වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ආයෙත් රඟපාන්න ආසයි

ආයෙත් රඟපාන්න ආසයි

කුමාරි අත්තනායක කලකට පසු හමුවී

මේ වනවිට මට පෙරට වඩා නිදහසක් තියෙනවා. මගෙ ළමයිනුත් දැන් ලොකුයි. ටෙලි නාට්‍යවලට සම්බන්ධ වන්න හිතක් තියෙනවා. හොඳ චරිතයක් ලැබුණොත් දෙවතාවක් හිතන්නේ නැහැ.

අත්තනායක පරම්පරාව කලාවට ඇති හිතෛෂිවන්ත භාවය ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. මේ සටහන ලියැවෙන ඇය ද අත්තනායක පරම්පරාවේම පුරුකක් . නමින් කුමාරිඅත්තනායක වන ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී මැණිකේ අත්තනායකගේ නැගණියයි.

කොහොමද ඔබේ කලා ජීවිතය ඇරැඹෙන්නේ?

මං කලාවට සම්බන්ධ වුණේ 1980 අවුරුද්දේ. ඒ ‘මිණි සළඹ’ වේදිකා නාට්‍යයෙන්. එහි චරිත දෙකක් මං රැඟුවා. ඊට සම්මානයකුත් හම්බ වුණා.

ඔය අතරතුරදි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ව මුණ ගැසුණා. ඔහුගේ හමුව මගේ කලා ජීවිතය වෙනස් කළා කිව්වොත් නිවැරදියි. එතුමාණන්ගේ සුප්‍රකට නාටකයක් වන ‘මනමේ’ හි මනමේ කුමරියගේ චරිතය මට ලැබුණා. මාව ඒ චරිතයට තෝරගත්තා කියලා දැනුම් දීපු වෙලාවේ මට හුස්ම ගන්නවත් මතක් වුණේ නැහැ.

’මනමේ’ නාටකය කැසට් පටයක් ලෙස සකස් කළා. එහි ගීත ගැයුවා. ඔන්න ඔහොම ඉන්න කොට ‘කාල ගෝල’ සහ ‘සිංහබාහ’ු නාට්‍යයන්ට සම්බන්ධ වීමට තරම් මා වාසනාවන්ත වුණා.

හිමි ඔබ දැකුමෙන් නැති සිත මාගේ...

හිරු නැති ලොව පියුමක් සේ...

එහි මට රඟන්නට හිමි වූ සුප්පා දේවිය ගැයූ ගී පදයක් ඒ. 1982 දී පමණ ඊට සම්බන්ධ වුණත් අදටත් මට ඒවා කට පාඩම්.

සරච්චන්ද්‍ර මැතිතුමාගේම ‘මහාසාර, ලෝම හංස, කදා වළලු’ සහ ලලිතා සරච්චන්ද්‍ර මැතිනියගේ ‘හස්තිකාන්ත මන්තරේ’ හි ද චරිත රඟන්නට මට ආරාධනා ලැබුණා.

මෙහිදී තව නාට්‍යයක් මතක් කරන්න ඕනේ. ඒ අරිසෙන් අහුබුදු සූරීන්ගේ ‘සක්විති රාවණා’ එහි සීතා දේවියගේ චරිතය මං අවුරුදු පහක් රඟපෑවා.

කුමාරි, වේදිකාව පමණක්ද නියෝජනය කළේ. ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවලට දායක වුණේ නැද්ද?

ඇත්තටම මං ගොඩක් හිටියේ වේදිකා නිර්මාණවල තමයි. අනෙකුත් නිර්මාණයන්ට ආරාධනා ලැබුණා. ඒ කාලයේදිමයි මා විවාහ වුණේ. ඊට පස්සෙ මං පවුල් ජීවිතයට පමණක් මුල්තැන දුන්නා. කිසිදු කලා කටයුත්තක් කළේ නැහැ.

ඔබේ රුව සහ කතා කරන ශෛලිය අක්කට බෙහෙවින් සමානයි. දෙදෙනා මාරු වූ අවස්ථා නැද්ද?

ඔය කතාව හැමෝම කියනවා. ප්‍රවීණ ඡායාරූප ශිල්පි පී. යූ. ඩී. පෙරේරා ඡායාරූප ප්‍රදර්ශනයක් තිබ්බා. ඒකට ‘ලෝම හංස’ නාට්‍යයේ ඡායාරූපයක් ද ඇතුළත් වුණා. ඒක දැකපු හැමෝම රැවටුණා. ඒ ඉන්නේ අක්කා කියලා. එතන හිටියේ මම. සමහරෙක් කොච්චර පැහැදිලි කළත් මං ඉන්න බවට පිළිගත්තෙම නැහැ.

වර්තමානය වනවිට ඔබේ කලා දිවිය නැවත පටන් ගෙනද?

ඔව්, ආයෙත් රඟපාන්න ආසයි. මේවනවිට මට පෙරට වඩා නිදහසක් තියෙනවා. මගෙ ළමයිනුත් දැන් ලොකුයි. ටෙලි නාට්‍යවලට සම්බන්ධ වන්න හිතක් තියෙනවා. හොඳ චරිතයක් ලැබුණොත් දෙවතාවක් හිතන්නේ නැහැ.

මේ කුමාරිගේ ලිපිනයයි.

28/1බී, බෙල්ලන්තර පාර

නැදිමාල- දෙහිවල.