වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

චාලි චැප්ලින් හොඳම නළුවා ලෙස සම්මාන කීයක් ලබා ඇත්ද? එම චිත්‍රපට මොනවාද?

විමාලක මුහන්දිරම් – හෙට්ටිපොළ

චාලි චැප්ලින් 1929 පළමු ඇකඩමි සම්මාන උළෙලේදී දකිඩ් චිත්‍රපටය සඳහා හොඳම අධ්‍යක්ෂ ලෙස විශේෂ සම්මානයක් දිනා ගත්තා. ඒ හැරෙන්නට ‘ග්‍රේට් ඩික්ටේටර්’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම නළුවාට නාම යෝජනා දිනා ගත්තා. ‘ග්‍රේට් ඩික්ටේටර්’ තිර රචනය සඳහාත්, ‘මෙෂියර් වර්ඩූ’ චිත්‍රපටය සඳහා හොඳම තිර නාටකය සඳහාත් නාම යෝජනා දිනා ගත්තා.

ඔහු ‘ලයිම් ලයිට්’ චිත්‍රපටයට සම්මාන දිනා ගත්තේ හොඳම සංගීතය සඳහායි. මේ හැරෙන්නට, බ්‍රිතාන්‍ය මහ රැජනගෙන් නයිට් පදවියක් ද, ප්‍රංශයෙන් පිිදෙන ඉහළ සම්මානය වූ ‘ලෙජන්ඩ් ඩි ඔනර්’ සම්මානය ද, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද ඔහුට හිමි වූවා. මේ සමඟම වැනිස් සිනමා උළෙලේදී සිනමාවට කළ මෙහෙය වෙනුවෙන් 1972 දී විශේෂ සම්මානයකින් ද පිදුම් ලැබුවා. මේ හැරෙන්නට ඔහු වෙනත් සම්මාන දිනා ගත්තේ නැති තරම්.

බොහෝ අය සිතා සිටින්නේ විකට නළුවකු වූ නිසා චැප්ලින් හොඳම නළුවාට සම්මාන ලැබූ බවයි. ඒක මේ රටේ ඇතැම් කවටයන් විසින් මවන ලද පට්ටපල් බොරුවක්. චැප්ලින් හොඳම නළුවා ලෙස කිසි විටකත් සම්මාන දිනා නැහැ. බොහෝ සිනමා ඉතිහාසඥයන් සිනමාවට ‘හදවතක්’ ලබා දුන් සිනමා දාර්ශනිකයකු ලෙස ඔහුව සලකණු ලබනවා. ‘සිටි ලයිට්ස්, ‘ද කිඩ්’, ද ගෝල්ඩ් රෂ්’ වැනි චිත්‍රපට හාස්‍යයෙන් පසුව මතුකරන කඳුළ හෝ ‘ග්‍රේට් ඩික්ටේටර්’, ‘මෙෂියර් වර්ඩූ’ වැනි චිත්‍රපටවල ඇති තියුණු දේශපාලන උපහාසය නිසා ඔහු ලෝකයේ බොහෝ කලාකරුවන් අභිබවා යනවා. ඒවා හුදු හාස්‍යෝත්පාදක චිත්‍රපටම නොවේ. එසේ වුවත් චැප්ලින් විකට නළුවකු වූ නිසා ඔහු හොඳම නළුවා වුණා යැයි සමහරු පවසන්නේ තමන්ගේ බැරිකම් වසාගන්නයි. එහෙයින් මේ ශ්‍රේෂ්ඨ නළුවාට හා සිනමා දාර්ශනිකයාට සිදු වන්නේ අවමානයක්. එපමණක් නොවේ, එබන්දන්ගේ සිනමා දැනුම පිළිබඳ සිනමාව ගැන යාන්තම් හෝ දන්නා අයට ඇතිවන්නේ මහත් දුකක්.

චැප්ලින් යනු විකටයකු නොවේ. ඔහුට ගරුකොට සලකන්නේ ඔහුගේ හාසෙේ‍යීත්පාදක රංගනයට නොව ඔහු සිනමාව වෙනුවෙන් කළ මෙහෙය සඳහායි. එහෙයින් මේ ශ්‍රේෂ්ඨයාට මෙරට ‘ජෝකර්ලා’ විසින් කරන අවනම්බුව දැන්වත් නැවැත්විය යුතුයි.

ජනප්‍රිය බටහිර නළු මාලන් බ්‍රැන්ඩෝත් අපේ ගාමිණී ෆොන්සේකාත් අතර ඇති වෙනස ඔබ දකින්නේ කෙසේද?

සරත් රණසිංහ – කපුගොඩ

මාලන් බ්‍රැන්ඩො කළ ඕනෑම රංගනයක් ගාමිණී ෆොන්සේකාට කළ හැකි යැයි මා විශ්වාස කරනවා. හැබැයි ගාමිණී කළ සූර චෞරයා, ඔහොම හොඳ ද, සූරයන්ගෙත් සූරයා වැනි චිත්‍රපටවලත්, එහෙම නැතිනම් හුලවාලී හී ධාරාගේ චරිතය, සරුංගලය හි නඩරාජාගේ චරිතයවත් මේ කපේදී මාලන් බ්‍රැන්ඩෝට කරන්න ඉඩ ලැබුණේ නෑ.

ඔහු රඟපෑ චිත්‍රපට ශෛලියේ ඒවා තිබුණේ නැහැ. එහෙත් ගාමිණීට බටහිර රංග ඌරුව මෙන්ම ආසියානු රංග ශෛලියත් මනාව මුසු වී තිබුණා. ඒ වගේම මාලන් කළ හැම චිත්‍රපටයකම අධ්‍යක්ෂකට පාට් දමා තිර පිටපත වෙනස් කළත් ඔහු අධ්‍යක්ෂවරයකු වශයෙන් අතිශය අසාර්ථකයි. ඒ අතිනුත් ගාමිණී, මාලන් බ්‍රැන්ඩෝ ඉක්මවා යනවා.

*

දීපිකා පදුකෝන් ගැන පොඩි විස්තරයක් කරන්න.

සුනිල් චන්ද්‍රසේකර - කොටුගොඩ

දීපිකා පදුකොන් යනු මෑත කාලයේ හොලිවුඩයට බිහි වූ අතිශයින් ආකර්ෂණීය නිළියක්. ඇය හින්දි සිනමාවට එක්වන්නේ දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ සිටයි.

ඇගේ පියා ප්‍රකාශ් පදුකෝන් නම් සුපතල බැඩ්මින්ටන් ක්‍රීඩකයායි.

ඇගේ මුල්ම චිත්‍රපටය ඓශ්වර්යා නම් කන්නඩ භාෂිත චිත්‍රපටයයි. ඇය රඟපෑ මුල්ම හින්දි චිත්‍රපටය වූ ‘ඕම් ශාන්ති ඕම්’ චිත්‍රපටයේ සිට රඟපෑ හැම චිත්‍රපටයකම තමන්ගේ ආකර්ෂණීය බව රැක ගැනීමට සමත්ව සිටිනවා. ඒ බව ඇය රඟපෑ චිත්‍රපටවලින් මනාවට ඔප්පු කළා.

*

‘සුපර් සික්ස්’ චිත්‍රපටිය ඉතාමත් විචිත්‍ර, මෑතකාලීන සිනමාවේ බොලිවුඩය හා සමාන රංගනයන් දැක ගැනීමට ඉඩ ලැබුණු චිත්‍රපටයක් බව සතුටින් ප්‍රකාශ කරමි. ඒ සඳහා ලක්ෂ 970 ක් වියදම් වූ බව දනිමි. එහෙත් චිත්‍රපටය ඉතා කෙටි කලයි සිනමා ශාලාවල දැකගන්නට ලැබුණේ. එයට අසාධාරණයක් වූවා යැයි සිතෙන්නේ නැති ද?

ඩී. එරන්ද ඉන්දික පෙරේරා - බත්තරමුල්ල

අසාධාරණයි කියලා කියන්නේ, ඉක්මනින් ගැලැවුණා නම් ගැලැවුණේ ඔබ ඇතුළු ඔබ වැනි ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරය අඩු නිසා නේද ඉන්දික. එසේ වන්නට ඇත්තේ චිත්‍රපටයේ යම් දුර්වලකමක් නිසා විය හැකියි. දෛවයෝගය චිත්‍රපටය ඒ කාලයේ අති විශාල වියදමක් දැරූ චිත්‍රපටයක්. එහි ගීත අදටත් මියුරු හා චමත්කාරජනකයි. එහෙත් දෛවයෝගය පිළිබඳ ප්‍රවීණ සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ ලියු විචාරයකට මාතෘකා වී තිබුණේ අපරාදේ සල්ලි අපතේ යනුවෙන්. එය බොහෝ චිත්‍රපටවලටත් වලංගුයි නේද?

*

ඉන්දියාවේ බොලිවුඩ් නළු නිළියන් බොහෝ කල් දීර්ඝායුෂ ඇතිව ජීවත් වෙනවා. නමුත් අපේ ලංකාවේ නළු නිළියන් අල්ප ආයුෂ ඇතිව ඉක්මනින් ජීවිතයෙන් සමුගන්නට හේතුව මොකක්ද?

ප්‍රේමසිරි නාරසිංහ – මාතර

මෙබඳු මනස්ගාතවලින් ඔළුව පුරවා ගන්නේ ඇයි මහත්තයෝ. මුරලි නැමැති ඉන්දියාවේ අතිශය ජනප්‍රිය නළුවා මේ ඊයේ පෙරේදා මිය ගියේ අවුරුදු 48 දී. සුජාතා නැමැති නිළිය මිය ගියේ 51 දී.

ඔය අතරට තව ඉන්දියාවේ ජනප්‍රිය හා එසේ නොවුණ නළු නිළියන් කොතෙක් සිටිනවාද? අනිත් අතට ඉන්දියාවට වඩා ලංකාවේ දීර්ඝායුෂ ලැබූ නළු නිළියන් කොපමණ සිටියාද? ඉන්නවාද?

*

වැරදුන කුරුමානම චිත්‍රපටයේ ‘ශාන්ත වේ ප්‍රේමේ’ ගීතයත්, පෙරෙළෙන ඉරණම චිත්‍රපටයේ ‘හද ආදර ප්‍රේමේ මන්දීරේ’ ගීතයත් ගායනා කළේ කවුද?

සීතා සෙනරත් අමරසිංහ – ගණේමුල්ල – නැදුන

ශාන්ත වේ ප්‍රේමේ ගීතය ක්‍රිස්ටි ද මෙල් සමඟත්, හද ආදර මන්දීරේ ගීතය අරුණ ශාන්ති සමඟත් ගායනා කළා.

*

සමහර නවක ගායකයන්ගේ ගීතවල වචනයක් හෝ මතකයේ නොසිටින්නේ ඇයි?

සුජාතා ගුණවර්ධන – කඩවත

මට නම් සමහර පරණ සිංදුවලත් එහෙම තිබෙන බව පෙනෙනවා.

*

බෞද්ධ ජාතක කතාවක් සිංහල චිත්‍රපටයකට නැගුණු මුල්ම නිර්මාණය කුමක්ද?

අජිත් ලක්මාල් - මීගමුව

1967 වසරේදී තැනුණු ‘වෙසතුරු සිරිත’ චිත්‍රපටය.

*

සත පනහ චිත්‍රපටයේ ‘අද අපි ඉන්නේ’ ගීතය ගයන ගායිකාව කවුද?

විමල් රණසිංහ - කොළඹ 14.

මිනෝන් රත්නම්.

*

ගොඩාක් පුවත්පත් දැන් නියමිත දිනට කලින් පිට වෙනවා. බ්‍රහස්පතින්දා වෙනතුරු මඟ බලා සිටින අපට සරසවිය පුවත්පත පමණක් නියමිත දිනට කලින් ලබා නොදෙන්නේ ඇයි?

කරු මන්දාවල – නාත්තන්ඩිය

ලේක්හවුස් ආයතනයේ පුවත්පත් විශාල ප්‍රමාණයක් මුද්‍රණය කරන නිසා බ්‍රහස්පතින්දාට පෙර ‘සරසවිය’ ඔබ අතට පත්කිරීමට නොහැකියි. නමුත් සරසවිය බ්‍රහස්පතින්දාට නිකුත්වීමෙන් එදින තෙක් බලා සිටීම නිසා ඉවසීම ප්‍රගුණ කිරීමට ඉවහල් වෙනවා නේද?

*

අඬන්නෙ ඇයි සුදු මැණිකේ ගීතය රචනා කළේ කවුද?

තිලකරත්න විල්වල – කෑගල්ල

අභාවප්‍රාප්ත ගීත රචක මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ.

*

මෙම දිනවල නිතර ඇසෙන ජානක වික්‍රමසිංහ ගයන ලොතරැයි කිරිල්ලියේ ගීතය කාගේ රචනාවක්ද?

දයාරත්න ගනේගොඩ – කැලණිය

ජයන්ත රෝහණගේ.

*

චිත්‍රපටයක් දුම්රියක් තුළ රූගත කරනවා නම් එයට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතුද?

ඒ. කරුණාදාස - ඉඳුරුව

ඔව්. එසේ අවසර ගත යුතුයි.

*

රුපවාහිනිය යන වචනය කාගේ යෙදුමක්ද?

චාමර හේමන්ත – පිළියන්දල

මහානාම දිසානායක මහතාගේ.