වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සිහින මාවතේ බිඳ වැටුණු රිදී සීනුව

සිහින මාවතේ බිඳ වැටුණු රිදී සීනුව

පසුගිය අඟහරුවාදා ‘සිහිනය’ කඳුළෙන් තෙමෙයි

හැරදා විමන් - සිය මා පියන්

මා ආදරෙන් වැඩූ

නොසිතූ ලෙසේ - වෙන් වී මෙසේ

ඇයිදෝ වෙනස් වුණේ //

ප්‍රියා සූරියසේනගේ ඒ ගීතයෙන් ප්‍රේක්ෂකාගාරය රසවත් කරමින් ඔහු වේදිකාව තුළ සිය ප්‍රතිභාවන් විදහා දැක්වුයේ ජීවිතය පුරා දුටු සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමේ අරමුණින්ය.

ප්‍රේක්ෂකාගාරයේ අත්පොළසන් හඬත්, විනිශ්චය මණ්ඩලයෙන් ලැබුණු ප්‍රශංසාවත් ඔහුගේ සිත අමන්දානන්දයට පත් කරන්නට සමත් වූ බව නිසැකය. එහෙත් එය ඔහුගේ අවසන් ගීතය බව සිහිනෙන් හෝ නොසිතන්නට ඇත. නමුත් සිදු නොවිය යුතු දේම සිදු වී ඇත.

වෙනසක් වූ හැකියාවන් සහිත තරුණ තරුණියන් වෙනුවෙන් පවත්වන ‘සිහිනය’ රියැලිටි වැඩසටහනේ අවසන් තරගකරුවන් දොළොස් දෙනා අතරට තේරී පත් වූ නලින් ඩයනාත් තරුණයා ජීවිතයෙන් සමුගත්තේ ජීවිතයේ ඒ සොඳුරු සිහිනය සැබෑ කර ගන්නටත් පෙරයි.

මාතර, කිරින්දේ සෞමසිරි මහතාට හා තිලකාපද්ම කාන්ති මහත්මියට පවුලේ තුන්වැනි දරුවා ලෙසින් මෙලොව එළිය දුටු නලින් වයස අවුරුදු 6 ක් යනතුරු ලෝකයේ සුන්දරත්වය දෙනෙතින් විඳගන්නට සමත් විය. එහෙත් නොසිතූ ලෙස අවුරුදු 06 දී ඔහුට පෙනීම අහිමි වූයේ වෙනත් හැකියාවන් රැසක් දායාද කරමිනි.

අහිමි වූ දෙනෙත පිළිබඳ කම්පා නොවී නොසිට අඳ ගොළු බිහිරි විදුහලින් අට වසර දක්වා පාසල් අධ්‍යාපනය හැදෑරූ නලින් ඩයනාත් කලා විෂයයට විශේෂ ඇල්මක් දැක් වූයේය. ඔහු ගායනයට මෙන්ම වාදනය හා නර්තනයටත් උපන් හපනෙක්ම විය.

වැඩිමල් සහෝදරයාගේ මෙන්ම සහෝදරියන් දෙදෙනාගේත් උදවු උපකාරයෙන් ගායන, වාදනය හැදෑරූ ඔහු යෞවන සම්මාන උළෙලේ මාතර දිස්ත්‍රික්කයේ ගායන හා වාදන අංශයෙන් ද ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත් විය. මියුරු සරින් ඕගනය වාදනය කළ නලින් ඩ්‍රම්ස් වාදනයෙහි ද උපන් හපනෙකි.

පාසල් අධ්‍යාපනය අවසන් කළ නලින් ශාන්ති පුනරුත්ථාපන පදනමට එක් වූ අතර එහිදී ද පුහුණුකරුවකු ලෙස විශාල කාර්යබාරයක් ඉටු කළේ තමා මෙන්ම දෙනෙතින් ලොව නොදකින්නන්ට මනසින් ලොව දකින්නට අවැසි උපදෙස් ද ලබා දෙමිනි.

ඉතා සුහදශීලී හා සමාජශීලී චරිතයක් වූ ඔහු ආගමට දහමට ඉතා නැඹුරු වූ තරුණයෙකි. මේ නිසාම සෑම පොහෝ දිනයකම සිල් ගැනීම ඔහුගේ විශේෂ ගුණාංගයකි. කර්මය විශ්වාස කළ ඔහු උපදින මතු කිසිදු ආත්මයක මෙවැනි ජීවිතයක් උරුම නොවන්නට ප්‍රාර්ථනා කරන්නට ඇත.

බිරිය සහ පවුලේ සැම දේහයට අවසන් ගෞරව දක්වමින්

නලින්ද ඩයනාත්ගේ ජීවිතයට අලුත් සිහිනයක් රැගෙන යළිත් පැමිණියේ ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ සිහිනය රියැලිටි වැඩසටහනයි. ගමට හා දිස්ත්‍රික්කයට පමණක් සීමා වී තිබූ තම දක්ෂතා රටටම එළිදක්වන්නට ලැබෙන එම අවස්ථාව පැහැර හැරීමට ඔහු අකමැති විය. ඔහුගේ දක්ෂතා දන්නා පවුලේ සියලු දෙනා නලින් එම තරගාවලියට ධෛර්යමත් කළහ. ඒ ඔහු තවත් එක් රියැලිටි ජයග්‍රාහකයකු කිරීමට නොව ඔහුගේ ජීවිතයට නැවුම් වින්දනයක් ලබාදීමට මෙන්ම ඒකාකාරී ජීවන රටාවෙන් මුදවා ගැනීමටයි. ඒ අනුව තරග වට කිහිපයක් ඔස්සේ පැමිණ සිහිනය රියැලිටි වැඩසටහනේ අවසන් තිස්දෙනා අතරට පැමිණීමට ඔහුට හැකි විය.

පසුගිය අඟහරුවාදා මහරගම යූත් ප්‍රධාන ශාලාවේදී අවසන් දොළොස් දෙනා තේරීමේ තරගය පැවැත්විණි. මෙම තරගය ඉතා සංවේදීය. වෙනස් වූ හැකියාවන් සහිත මෙම තරුණ තරුණියන්ගේ දක්ෂතා සොබාදහමෙන් ඔවුනට ලබා දුන් අපූරුතම දායාදයන්ය.

ඒ නිසාම සුළු මොහොතකට හෝ එම තරගය නැරඹීමට යෑම මගේ පුරුද්දකි. වෙනදා මෙන්ම එදිනත් මා දිවා ආහාරයට පෙර රංග ශාලාවට ඇතුළු වූයේ සිංදුවක් දෙකක් අසන්නටයි. වේදිකාව මත සුදු ෂර්ටයකින් හා කළු කලිසමකින් සැරැසී සිටි තරුණයාගේ ගී හඬ හරිම අපූරුයි. දෑස නොපෙනුණත් අපූරු චලනයක යෙදුණේ ඊට පෙර දින දෙකක නේවාසික පුහුණු වැඩමුළුව නිසා බව මට සිතිණි. ගීතය අවසන් වූ පසු විනිශ්චය මණ්ඩලයේ සිටි ප්‍රවීණ ගායක විශාරද ලක්ෂ්මන් විජේසේකර හා විශාරද නිර්මලා රණතුංග මහත්මිය පැවසුවේ ඔහු ගීතයට සාධාරණයක් ඉටු කළ බවත් ඉතා හැඟුම්බරව එය ගායනා කළ බවත්ය. ඔහුට ඉතා හොඳ කටහඬක් උරුම බව ද ඔවුන්ගේ මතයයි. දෙවැනි ගායකයා ඒමට පෙර මට එතැනින් ඉවත් වන්නට සිදු විය. නමුත් පැය කිහිපයකින් මට අසන්නට ලැබුණේ ‘හැරදා විමන් . . .’ ගීතය ගැයූ තරුණයා මිය ගිය බවයි. නමුත් ඔහුගේ හඬ දැනුදු මගේ සිතේ රැව් පිළිරැව් දෙනු මට දැනේ. ඒ හඬ ඒ තරමටම මියුරුය.

එදින උදෑසන සිට යම් අසීරුතාවකින් සිටි නලින් ඒ බව කිසිවකුටත් දන්වා නැත. ඒ ඔහුට තරගයට සහභාගි වීමට ඇති දැඩි කැමැත්ත නිසයි. ගීතය ගායනා කිරීමෙන් පසු ලැබුණු විනිශ්චය ඔහු ඉදිරි වටයට ගෙන යන්නට සමත් බවට ඔහු තුළ තිබූ විශ්වාසය නිසා එය දැනගැනීම ඔහුගේ එකම අරමුණ විය.

ඒ නිසාම ඉතා අසීරුවෙන් ඔහු ප්‍රේක්ෂකාගාරය තුළ තවදුරටත් රැඳිනි. නමුත් අවසානයේ ඔහු කළුබෝවිල රෝහලට රැගෙන යාමට අධ්‍යක්ෂ (සංවර්ධන) සනත් වීරසූරිය මහතා කටයුතු කළේය. එහෙත් ඔහු යළිත් නෙඑන ගමන් ගියේය. ජීවිතයේ බොහෝ දුක් කරදර අභිමුව නොසැලී ජය ටැඹ කරා යන්නට ජා. ත. සේ. සභාව සමඟ අත්වැල් බැඳගත් පිය සබඳ උපදින උපදින මතු කිසිදු භවයක මෙවන් අකල් වියෝවක් නොවන්නට අපි ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.