වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




තරු මිහිර රස කළ රොඩ්නි වර්ණකුල

තරු මිහිර රස කළ රොඩ්නි වර්ණකුල

සිනහව මිනිසාගේ නිරෝගීකම සඳහා ඉවහල්වන දිව්‍ය ඔසුවක් වැන්නකි. සිනහාවෙන් තවත් පිරිසක් ආනන්දයට පත් කරන්නට හැකි නම් එය මහත් ආනිසංස දෙන පුණ්‍යකර්මයකි. අද තරු මිහිරට එක්වන කලා තරුව කලාකාමීන්ට සිනහ රස තිළිණ කරන පුණ්‍යවන්තයෙකි. රොඩ්නි වර්ණකුල. අද ‘තරු මිහිර’ මිහිරෙන් රසවත් කරනට එක්වන වාසනාවන්ත කලා තරුවයි.

කඩවත - සුජාතා ගුණවර්ධන.

හඟුරන්කෙත – තිලිණී භාග්‍යා.

හන්තාන – දිනුෂ කරුණාරත්න

කිරිඳීවැල – ජයගංගා

හොරොව්පතාන – ධම්මික සෙනරත්

සරසවියට ලබැඳි පාඨක හිතවතුන් රොඩ්නි සමඟ සිනහවෙන් හෝරා කිහිපයක් ගත කරන්නට පින් ලද්දෝය.

සරසවිය ඡයාරූපාගාරයට වී මේ පිරිස ඇඟිලි ගනිමින් සිටින්නේ රොඩ්නිගේ සිනහාබර මුහුණ දැකීමේ ආශාවෙනි.

“සෝබාව දේ මෙපුර - සිරි විසිතුරු

බලනු මිතුරු මග පියකරු වූ

සුසුදු වළා කැරැලි පලසකි මේ මග දිග ඇතිරූ - අහස සූරන මැදූරු . . .”

යැයි තාලයට ගයමින් මේ පිරිසගේ සිත් තුටු කරමින් තරු මිහිරේ තරුව රොඩ්නි පැමිණියේය.

ආයුබෝවන් හැමෝටම . . .

“හානේ පොඩ්ඩක් විතර පරක්කු වුණා . . . ඒ වෙන හේතුවක් නිසා නෙමේ, මේ පොඩි අසනීප තත්ත්වයකට බේත් ගන්න ගියා. ඔන්න හැමෝම සමාව දෙන්න හොඳේ’

ඔන්න මම රොඩ්නි වර්ණකුල. මට ඔයාලව හඳුන්වා දෙන්න කෝ.

මම සුජාතා, විශ්‍රාමික ගුරුවරියක්.

මම දිනුෂ, ව්‍යාපාරිකයෙක්.

මම තිලිණි, උසස් පෙළට මුහුණ දීලා ප්‍රතිඵල එනකන් ඉන්නවා.

මම ජයගංගා, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පළමු වසර ශිෂ්‍යාවක්.

මම ධම්මික, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා.

සියල්ලෝම රොඩ්නි දෙස බලා සිටියි. එක්වරම රොඩ්නි දෙසට හැරී ‘අයිය ද මල්ලි ද නම් දන්නේ නැහැ. ඇයි ඔයාගේ කොණ්ඩේ ඔච්චර සුදු’

අනේ ඉතින් සුජාතා වයසට යනකොට සිදුවෙන දේවල් අපට නවත්තන්න බැහැනේ . . . අනික ඇත්ත වසන් කරන්නත් බැහැනේ . . .

ඒ වුණාට රොඩ්නි අංකල් කොණ්ඩේ ඩයි කරන්න පුළුවන්නේ . . . ඒ ජයගංගායි.

අනේ දුවේ කොණ්ඩේ ඩයි කරලා තවත් කැත වෙන්න බැහැනේ. අනික මේ සුදු කොණ්ඩෙත් දැන් මගේ අනන්‍යතාව වෙලා.

ඔයා වඩාත් කැමැති වේදිකාවටද, ටෙලි නාට්‍යටද එහෙම නැත්නම් සිනමාවටද? ඒ දිනුෂගේ පැනයයි.

‘ආයේ කතා දෙකක් නැහැ වේදිකාවට. වේදිකාව තමයි රංගන ශිල්පියෙකුගේ තිඹිරි ගෙය. අනික වේදිකාව සජීවි කලාවක්. වැරැදුනොත් ආයේ හදන්න බැහැ. ඒකයි අර කතාවක් තියෙන්නේ වේදිකාවේදී කාටවත් බොරු බෑ කියලා.’

ඇයි මේ දවස්වල ටෙලි නාට්‍යවල පේන්න නැත්තේ?’ ඒ ධම්මිකට ඇති ප්‍රශ්නයයි.

ඇත්තටම වේදිකාවේ මේ දවස්වල කාර්යබහුලයි. ඉදිරියේදී නදී චන්ද්‍රසේකරගේ ටෙලි නාට්‍යයකින් ඔයාලට දකින්න පුළුවන්.

අංකල්ට වේදිකාවේදී කරදර, අකරතැබ්බ වෙලා තියෙනවද? නිහඬව සිටි තිළිණි හඬ අවදි කළාය.

අනේ ඕනෑ තරම් වෙලා තියෙනවා. දවසක් දයානන්ද ගුණවර්ධන මහත්මයාගේ ‘නරිබෑනා’ නාට්‍යයේ මේසේ උඩ ඉඳලා බිමට පනින දර්ශනයක් තියෙනවා. වසර ගණනක් නරියා විදිහට ඇක්ට් කරපු මට ඒක නිකන් හුරු වෙලා තිබුණේ. කරුමෙට එදා මගේ කකුල ලිස්සුවා. මගේ මුහුණ ස්ටේජ් එකේ වැදුණා. මොහොතකට මට සියල්ල අමතක වුණා. ඒ වෙලාවේ මම එළියට තමා කෙළින්ම දුවලා තියෙන්නේ.

ඔයා, ගිරා, ජූඩ්, ප්‍රියන්ත අතර තියෙන බැඳීම මොකක්ද? ඒ ජයගංගායි.

‘මේකයි, ජූඩ්, මම, ගිරා, ප්‍රියන්ත කියන්නේ එකට ජීවත්වුණ එකට කලාව කරන කණ්ඩායමක්. ඔතෙන්ට ආනන්ද අතුකෝරළත් එක් වෙන්න ඕනේ. හැබැයි අවාසනාවකට අපි ඔක්කොටම පෙර අපේ ඇන්ටන් ජූඩ් අපෙන් නොසිතූ මොහොතක සමුගත්තා. ඒක අපේ කණ්ඩායමට ලොකු පාඩුවක්, අඩුවක්’ යැයි කියමින් රොඩ්නි මොහොතකට හැඟූම්බර වූවේය.

පොඩි කාලේ ඉඳලම නාට්‍යවලට කැමතිද? දිනුෂගෙන් නැවතත් රොඩ්නිට පැනයක්.

අනේ ඔව්. මම හත වසර පන්තියේ ඉන්න කොට සයිමන් නවගත්තේගම මහත්තයාගේ ‘සුභ සහ යස’ නාට්‍ය අපේ පාසලේ පෙන්නුවා. මට ඉතින් ඒ දවස්වල සල්ලි නැහැ බලන්න. මම ගේට්ටුව ළඟට වෙලා හිටියා. අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇවිත් මගෙන් ඇහුවා ‘මොකද තමුසේ ඔතන . . . මම කිව්ව නිකං කියලා. නාට්‍ය බලන්න ඕනෙද ඇහුවා. මම එක පයින් හා කිව්වා. මාව ඉස්සරහ ගේට්ටුවෙන්ම ඇතුළට දැම්මා. සෙනඟ පිරිලා. මට පුටුවක් නැහැ. මම ශාලවේ මැද පඩියක් උඩට වෙලා බැලුවා. නාට්‍ය බලලා ඉක්මනට ගෙදර ගිහින් පොත් ටික තියලා ආයෙත් ආවා හවස දර්ශනය තියෙන වෙලාවට. දවල් හිටපු තැනටම වෙලා කැරකි කැරකි හිටියා. එක පාරටම නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇවිත් ‘ආයේ මොකද තමුසේ මෙතන හොරගල් අහුලන්නේ? ආයෙත් නාට්‍ය බලන්න ඕනේද ඇහැව්වා. මම හා කිව්වා. දවල් බැලුවා වගේම හවසත් අර පඩිය උඩට වෙලා නාට්‍ය බැලුවා. එහෙම තමයි වේදිකා නාට්‍ය කලාවට හිත බැඳුණේ.

සිනමාවේ ඉස්සෙල්ලම රඟපෑවේ මොන චිත්‍රපටයේද? සුජාතාගෙන් නැවතත් ප්‍රශ්නයක්.

බහුබූතයෝ චිත්‍රපටයේ.

අනේ සිංදුවක් කියන්නකෝ . . . ඒ ධම්මිකගෙන් ඉල්ලීිමක්.

යස ඉසුරු පිරුණු තැනා . . . සිරි දෙව් දූ සිටින තැනා . . . ගීතය රොඩ්නි තාලයට ගයද්දී දිනුෂ හා ධම්මික ඒ අනුව මනරම් රැ¼ගුමක් ඉදිරිපත් කළේ සියල්ලන්ගේ අත්පොලසන් හඬ මැදිනි.

පවුලේ තොරතුරු ටිකක් කියන්න? ජයගංගාගෙන් ඉල්ලීමකි.

මගේ බිරිඳ ඉරානි. ලොකු දුව ප්‍රසංගිකා කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධියක් හදාරනවා. මාත් සමඟ නරිබෑනා නාට්‍යයෙත් රඟපානවා. පොඩි දුව සමාධි, එයා මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා. පොඩි පුතා ඉරෝන්, හැබැයි එයා නම් කියන්නේ එයා ‘අයන්’ කියලා.

මේ කේක් එකක් තිබුණා නේද අපිට සරසවිය ගානේ? ඒක කපමුද? රොඩ්නිගෙන් ඉල්ලීමක්.

රොඩ්නි කේක් කපා හැමෝටම කේක් කැවුවේ සියල්ලන්ගේම අත්පොලසන් හඬ මැදයි.

‘මේ ‘ලක් සළුසල’ ගානේ ඔයාලට තෑගිත් එවලා තියෙනවා. අපේ රෝමා රෝෂි තමයි එහි මාධ්‍ය සම්බන්ධිකරණය. රොඩ්නි දිගටම පැවසුවා.

අපිට විතරක් නෙමේ රොඩ්නිටත් තෑගි තියෙනවා කියමින් රොඩ්නිට හිමි තෑගි වවුචරය සරසවිය පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ චන්දන දයාසිරිවර්ධන අතින් පිරිනැමුවා.

මගෙනුත් පුංචි තෑග්ගක් රොඩ්නිට. හැබැයි ගෙදර ගෙනිහින් බිරිඳටත් දෙන්න, කියමින් සුජාතා රොඩ්නිට රස කැවිලි පාර්සලයක් තෑගි දුන්නාය. දිනුෂත් රොඩ්නිට තෑග්ගක් පිරිනැමුවේය.

‘මගෙනුත් පුංචි තෑග්ගක් ඔයාලට’ කියමින් රොඩ්නිගේ වර්ණ ඡායාරූප කිහිපයක් සමරු අත්සන ඇතිව රසිකයන් වෙත පිළිගැන්වූවේය.

හනේ රොඩ්නි අයියේ, තව එක සිංදුවක් කියන්න. හැබැයි ඔයාගේ නොවන එකක්. ඒ ධම්මිකගේ ඉල්ලීමයි. හරි මෑත කාලයේ මම ගොඩාක් ඇලුම් කරන අපේ ධම්මික බණ්ඩාර ලියූ අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන ‘හන්තානට පායන හඳ’ ගීතය කියන්නම්.

මිහිරිවට ගීත කිහිපයක් ගයමින් මෙවර තරු මිහිරට, මිහිරිමත් මතක රැසක් එකතු කරමින් ගෙවූ හෝරා කිහිපයක රස මොහොත කෙමෙන් ගෙවී ගොස් අවසන් මිනිත්තුª කිහිපය එළැඹියේය.

ඔවුනොවුන් වැළඳ ගනිමින් ගෙවූ මොහොත අතීත සැමරුම් ඉතිරි කරමින් රොඩ්නි වර්ණකුල එක් වූ තරු මිහිර අවසන් වූයේ තවත් මිහිරි මතක ගොන්නක් ඔවුන්ගේ සිත් තුළ හොවාගෙනයි.

යස ඉසුරූ පිරුණු තැනා.... රොඩ්නි ගයමින්. රොඩ්නිගෙන් රංගනයක්...
දිනුෂට ලක්සළුසල තෑගි... ධම්මිකට තෑගි.
චදිනූෂ හා ධම්මික නර්තනයේ.... කඩවත සුජාතාගෙන් රොඩ්නිට තෑගි....
හැමෝටම කේක් කවා රොඩ්නි තනියම කේක් රස විඳිමින්.... සතුටින් කේක් කපමින්....
තිළිණිට කේක් කෑල්ලක්.. තරු මිහිරයි සතුට පිරෙයි...