වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




මේ දෙන්නත් DIVORCE

මේ දෙන්නත් DIVORCE

ප්‍රේමය ලෙයින්, දහදියෙන් ලියා හෝ ජය ගන්නා සිනමා අන්දර ඇති සිනමා ලොවක තරු, සැබෑ ලොවේදී අතිනත ගත් විට මෙතරම් ඉක්මනින් දෙපැත්තකට වන්නේ ඇයි ද යන්න නම් පිළිතුරු නැති ප්‍රශ්නයකි. එහෙත්මේ පැනය නඟන කතාවලට උදාහරණ බොලිවුඩ් පුරවරයේ ඕනෑ තරම් ඇත.

දික්කසාදයේ පිහිට පතන නවතම යුවළ වී සිටින්නේ කොන්කොනා සෙන් ෂර්මා සහ රන්වීර් ෂෝෙර්ය. 2010 දී විවාහ වූ දෙදෙනාට පුතකු ද සිටිති. තිස් දෙහැවිරිදි කොන්කොනා සුප්‍රකට නිළි, අධ්‍යක්ෂිකා අපර්ණා සෙන්ගේ දියණියයි. ඇය හොඳම නිළිය ලෙස ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබූ නිළියකි.

හතළිස් හැවිරිදි නළු රන්වීර් ෂෝරේ මුලින්ම පෙම් කළේ පූජා භාත්ටය. පසුව කොන්කොනා ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වූවේය. කවුරුත් සිතුවේ රන්වීර් - කොන්කොනා විවාහය කිරට පැණි එක් වූවාක් වැනි අපූරු එකතුවක් වේවායි කියායි. එහෙත් විවාහ වූ දිනයේ පටන්ම දෙදෙනාගේ නොගැළපීම්, ගැළපීම්වලට වඩා බලවත් වී ඇතිවා වාගෙයි.

විරසක වීම ගැන රසිකයන් අතර කසු කුසුවක් පැතිර ගියේ මේ වසරේ මැයි මාසයේ සිටයි. සිනමාපටයක් නැරැඹීමට වෙන වෙනම පැමිණි දෙදෙනා අසුන්ගෙන ඇත්තේ ද වෙන වෙනමය.

රන්වීර්ගෙන් මේ ගැන විමසූ විට ඔහු පවසා ඇත්තේ දෙදෙනා බද්ධ වුණු නිවුන්නු නොවන බවයි. වෙන්වීම ගැන ප්‍රසිද්ධියේ කොන්කොනා වචනයක්වත් නොපැවසුවත් ඇය මිතුරියන් සමඟ පවසා ඇත්තේ ඔහුගෙන් දික්කසාද වන බවයි. දැන් ඇය දික්කසාද වීමට නඩු පවරා අවසන්ය.

රන්වීර් සමඟ ජීවත්වීම පහසු නැති බව බොහෝ දෙනාගේ අදහසයි.


ආයෙමත් ඉස්කෝලේ

පාසල් ජීවිතයට සමු දුන් පසු නැවත පාසල් නිල ඇඳුමින් සැරසී පාසල් යාමට වරම් ලැබෙන්නේ තරුවලටය.

මේ දිනවල පාසල් සිසුන් ලෙස චරිත මවන්නේ සෝනම් කපූර් (වයස විසි හතයි) සහ ධනුෂ් (29)ය. ඒ ආනන්ද් රායිගේ ‘රන්ජනා ෆෙ‍්‍රාම් වරනාසි’ සිනමාපටයේයි.

රූගත කිරීම් කිසිදු කරදරයක් නැතිව කරගත හැකි වූ බව ද කියවේ. ඒ පාසල් නිල ඇඳුමින් සැරසුණු පසු දෙදෙනා හඳුනාගත නොහැකි වූ නිසයි.

දෙදෙනා පාසල් වියට ගොස් ඇත්තේ නිල ඇඳුමින් පමණක් නොවෙයි. ඔවුන් දැන් දැන් කියවන්නේ ද, දාහත් හැවිරිදි ගැටවරයන් කියවන පොත් බවට ද ආරංචියි.


අලුතින්ම රටයන එයා

හොලිවුඩයත්, බොලිවුඩයත් අතර ඇත්තේ කෙස් ගසක වෙනසකි. ඒ, සිනමාපටවල කතාව හා ඉදිරිපත් කිරීම් එකිනෙකට වෙනස් වුණත් ඒ පුරවරයෙන් මේ පුරවරයටත් මේ පුරවරයෙන් ඒ පුරවරයටත් සංක්‍රමණය වන තරුවලින් අඩුවක් නැති නිසයි.

අලුතින්ම හොලිවුඩ් යන නිළිය සරීන් ඛාන්ය. ඇයට මිදි ගෙඩියක් තරම් රසැති චරිතයක් ලැබී ඇත්තේ ‘කිමෙරා’ නම් ත්‍රාසජනක සිනමාපටයේය. බිලි සේන් සිනමාපටයේ ප්‍රධාන තරුවයි.

ඩැනියල් සිල්වා සිය නවකතාව පාදක කරගෙන ‘ද ෆෝලන් ඒන්ජල්’ නමින් නිපදවෙන මේ සිනමාපටයට වචනයක් දෙනවා ද නැද්ද කියා ඇය තවමත් සිතමින් සිටින්නීය. ‘ද ෆෝලන් ඒන්ජල්’ වැඩිම අලෙවියක් ලද නවකතාවකි.

සරීන් බොලිවුඩයට පිවිසියේ 2010 දී තිරගත වූ ‘වීර්’ සිනමාපටයෙනි. ඒ සල්මන් ඛාන්ගේ පෙම්වතිය ලෙස රඟමිනි. මේ සුරංගනා කතාවට ඇය එක් කළේත් සල්මන්ය. ඔහු සුභාෂ් ගයිගේ ‘යුව්රාජ්’ දර්ශන තලයේ සිටි සරීන් දුටුවේය.

ඇයගෙන් නෙත් ඉවතට නොගත් සල්මන් ‘වීර්’ සම්මුඛ පරීක්ෂණයට එන ලෙසට යෝජනා කළේය. සරීන්ගේ වාසනාව පෑදුණි. ඇය චරිතය සඳහා ඉහළින්ම තේරුණි.

සල්මන්, කත්‍රිනා ප්‍රේමය බිඳ වැටී වැඩි කලක් ගත වී නැති නිසා වැඩි දෙනකු සිතුවේ කත්‍රිනාට තරමක් සමාන සරීන්ව ‘වීර්’ සඳහා තෝරා ගත්තා කියායි. (මීට පෙර අයිශ්වර්යා සමඟ පැවැති පෙම බිඳ වැටුණු පසු ඇයට තරමක් සමාන ස්නේහා උලාල් යොදා ඔහු සිනමාපටයක් කළ බව කාටත් මතකය). එහෙත් මේ කතාව ඊට වෙනස්ය. සල්මන් සරීනාව තෝරා ගෙන ඇත්තේ ඇය ඒ චරිතයට හොඳින්ම ගැළපෙන නිසයි.

සල්මන්ගේම ‘රෙඩි’ සිනමා පටයේ සුළු ජවනිකාවකට පසුව ඇය පෙනී සිටියාය. සරීනා වඩාත් දිදුලන තරුවක් වූයේ 2012, හවුස්ෆුල් 2 තිරගත වූ පසුවයි. සල්මන්, සරීනා යුවළ 2013 දීීත් රසිකයන්ට නැරැඹීමට ලැබෙන්නේ ‘පාට්නර් 2’ සිනමා පටයෙනි.

සිනමාපට වැඩි ගණනක රඟපෑමට වඩා හොඳ රංගනයක් ඉදිරිපත් කළ හැකි සිනමාපටයක රඟන්න කැමැති සරීනා හොලිවුඩයේ කෙබඳු පෙරැළියක් කරාවිද?