වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




අසීමිත බලය ඔබව බිලි ගනීද

අසීමිත බලය ඔබව බිලි ගනීද

එඩ්ගාර් අඳුරු කාර්යාලයේ සැප පුටුවක අසුන්ගෙන බැරෑරුම් හඬින් කියන්නේ එෆ්.බී.අයි.හි උපත ගැනය. 1919 වර්ෂයෙන් පටන් ගන්නා මේ අතීත ස්මරණය මඟින් සිනමාපටයේ ගලා යාම සිදු වේ. එක් වරම ප්‍රෙක්ෂක ඇසට හසුවන ප්‍රකට නළු මුහුණ සියුම් කල්පනාවක අපව ගිල්වා දමන සුළුය.හේ ලියනාඩෝ ඩි කැප්‍රියෝය.

මනා වූ ශෝභාසම්පන්න පෙනුමක් ඇති ඔහු ක්ෂණයකින් දෙගුණයක වයසක් අපට පෙන්වා සිටියි.එහෙත් කිහිප විට තම යොවුන් මුහුණේ සියුම් රේඛා පෙන්වා සිටියි.මා සිනමාපටයට බැදුණේ ඔහුගේ රඟපෑම හේතුවෙනි.ළාමක කටහඬක් සහ සුන්දර පෙනුමක් ඇති ඩි කැප්‍රියෝ අමුතු වෙසක් ගෙන ඇති 'ජේ එඩ්ගාර්'සිනමාපටය මීට පෙර ඔහු රඟපෑ අනෙක් සියලුම සිනමාපටවලින් වෙන් කර ගත හැකි තරම්වෙනස්ය.

එඩ්ගාර් එෆ්.බී.අයි හි උපත ගැන කියන්නේ අනාගතය ගැන දහසක් දේ සිත්හි තබා ගෙනය.හුදෙක් ආරක්ෂාව උදෙසා පමණක් කැප නොවූ එඩ්ගාර් ගේ දෙපාර්තමේන්තුව ඔහුගේ දහදිය මහන්සියෙන් ගොඩනැඟුණු රහස් පිරුණු ගොඩනැගිල්ලකි.එවකට නීතිපති ධූරයේ ක්‍රියා කළ ඔහුගේ ප්‍රධානියා වූ මයිකල් පාමර් තම ජීවිතය ගැන බියෙන් පසුවෙයි.එනම් ඔහුව ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ඇතැයි සැක පහළ කරයි.ඒ සැකය ස්ථීර කරමින් එක්තරා රාත්‍රියක බෝම්බ කිහිපයක් පුපුරා යාමෙන් පසුවය.කෙසේ නමුත් එඩ්ගාර් විසින් සිය මවට පවසන්නේ තමාව කැරැළිකරුවන් මර්ධනය කිරීමේ කාර්යභාරයේ මූලිකයා ලෙස තෝරා පත් කළ බවයි.ඈ ඒ ගැන සතුටු වන බවක් නොපෙන්වන මුත් එඩ්ගාර් වෙතින් පළ වන නො ඉවසිලිමත් ප්‍රීතිය හේතුවෙන් ඈ තම සතුට පළ කරයි.

එඩ්ගාර් තම ප්‍රීතිය දිගටම පවත්වා ගනිමින් පවසන්නේ තමා ගැහැනු ළමයෙකු සමඟ සවස් වරුවේ ඇවිදින්න යන බවයි.ඔහුගේ මව විසින් වඩා වැඩි ප්‍රීතියක් පෙන්වන්නේ ඒ කාරණාව සම්බන්ධයෙනි.එඩ්ගාර් හමු වන්නේ යන්නේ හෙලන් ගැන්ඩිවයි.ඔබ ඈව තදින් මතකයේ තබා ගත යුතුය.ඒ එඩ්ගාර් ඈ කෙරෙහි බැදුණු සිත් ඇති නිසා නොවේ.ඈ විසින් මේ සිනමාපටය පුරා සිදු කරන්නට යෙදෙන කාර්යභාරය හේතුවෙනි.

ඈ නීතිපති දෙපාර්තමේන්තුවේ ලේකම්වරියකි.එඩ්ගාර් විසින් මේ රොමෑන්තික සැඳෑවේ ඈ රැගෙන යන්නේ කොන්ග්‍රස් පුස්තකාලයටය.තමා විසින් පිළිවෙල කරන්නට යෙදුණ පොත් නාමාවලි ගැන ඈ දැනුවත් කරන එඩ්ගාර් පෙම්වතෙකු ලෙස අති අසාර්ථක ආරම්භයක් ලබා ඇති බව ප්‍රේක්ෂකයා දැන ගනී.සැබැවි.කතාවේ හැඩය සකසන්නට නම් එඩ්ගාර් හෙලන් සම්බන්ධයෙන් අසාර්ථක විය යුතුමය.ඔහු මහත් විස්කමක් ලෙස හෙලන් ඉල්ලා සිටින කෘතියක් මිනිත්තුවක් සහ තප්පර දහයකින් ඈට සොයා දෙයි.ඊළඟ පියවර හදිසියේම එඩ්ගාර් විසින් හෙලන්ව සිප ගැනීමට යාමයි.ඈ ඔහුව ඉතාමත් මෘදුව ප්‍රතික්ෂේප කරයි.එඩ්ගාර් හෙලන් කෙරෙහි ප්‍රේමය බිඳ වැටී තමන්ගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කිරීමට ඈට ආරාධනා කරයි.රාජකාරීමය ආශාවකින් හෙලන්ගේ ජීවිතය වැසී ගොස් ඇති සැටියකි.එඩ්ගාර් මෙන්ම ඈද රාජකාරී ආශාවන් ලුහු බදින දෙදෙනෙකි.

කැරැළිකරුවන් විෂයෙහි ඉතා දැඩි පරික්ෂාවකින් පසු වන එඩ්ගාර් ඉතා ඉක්මනින් නම් ලැයිස්තු කිහිපයක් සාදමින් ඔවුන්ව අත් අඩංගුවට ගත යුතු යැයි තම ප්‍රධානියාට කියා සිටියි.1919 තරම් ඈත කාලයක අමෙරිකානු සමාජයේ හැසිරීම එඩ්ගාර් ඉතා ඉක්මනින් වටහා ගනී.දීප්තිමත් තරුවක්ව ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ බැබළෙමින් රාජකාරි සිදු කරයි.මෙහි ආසන්න ප්‍රතිඵලය ඉතා ඉක්මනින් ඔහුව සොයාගෙන පැමිණෙයි.එනම් එඩ්ගර් විසින් සිදු කළ නොයෙකුත් ක්‍රියාකාරකම් මත ඔහුගේ ප්‍රධානියාට රැකියාව අහිමි වෙයි.

මේ අතරට කැරැළිකරුවන් කිහිප දෙනෙකු පිටුවහල් කිරීමද අයත්ය.අවසන නීතිපති දෙපාර්තුමේන්තුවේ ප්‍රධානියා ලෙස තරුණ එඩ්ගාර් පත් කරන අතර ඔහුට පෙර ප්‍රධානියාට අයත්ව තිබූ රාජකාරීවලට අමතරව තවත් රහස්‍ය කටයුතු බොහොමයක් පැවරේ.ඒ අතර රජයට හානි පැමිණවිය හැකි පුද්ගලයන් ගැන කරුණු සෙවීම ප්‍රධානය.මේ රහස්‍ය රාජකාරීමය තත්ත්වය පසු කාලීනව එෆ්.බී.අයි ලෙස පෘථුල වෙයි.මහා දැවැන්ත වෘක්ෂයක් සේ අතු පතර විදා වැඩෙයි.

ක්ලින්ට් ඊස්ට්වුඩ් ගේ විශිෂ්ට අධ්‍යක්ෂණයෙන් සහ බ්‍රයන් ග්‍රේසර්,රොබට් ලෝරන්ස් සහ ක්ලින්ට් ඊස්ට්වුඩ් ගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ ජේ.එඩ්ගාර් සිනමාපටයේ තිර රචනය ඩස්ටින් ලාන්ස් බ්ලැක් ගෙනි.2011 නොවැම්බර් 11 වැනිදා තිරගත වූ මේ සිනමාපටය සඳහා ඇස්තමේන්තු වියදම අමෙරිකානු ඩොලර් 35 000 000 කි.මුල් සතිය ඇතුළත පමණක් උපයා ගත් ආදායම අමෙරිකානු ඩොලර් 11,217,324 කි.එෆ්.බී.අයි ප්‍රථම අධ්‍යක්ෂවරයා වූ ජේ.එඩ්ගාර් හූවර් ගේ රාජකාරී ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් ගැන කියැවෙන මේ සිනමාපටය සත්‍ය කතාවක් වටා ගෙතුනකි.සමකාමියෙකු වන ඔහුගේ පෞද්ගලික ජීවිතයෙන් අංශු මාත්‍රයක් ඉතා සංයමයෙන් කියන සිනමාපටය ඔහුගේ ළමා කාලය සහ රහසක්ව පැවතුණ කථන ආබාධය ගැන කියමින්-නොකියමින් පළා යයි.විශේෂයෙන්ම එඩ්ගාර් ලෙස රඟන ඩි.කැප්‍රියෝ තම චරිතය වෙනුවෙන් ඉටු කරන වගකීම සුළුවෙන් තැකිය හැකි නොවේ.අති විශිෂ්ට වූ අංග රචනය සාමාන්‍ය ඩි.කැප්‍රියෝ නම් නළුවා සඟවා තබා වෙනත් කෙනෙකු ප්‍රේක්ෂකයාට ලබා දෙයි.මුහුණේ හැඟීම් මතු කිරීම කෙරෙහි ඔහු දක්වා ඇති බුහුටි බව ප්‍රසංසා ලැබිය යුතුමය.

එෆ්.බී.අයි හි ප්‍රධානියා ලෙස ඔහු තරුණ එඩ්ගාර් ඉටු කරන සේවය,කුඩා දරුවෙකු පැහැර ගැනීමේ සිද්ධියේ දී ඊට මැදිහත්ව මාධ්‍යයෙන් ලබා ගන්නා ප්‍රසිද්ධිය සහ ඔහු නොකළ දෙයට ලබා ගන්නා ගෞරවය ආදී බොහෝ දේ අතර ඔහුගේ දෙවැනියා ලෙස පත් කෙරෙන ක්ලයිඩ් ටෝල්සන් සහ එඩ්ගාර් අතර ඇති අසාමාන්‍ය ඇගෑලුම්කම චිත්‍රපටය පුරා නොයෙකුත් ඉඟි ලබා දෙමින් ගලා යයි.වාර්තා චිත්‍රපටයක ගුණාංග සේම බැරෑරුම් කතා තේමාවක් ඇති සිනමාපටයක හැඩරුව ප්‍රකට කරන 'ජේ.එඩ්ගාර්' හුදෙක් චරිත කතාවක් හෝ ජීවිත කතාවක් කියන්නක් නොවේ.1919 සිට අමෙරිකානු සමාජයේ හරස්කඩක් කපා පෙන්වමින් අපට සිතන්නට පොළඹවන්නකි.

බියුරෝව සතු අසීමිත බලතල අතර එහි ප්‍රධානියා වූ එඩ්ගාර් සතු බලතල අයතු ලෙස භාවිත කරමින් සැක පිණිස පමණක් අත් අඩංගුවට ගත් රැඩිකල් පුද්ගලයන් කිහිප දෙනෙකු අමෙරිකාවේ ආරක්ෂාව තකා පිටුවහල් කිරීමේ සිට තම දෙපාර්තමේන්තුවේ සිටි සම සේවා කාලයක් සහිත බොහෝ හිතවතුන්ව නොයෙකුත් හේතු මත ඔහු සේවයෙන් පහ කරයි.නැත්නම් කැපී පෙනෙන සේවා කටයුතුවලින් ඈත් කර දමයි.බැබළීම තනිවම තමාට අයිති දෙයක් ලෙස සලකයි.මේ අසීමිත බලය සමඟ පැමිණෙන අනාරාධිත පැකේජයකි.ආත්මාර්ථය එඩ්ගාර්ගේ චරිතය පසුපස කැත සෙවනැල්ලක්ව සැඟවී සිටියි.

නමුත් ඔහු ඒ සමඟම සමාජයට මහත් සේවාවක් ඉටු කරයි.පැහැර ගෙන මරා දමන කුඩා දරුවා විෂයෙහි සංවේදී වන ඔහු දරුවන් පැහැර ගැනීම අපරාධ ගණයේ ලා සැලකිය යුතු බවට පාර්ලිමේන්තුවට බල කරයි.අවසන එඩ්ගාර් ජය ගනියි.

ඉතාමත් වේගවත්ව කථා කිරීමේ හැකියාවක් ඇති එඩ්ගාර් 'ස්පීඩි' ලෙස ඔහු නැති අතර අන්වර්ථයෙන් හැදින්වේ.මේ මුඛරිකම ඔහුගේ සේවා ජීවිතයේ ආභරණයකි.මන බැද ගන්නා ලෙස කථා කිරීමට හැකි එඩ්ගාර් නොයෙකුත් පණත් සම්මත කර ගැනීමේ සිට ආණ්ඩුවෙන් ඉල්ලීම් දිනා ගැනීම තෙක් අති දක්ෂ ලෙස කටයුතු කරන්නෙකි.එහෙත් මේ මුඛරිකම හෙවත් වේගවත් කථා කිරීමේ හැකියාව ඔහු උපතින් ලැබූවක් නොවන බව සිනමාපටයේ එකම එක තැනක එඩ්ගාර් ගේ මව පවසයි.

සමාජ ශාලාවකදී ගැහැනියක තමා සමඟ නැටුමට එන ලෙස එඩ්ගාර්ට ඇරයුම් කරන අතර එඩ්ගාර් මහත් කලබලයට පත්ව එය ප්‍රතික්ශේප කරමින් එතැනින් පලා එයි.මව සමඟ ඒ සිදුවීම පාපොච්ඡාරණය කරන එඩ්ගාර් මහත් ආතතියකින් ගොත ගසමින් කතා කරන්නට පටන් ගනියි.

ඔහුව ප්‍රේක්ෂකයාට හෙළි වන්නේ එතැනිනි.එනම් ඔහු කථන ආබාධයකින් පෙළී වෛද්‍යවරයකු වෙතින් ප්‍රතිකාර ලැබ උත්සාහයෙන් වේගයෙන් කතා කරන බවයි.එනම් එඩ්ගාර් යනු මුලාවකි.භාහිරින් ඔහු පෙන්වන දේ තුළ ඔහු නොවෙයි.සාමකාමීබවද ඒ අතර ඔහුගේ නොසන්සුන්බව පෙන්වන අනෙක් කරුණයි.සිනමාපටය පුරා මහත් සංයමයෙන් එය පෙන්වන අතර අනවශ්‍ය දර්ශන හෝ බාධා කිරීම් ඒ තුළ නොවෙයි.

මව මිය යාමත් සමඟම එඩ්ගාර්ගේ ආරක්ෂක වළල්ල කඩා වැටෙයි.අමෙරිකාවේ වීරයා මහත් අසරණව හඬා වැටෙයි.මවගේ මාලයක් ලා ගනිමින් ඇගේ ගවුමක් ඇද ගනිමින් ඔහු අඩුව පුරවා ගැනීමට උත්සාහ කරයි.

එඩ්ගාර්ගේ දුර්වල පක්ෂය හෙළි කරන මේ අවස්ථා කිහිපය මෙන්ම අති බහුතර අවස්ථා අතර ඇති ඔහුගේ ශක්තිමත්භාවය මත ප්‍රේක්ෂකයා සිනමාපටය කෙරෙහි බැදෙයි.

ජෝන් එෆ්.කෙනෙඩි ඝාතනයත් සමඟ එඩ්ගාර් ඇතුළු බියුරෝවේ බලය පිරිහී යන අන්දමත්,අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා දෛනිකවම වෛද්‍යවරයකු හමු වන එඩ්ගාර් ගේ රෝගී ජීවිතයත්,ක්ලයිඩ් ටෝල්සන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයත් සිනමාපටයේ අවසානය කරා අපව රැගෙන යයි.

එඩ්ගාර් නිසාම අවිවාහකව කල් ගෙවූ හෙලන් එඩ්ගාර්ගේ අවසාන ඉල්ලීම ඉටු කිරීමට බැදී සිටියි.එනම් එඩ්ගාර්ගේ මරණයෙන් පසුව ඔහු සතුව පැවති සියලු රහස්‍ය ලිපි ගොණු විනාස කර දමන බවයි.කෙනඩිගේ මරණයෙන් පසුව ඊළඟට බලයට පත් වන රොබට් කෙනඩි විසින් තමා හැදූ වැඩූ බියුරෝව විනාශ කර දමන බවට එඩ්ගාර් තුළ පැවැතියේ අසීමිත බියකි.