වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




තායිලන්ත දූපතක් බොන්ඩ් නමින්

තායිලන්ත දූපතක් බොන්ඩ් නමින්

‘රන් තුවක්කුව අත දරන්නා’

තායිලන්තයේ මනරම් දූපත් සංකීර්ණයක් වූ ‘කෝ මාපු’ ප්‍රදේශයේ හුදෙකලා කුඩා දූපතක වෙරළේ වැතිරී හිරු රැස් තපින රූබර යුවතියකි. ඇගේ රන්වන් සිරුර යන්තමින් ආවරණය වී ඇත්තේ කෙටි දුහුල් නාන ඇඳුමකිනි.

ඇගේ නෙත් යොමු වී තිිබෙන්නේ මුහුදේ සිට ඈ වෙත පිය නගන පාංශු දේහධාරි පුද්ගලයකු වෙතයි. ගත පුරා දිය බේරෙමින් ඈ අබියස සිටගත් ඔහුගේ නෙත් පුරා ඇත්තේ ප්‍රේමාන්විත බැල්මකි. ඔහුගේ නිරුවත් උඩුකය දෙස විශ්මයෙන් බලා සිටි ඇය අත තිබූ තුවායෙන් දිය තෙත මාත්තු කරයි.

කරමින් සිටි කටයුත්ත මඳකට නවතා ඈ බලා සිටින්නේ ඔහුගේ පපුව මත වූ ඒ අපූරු සලකුණ දෙසයි. ෆ‍්‍රැන්සිස්කෝ ස්කැරමංගා නම් වූ මොහුගේ සුවිශේෂත්වය වන්නේ පපුව මත තන පුඩු තුනක් සහිත ලොව සිටින එකම පුද්ගලයා ඔහු වන බැවිනි.

රන් තුවක්කුවක් අත දරන්නා යන විරුදාවලියෙන් අපරාධ ලෝකයේ නමක් දිනා සිටින ඔහු ලොවින් හුදෙකලා වූ දූපතක අප්‍රකට ජීවිතයක් ගත කරමින් බලශක්ති අර්බුදයට විකල්ප විසඳුමක් වූ න්‍යෂ්ටික බලාගාරයක්

නිපදවීමේ කටයුත්තක යෙදී සිටී. එහි මූලික ක්‍රියාකාරී මෙවලම වන ‘සොලෙක්ස් ඇජිටේටර්’ නම් ඉලෙක්ට්‍රොනික පරිපථය එහි නිෂ්පාදකවරුන්ගෙන් සොරා ගෙන ලෝක ප්‍රජාව අභියෝගයට ලක් කිරීම ඔහුගේ ප්‍රධාන අරමුණ වෙයි.

එහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍ය ඔත්තු සේවයේ අංක 002 දරන රහස් ඒජන්තවරයා රන් මූනිස්සමකින් වෙඩි තබා ඝාතනය කෙරෙන්නේ හොංකොං හි මෙහෙයුම්වල යෙදී සිටියදීය. ඉන් අනතුරුව 007 කැටයම් කරන ලද රන් මූනිස්සමක් බ්‍රිතාන්‍ය රහස් ඔත්තුª සේවා ප්‍රධානී ‘එම්’ වෙත ලැබෙයි.

එම අනතුරු ඇඟවීමේ අරුත වන්නේ ස්කැරමංගා ගේ ඊළඟ ඉලක්කය ජේම්ස් බොන්ඩ් බවයි. සැඟ වී අප්‍රකට ජීවිතයක් ගත කරන ස්කැරමංගා සොයා ගොස් ඔහුගේ සැලසුම් සහ ව්‍යාපෘතිය විනාශ කොට දිවි ගලවාගෙන ආපසු පැමිණීම මෙවර බොන්ඩ් හට පැවරෙන රාජකාරියයි.

‘යූ ඔන්ලි ලිව් ට්වයිස්’ චිත්‍රපටයෙන් පසු ‘මෑන් විත් ද ගෝල්ඩන් ගන්’ නිපදවීම ඉඔන් ප්‍රඩක්ෂන්ස් සමාගමේ අභිප්‍රාය වුව ද එවකට 1969 දී කාම්බෝජයේ උද්ගතව තිබූ දේශපාලන අර්බුද හේතුවෙන් එය කල් දමා ඔන් හර් මැජෙස්ටීස් සීක්‍රට් සර්විස්’ චිත්‍රපටය නිපදවීමට ඔවුන්ට සිදු වුණා.

එහෙත් එම චිත්‍රපටයෙන් බලාපොරොත්තු ඉලක්ක සපුරාගත නොහැකි වූ බැවින් ඊළඟ වතාවේ යළිත් වරක් ෂෝන් කොනරි බොන්ඩ් ලෙස නැවත කරළියට ගෙන එමින් ‘ඩයමන්ඩ්ස් අ ෆො එවර්’ නිෂ්පාදනය කෙරුණු අතර වසර 3 ක ඇවෑමෙන් කල් දැමූ’මෑන් විත් ද ගෝල්ඩන් ගන්’ චිත්‍රපටය යළි නිෂ්පාදනයට ගැනුණේ රොජර් මුවර් ජේම්ස් බොන්ඩ් චරිතයට යොදා ගනිමිනුයි.

මෙය මුවර් ගේ දෙවෙනි බොන්ඩ් චරිතය වන අතර අධ්‍යක්ෂක ගයි හැමිල්ටන්ගේ සිව්වැනි සහ අවසාන චිත්‍රපටය ද වෙයි. තිර රචනය සඳහා යළිත් රිචඩ් මේ බෝම් කැඳවනු ලැබූ අතර සහාය තිර රචකයා ලෙස කටයුතු කළේ ටොම් මැන්කිවික්ස්. කැමරාකරණය පැවරුණේ සුපුරුදු කැමරා ශිල්පි ටෙඩ් මුවර්ටයි.

බොන්ඩ් කතා නිර්මාතෘ ඉයන් ෆ්ලෙමින් ගේ ඥාති සොහොයුරා වන ප්‍රවීණ නළු ක්‍රිස්ටෝපර් ලී ප්‍රධාන ප්‍රතිවාදියාගේ චරිතය සඳහා තෝරා ගැනුණා. ඔහුගේ පතල ඩ්‍රැකියුලාගේ චරිතය රඟපාමින් විශාල ප්‍රසිද්ධියක් දිනා සිටි අතර ෆ්ලෙමින් විසින් ප්‍රථම බොන්ඩ් චිත්‍රපටයේ ප්‍රතිවාදියා වන ඩොක්ටර් නෝ ගේ චරිතය සඳහා නිර්දේශ කළේ ද ඔහුවයි. නමුත් අවසානයේ එම චරිතය නිරූපණය කළේ ජෝශප් වයිස්මන් විසිනුයි.

ලබන සතියේදී හමුවෙමු.