඩ, ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි ඒ අතරින් කිහිප දෙනෙකි. ඔවුනගේ කිසිදු විනිශ්චයක් කිසිවකුගේ හෝ අභියෝගයට ලක් නොවිණි.

සරසවිය සම්මාන උළෙලේදී ජීවිතයේ එක් වරක් පිදෙන රණතිසර සම්මානය පිරිනැමීමේදී සිනමා කර්මාන්තයේ නියැලි වඩා ජ්‍යෙෂ්ඨයන් සොයා යාමට මම තීරණය කළෙමි.

පසුව මා එය සොයා බැලීමේදී වඩා ජ්‍යෙෂ්ඨයන්ට අවැඩක් සිදුව තිබිණ. මම එය වහා නිවැරැදි කිරීම සඳහා පියවර ගතිමි. ඒ අනුව මා හට ඩබ්. ඒ. බී ද සිල්වා, ක්ලැරිස් ද සිල්වා, ජී. එස්. බී. රාණි පෙරේරා, හර්බි සෙනෙවිරත්න වැන්නවුන්ට රණ තිසර තිළිණ කරන්නට භාග්‍ය ලැබිණි. සිනමා විචාරයන් සඳහාද මම සරසවියේ ඉඩක් වෙන් කෙරුවෙමි.

ජාත්‍යන්තර වශයෙන් අගැයීමට ලක් වූ සිනමා කෘති සඳහාත් නළු නිළියන් සඳහාත් අපි සරසවිය වෙනුවෙන් මුල් වරට විශ්ව කීර්ති සම්මානයක් ද පිරිනැමිණි.

සරසවිය සම්මාන උළෙල නිමිති කොට මුද්‍රණය වූ සලරූ සරණිය සඟරාව එතෙක් මුද්‍රණය කරනු ලැබුවේ නළු නිළියන්ගේ ඡායාරූප එකතුවක් ලෙසිනි. මා එය මුල් වරට චිත්‍රපට තොරතුරු ඇතුළත් සඟරාවක් ලෙස මුලින්ම මුද්‍රණය කිරීම ඇරැඹියෙමි. එය ඡායාරූප පමණක්ම තිබීමට වඩා දත්ත එකතුවක් ලෙස තබා ගත හැකි වටිනා පොතක් ලෙසින් ද පරිහරණය කිරීමට මා ගත් ඒ වෑයම නිසා හැකි විය.

සිනමා ඉතිහාසය පිළිබඳ ලිපි පළ කිරීමක්ද මම සරසවියේ සිදු කළෙමි. චිත්‍රපට නාමාවලිය ලිපි පෙළක් ලෙස මා පුවත්පතේ පළ කළේ එකී කාර්මික නාමාවලියන් ද සමඟය.

සරසවිය සම්මාන උළෙලට වසර විසි පහක් පිරීම නිමිතිකොට නළු නිළියන් විසිපස් දෙනකුට සම්මාන පිදීමේ විශේෂ උත්සවයක් ද මාගේ කර්තෘත්වය සමයේ සිදු කෙරිණි.

විශේෂයෙන් ඒ වන විටත් සරසවිය සම්මාන උළෙලකදී රණ තිසර සම්මානයෙන් පුද ලැබුමට සිටි එහෙත් කිසියම් හෝ හේතුවක් නිසා ඒ වරප්‍රසාදය හිමි නොවූ නළු නිළියන් විසිපස් ;දනෙකු මේ විශේෂ සම්මාන ප්‍රදානය සඳහා අපි තෝරා ගතිමු. ඒ ගත් ක්‍රියා මාර්ගය නිසා එතෙක් සරසවිය සම්මානයක් නොලැබ කලකිරී සිටි බොහෝ නළු නිළියන්ගේ හිත් අමනාපකම් දුරු විණි.

මා කර්තෘත්වය දරන අවධියේ බොලිවුඩ්හි ජනකාන්ත තරු කිහිපයක්ම අවස්ථා කිහිපයකදී ලංකාවට පැමිණියේය. ඒ හැම අවස්ථාවකදීම ඒ නළු නිළියන් හා සම්මුඛ සාකච්ඡාවක් පවත්වා සරසවියේ ඔහුගේ හෝ ඇය ගැන ලිපියක් පළ කරන්නට මට හැකි විය.

මේ කාර්යය මට වඩාත් පහසු වූයේ ඒ අවධියේ මගේ කර්තෘ මණ්ඩලයේ සිටි විවේකා සමරසිංහ මහත්මියට ඉංග්‍රීසියෙන් හා හින්දි භාෂාවෙන් මනා ලෙස වැඩ කිරීමේ හැකියාව නිසාය. හින්දි නළුවෙක් හෝ නිළියක් ලංකාවට පැමිණි විට ඔවුන් සමඟ සාකච්ඡා සඳහා මා යොමු කළේ විවේකාය.

ඇය ඉංග්‍රීසියෙන් නොව හින්දි භාෂාවෙන්ම ඔවුන් සමඟ කතාබහ කිරීම පිළිබඳ ඒ තරු එදා මවිතයට පත් වූයේ තමන්ගේ භාෂාව දන්නා මාධ්‍යවේදීන් පවා ලංකාවේ පත්තරවල සිටීම අගය කරමිනි. අමිතාබ් බච්චන් ලංකාවට පැමිණි මොහොතේ මාධ්‍ය සාකච්ඡාවකදී විවේකා හින්දියෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම ගැන බච්චන් ප්‍රසාදය පළ කරමින් සරසවිය සිනමා පත්තරය නියෝජනය කළ මාධ්‍යවේදිනිය වූ විවේකාට ප්‍රශංසා කර තිබීමත් සරසවියට ගෞරවයක් ගෙන දෙන්නක් විය.

මගේ කර්තෘත්වය අවධියේ පැවැති සරසවිය සම්මාන උළෙල හතරේ මට අමතක නොවන සිද්ධීන් දෙකක් සිදුවිණි. ඉන් එකක් සිදු වූයේ 95 දී පැවැති සම්මාන උළෙලේදීය. මෙම සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මාන ලැබුවේ මී හරකා චිත්‍රපටයේ රඟපෑ ලින්ටන් සේමගේය. ඔහුත් සමඟ එම සම්මානයට නිර්දේශ වී තිබුණේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා හා මහා නළු ජෝ අබේවික්‍රමය. එදා සම්මාන උළෙලට මේ දෙදෙනාම පැමිණ සිටියේය .

ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ලබා දී තිබූ විනිශ්චයන් අනුව සම්මාන උළෙලේදී ගාමිණී ඒ අවස්ථාවේ රඟපා තිබුණු නොමියෙන මිනිසුන් චිත්‍රපටය හා මී හරකා චිත්‍රපටය අවසන් රාත්‍රියේ තරු පිරිවරාගත් රැයේ හොඳම නළුවා කවුද කියා නිර්දේශිත චිත්‍රපට ගොන්නේ තරග වැදිණි.

මා සම්මාන ප්‍රදානය සඳහා ආරාධිත අමුත්තා සමඟ වේදිකාවට ගොඩ වනවාත් සමඟ වේදිකාවේ සිටි මට ගාමිණීගේ බලාපොරොත්තු සහගත රූපයත්, ලින්ටන්ගේ බලාපොරොත්තු සහගත රූපයත් හොඳ හැටි පෙනිණ.

මොහොතින් විනිශ්චයේ තීරණය අනුව හේතු පාඨ සහිතව ලින්ටන් හොඳම නළුවා ලෙස නිවේදනය කෙරිණි. ලින්ටන් අදහාගත නොහැකි සතුටකින් සම්මානය දෝතට ගෙන සියල්ලන්ටම ආචාර කරමින් වේදිකාවෙන් බැස යද්දී ඉදිරි පෙළේ සිටි ගාමිණී හා ජෝ ඔහුට මුලින්ම අතට අත දී සුබපැතුවේ, සම්මානයට නියම සුදුස්සා උඹ යයි කියමිනි.

එදා සම්මාන රාත්‍රිය නිමා වුණ ද ඒ සම්මාන උළෙලේ කිසිවකුත් සම්මාන ප්‍රදානය ගැන මට දොසක් නොකීය. ගාමිණී ද පසු දිනෙක මට කතා කොට කීවේ සාධාරණ තීන්දුවක් එවර අරන් තිබූ බවය.

තවත් එවැනි සිද්ධියක් සම්මාන උළෙලකදී සිදු විය. මට මතක හැටියට ඊළඟ සම්මාන උළෙල හෝ 98 වසෙර්ය. එම සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මාන ලැබුවේ නව පරපුරේ නළුවෙකි. ඔහුත් සමඟ නිර්දේශිත චිත්‍රපට අතරට තරග වැදුණේ සනත් ගුණතිලකයන්ය. ඒ අවධියේ සනත් ගුණතිලක වෙත රාජ්‍ය අනුග්‍රහය තදින් තිබෙන වකවානුවක් විය.

මේ රාජ්‍ය අනුග්‍රහය යොදාගෙන ඔහු යම් බලපෑමක් ඇති කොට හොඳම නළුවා ලෙස සම්මානය ගන්නට යනවා යන රාවයක් කලාකරුවන් අතර පැතිරී ගොස් තිබිණි. මට ද මේ ආරංචිය දැනගන්නට ලැබුණි. මා විනිශ්චය මණ්ඩලයේ අවසන් තීරණය පිළිබඳ කල් තියා දැන තිබූ නිසා මේ අසත්‍ය ආරංචිය ගැන දැඩි කලකිරීමකින් ද පසුවීමි.

ඔය අතරේ අදාළ තරුණ නළුවා සම්මාන උළෙලට සහභාගි නොවන බව ද එයට හේතුව සනත් ආණ්ඩු බලය යොදා සම්මානය ගන්නට යනවා දූෂ්‍යමාන ආරංචිය හේතුª වී ඇති බව ද මට දැනගන්නට ලැබිණි. තීන්දුව කුමක් වුව ද මේ තරුණයා සභා ගැබේ සිටිය යුතුය. මම දුරකථනයෙන් ඔහුට කතා කළෙමි. ඔබ අද උළෙලට එනවා නේද කියා ඇසීමි. නෑ තිලක් අයියා මම එන්නේ නෑ.

මේ වෙන කොටත් සම්මානේ කාටද කියලා අපි දන්නවා. ඇවිත් නිකම් පීචං වෙනවට වැඩිය ගෙදර ඉන්න එක සැපයි. ඔහු මට පැවසුවා. මමයි එන්න කියන්නේ. ඔය බොරු ආරංචි විශ්වාස කරන්න එපා. හැබැයි කවදා හරි දුක් වෙන්නත් වෙයි.

මේ සම්මාන උළෙලට නෑවිත් මට අගෞරවයක් නම් කරන්න එපා. ලැබුණත් නැතත් සම්මාන උළෙලට එන්න. නාවොත් මගෙන් කිසිම දෙයක් පත්තරෙනුත් නෑ යනුවෙන් තදින් කියා මම දුරකථනය තැබුවෙමි.

කෙසේ හෝ ඔහු සම්මාන උළෙලට පැමිණියේය. අවසන් නිර්දේශ ගොන්නේ හොඳම නළුවා ලෙස ඔහු සම්මාන ලැබීය. වේදිකාවට සම්මානය ගැනීමට පැමිණි ඔහු මට අතට අත දී සුබපැතුවේය.

ඒ සම්මාන විනිශ්චයන් සඳහා කාගෙන්වත් දොසක් නොලැබිණි. අඩුම තරමින් දූෂමාන ආරංචි පැතිර ගියද සනත් ගුණතිලකගෙන්වත්, දේශපාලනඥයකුගෙන්වත් ඔහුට සම්මානය දිය යුතු යැයි කිසි විටෙකත් බලපෑමක් ඇති නොවිණි.

සරසවිය කර්තෘ ධූරය දැරූ කාලය තුළදී මගේ සිත කම්පා වූ සිද්ධියක් ද ඇත. එය මා සිතාමතා කළ දෙයක් ද නොවිණි. එක්තරා ජනප්‍රිය නිළියක් දෙවැනි වරටත් යම් පුද්ගලයකු සමඟ විවාහ විය. ඒ අවධියේදී මේ නිළිය ජනප්‍රියත්වයක් ලබා තිබූ නිසාත් ඇය හදිසියේ යළිත් විවාහවීමත් සුවිශේෂී වීම නිසා මම ඇයගේ විවාහයේ ඡායාරූප සමඟින් සරසවියේ පළ කළෙමි.

ඉතිරි කොටස ලබන සතියේ