වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




කතා කළ හැකි පමණින් නිවේදකයෙක් වෙන්නේ නෑ . . .

කතා කළ හැකි පමණින් නිවේදකයෙක් වෙන්නේ නෑ . . .

H. T. V නාලිකා ප්‍රධානී, හේම නලීන් කරුණාරත්න කියයි...

හේම නලීන් කරුණාරත්න කිව්ව ම ගොඩක් අයට මතක් වෙන්නෙ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ නමයයි පහ වැඩසටහන. ඒ දවස්වල ඔබ කොහේ ගියත් ඉරිදා රෑනමයයි පහට නම් ගෙදර ඉන්න ඇති.

එදා ඒ රසබර වැඩසටහන ඉදිරිපත් කළ හිතවතා පසුව ස්වර්ණවාහිනී නාලිකාව ඔසිසේ ඔබ හමුවට ආවා. මේවන විට ඔහු හෙරිටේජ් ටී. වී. හෙවත් එච්. ටී. වී. ආයතනයේ ප්‍රධානියා. නිවේදක පිටුවෙන් අද ඔබ හමුවට ආවත් හේම නලීන් කරුණාරත්න කියන්නේ නිවේදකයකුට වඩා දැවැන්ත මෙහෙවරක් රූපවාහිනී ක්‍ෂේත්‍රය තුළ ඉටු කළ අයෙක්.

නිවේදනය ඔහුගේ වෘත්තීය ජීවිතයේ එක් පැතිකඩක් පමණක් වුවත් ප්‍රේක්‍ෂකයන් ඔහු හඳුනා ගන්නේ ස්වභාව සෞන්දර්යයට බර රසවත් හරවත් වැඩසටහන් ඔබ හමුවට ගෙන ආ නිවේදකයෙක් ලෙසයි. අද මේ පිටුව වෙන් කරන්නේ ඔහු වෙනුවෙන්.

මේ දවස්වල අලුත්ම විස්තර මුලින්ම කියමු ?

සුපුරුදු පරිදි එච්. ටී. වී. හි කටයුතු සමඟින් කාලය ගත කරනවා. ඉදිරියේ දී රම්‍යවාහිනී නම යටතේ සෞන්දර්යාත්මක අංශයට යොමු වූ දේ ඇතුළුව විශේෂයෙන් පාසල් සිසුන්ට වැදගත් වැඩසටහන් පෙළක් ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මේවන විට අවුරුදු දෙකක් පුරා එච්. ටී. වී. ඇකඩමිය යටතේ ගුණාත්මක වැඩසටහන් ඉදිරිපත් කිරීම, අධ්‍යක්‍ෂණය, සංස්කරණය, කැමරාකරණය, පසුබිම් කථනය ආදී ක්‍ෂේත්‍ර පිළිබඳ පුහුණුවක් ලබා දීමට කටයුතු යොදලා තියෙනවා.

ඒක ඇත්තටම සතුටක්. මේ මගින් අපට මාධ්‍යයට නවක දක්‍ෂ ශිල්පීන් හඳුන්වා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් එහි හත් වැනි කණ්ඩායමටත් සූදානම්. ඊට අමතරව විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් විදියටත් කටයුතු කරමින් ඉන්නවා.

ඔබ ආරම්භ කළ වෙනස්ම ආරක් ගත් එච්. ටී. වී ගැනත් සඳහන් කරමු ?

එච්. ටී. වී දැන් අවුරුදු තුනක් වයසයි. ඩයලොග් ටී. වී. හි නාලිකා අංක 72 ඔස්සේ සතියේ දිනවල රාත්‍රී 9.00 සිට අලුයම 1.00 දක්වාත්, සති අන්තයේදී රාත්‍රී 7.00 සිට අලුයම 1.00 දක්වාත් තමයි විකාශය වෙන්නේ. ඊට අමතරව සියත ටී. වී. නාලිකාව ඔස්සේද අපේ වැඩසටහන් කීහිපයක් විකාශය කෙරෙනවා. මෙහි වාර්තා වැඩසටහන් විශේෂයි. පාසල් විෂය මාලාවට ඇතුළත් විශේෂ වැඩසටහන් නිර්මාණය කෙරෙනවා.

මෙතෙක් දුර පැමිණි ඒ ගමන ගැනත් කියමු නේද?

මගේ පාසල් කාලය ගොඩනැගුණේ පොදු චරිතයක් විදියට. මතුගම ශාන්ත මරියා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා පසුව රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ කාලයේදී සාහිත්‍ය සංගමයේ විවාද කණ්ඩායමට ඇතුළත් වෙලා කටයුතු කළා. නිවේදකයෙක් වෙනවා කියන හීනයක් නම් තිබුණේ නැහැ.

කලාව හා චිත්‍ර විෂයට යොමු වුනත් විද්‍යා විෂයන් තමයි හැදෑරුවේ. පාසල් අධ්‍යාපනයෙන් පසුව ජාතික රූපවාහිනියේ පුහුණු නිෂ්පාදන සහකාරවරයෙක් විදියටයි මම මුලින්ම සේවය කළේ. පේරාදෙණිය සරසවියෙන් උපාධියත්, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් හැදෑරුවා. ජාතික රූපවාහිනියේ සහකාර අධ්‍යක්‍ෂවරයෙක් දක්වා වසර දහසයක සේවා කාලයකින් පසුව 2000 වසරේදී නිර්මාණ අධ්‍යක්‍ෂවරයෙක් ලෙස ස්වර්ණවාහිනී නාලිකාවට සම්බන්ධ වුණා.

ඔබ විසින් ආරම්භ කළ හෙරිටේජ් ටෙලි විෂන් (එච්. ටී. වී.) අනෙකුත් රූපවාහිනී නාලිකා අතර වෙනස්. ඒ පිළිබඳ සඳහන් කළොත් ?

සොබාදහම, අපේ පැරැණි සංස්කෘතික උරුමයන් වැනි දේ පිළිබඳ වැඩසටහන් තමයි මෙහි වැඩිපුර ඇතුළත් වෙන්නේ. මගේ බලාපොරොත්තුව වන්නෙත් මෙය ලංකාවේ ඩිස්කවරි නාලිකාවක තත්ත්වයට ගෙන ඒමයි. ඒ සඳහා අවශ්‍ය යොමුව සහ සහයෝගය පමණයි.

ඔබ සොබාදහම අළලා සැකසුණු වැඩසටහන් කෙරෙහි විශේෂ ඇල්මක් දක්වනවාද ?

ඇත්තටම මම සෞන්දර්යාත්මක දේට කැමතියි. පරිසරයේ තිබෙන හද බැඳ ගන්නා දේට අපේ ජීවිතයේ දුක සතුට වෙන්න පුළුවන්. ඒ සමඟ තමන් ජීවත් වෙනවා කියන හැඟීම දැනෙනවා. ඒ නිසා මම සොබාදහමට බොහෝ සමීපයි.

එච්. ටී. වී. නාලිකාව ඔබ තනිවම ආරම්භ කරන ලද්දක්. මේ දක්වා ඒ පිළිබඳ ලැබුණු ප්‍රතිචාර ගැනත් කියුමු ?

තමන්ගේ දෙයක් ආරම්භ කරනවිටදි ගැටලු ඇති වීම ස්වභාවිකයි. පසුගිය අවුරුදු තුන පුරාවටම අපි කළේ ගැටලු හඳුනා ගැනීම. යමක් බිහි කරන්න දැඩි වෙහෙසක් දරන්න වෙනවා. අපි දැන් එහි සාර්ථක ප්‍රතිඵල ලබමින් ඉන්නවා. මෙරට සංචාරක වැඩසටහන් සඳහා ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඩෙල්ප් දූපත් ගැන වාර්තා වැඩසටහන් පහක් කළා. අභයගිරිය, පුරාවිද්‍යා කැණීම්, අපේ අලි සම්පත ආදී දේ සමඟ සොබාදහමට සම්බන්ධ විශේෂ වැඩසටහන් රැසක් මේවන විට විකාශය කළා.

මෙවැනි දේ හැමෝටම නිතරම දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා දෙස් විදෙස් ප්‍රේක්‍ෂකයන් රැසක් එච්. ටී. වී. වටා රැස්ව සිටිනවා. ඔවුන්ගේ ප්‍රතිචාර අපට ශක්තියක්.මෙවැනි වාර්තාමය වැඩසටහන් මඟින් සමාජය දැනුම්වත් වෙනවා වගේම එහි ආරක්‍ෂාව පිළිබඳවත් සැලකිලිමත් වෙන්න පුළුවන්. ඒ වගේමයි අපට ඉන්නේ විශේෂ සේවා දායකයන් පිරිසක්. අපි කවදාවත් දැන්වීම් පළකරලා නැහැ. ඒ නිසා සමහර අය දන්නෙත් නැහැ මේක කරන්නේ අපි කියලා. හොඳයි කියලා දකින අය අපත් සමඟ සම්බන්ධ වෙනවා.

මෙය එච්. ටී. වී. කියලා නම් කරන්න විශේෂ හේතුවක් තිබුණා ද?

ඒ නම දැම්මේ ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන්න. මෙය අප රටට පමණක් සීමාවූ දෙයක් නෙමෙයි. අපේ කම, අපේ බස රැකගනිමින් වචන වලට සීමා නොවී වැඩ කරන්න ඕනා. නමුත් ලෝකයට මෙය ගෙන යන්නට ඒ සඳහා ගැලපෙන අයුරින් මේ නම යොදන්න තීරණය කළා.

මාධ්‍ය ක්‍ෂේත්‍රයට පැමිණෙන්නට බලාපොරොත්තු වන අලුත් පරපුරට අත දෙන්නත් විශේෂ වැඩ පිළිවෙලක් ඔබ ආරම්භ කළා නේද?

රූපවාහිනී මාධ්‍යකරණය පිළබඳ නව පරපුරට දැනුම ලබාදීමට තමයි හෙරිටේජ් ටෙලි විෂන් ඇකඩමිය ආරම්භ කළේ. නමුත් රැකියාවක් බලාපොරොත්තුවෙන් මෙවැනි පාඨමාලා හදාරන්න හොඳ නැහැ. ප්‍රායෝගික දැනුම ලබා ගැනීම තමයි වැදගත් වන්නේ. අපි මේ මඟින් රූපවාහිනීකරණය පිළිබඳ පූර්ණ දැනුමක් සිසුන්ට ලබා දීමට කටයුතු යොදලා තියෙනවා. අපි එයට ඉතාම සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණයි සහභාගි කරවා ගන්නේ. එසේ කරන්නේ පාඨමාලාවේ ගුණාත්මක බව පවත්වා ගැනීමටයි. ඒ අතර විශේෂ දක්‍ෂතා දක්වන සිසුන් දැනටත් එච්. ටී. වී. ආයතනයේ සේවය කරනවා. ඒ වගේමයි මෙවැනි දේ නිසා තමන්ගේ වටිනා මුදල් නාස්ති කර ගන්නා සිසුන් ද ඉන්නවා.

ඇයි එහෙම කියන්නේ?

රටපුරා තියෙන මෙවැනි මාධ්‍ය පාඨමාලා නිසා අතරමං වූ තරුණ පිරිස් බොහොමයක් ඉන්නවා. ඇතැම් ආයතන ප්‍රසිද්ධ දේශකවරුන් දේශන සඳහා සහභාගි වන බව දන්වලා දැන්වීම් පළ කරලා සිසුන් මුලා කරන අවස්ථා බොහොමයක් දක්නට ලැබිලා තියෙනවා. ඒ නම්වලට රැවටෙන සිසුන් ඒ සඳහා සහභාගි වෙනවා. ඒ නිසා එවැනි පාඨමාලා සඳහා යොමු වෙන්න බලාපොරොත්තු වෙන අයට මම කියන්නේ හොඳින් සොයා බලා ඒ සඳහා යොමු වෙන්න කියලා.

ඔබ කාලයක් තිස්සේ නිවේදන ක්ෂේත්‍රයේ නමක් දිනාගත් අයෙක්. අලුත් පරම්පරාවට ඔබ දෙන උපදේශය?

නිවේදකයෙක් වීම යන මුලාවෙන් මිදෙන්න. පළමුවෙන් රූපවාහිනිය හෝ ගුවන් විදුලිය පිළිබඳ හැදෑරිය යුතුයි. නිවේදනය එහි අතුරු පලයක් විතරයි. ඒ නිසා රස විඳිය හැකි අයුරින් වැඩසටහන් නිර්මාණය කරන්න ඉගෙනීම වැදගත්. කතා කළ හැකි පමණින් නිවේදකයන් වෙන්න බැහැ. එලෙස කියවාගෙන ගියොත් එහි හිස් බව ශ්‍රාවකයාට පැහැදිලි වෙනවා.

හේමනලීන් කරුණාරත්න – 011 – 2741596 / 077 - 9295119