වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




"රතු රෝසමලක් " කලක සිට හිතේ තිබුණු හීනයක්

"රතු රෝසමලක් " කලක සිට හිතේ තිබුණු හීනයක්
 

චමිල පාදුක්කගේ

හොරණ, ගෝනපොළ ප්‍රදේශයේ ඉපදුණු චමිල පාදුක්කගේ ගේ කාලයක පටන් හිතේ තිබුණ හීනයක් සැබෑ වෙලා. ඒ නවක ගායකයෙක් ලෙස දොරට වඩින්නට සූදානම් වන ඔහු ගයන ‘රතු රෝස මලක්’ ගීතය මේ දවස්වල බොහෝ යෞවන - යෞවනියන් අතර ජනප්‍රියයි.

‘මා ගයන ‘රතු රෝස මලක්’ ගීතය මේ දවස්වල ටී එන් එල්, ඉසිර එෆ්. එම්., රිදම් එෆ්. එම්, වයි එෆ්. එම් වගේම අන්තර් ජාලයේ රෝඩියෝ නයිට් ඔස්සේත්, යූ ටියුබ් ඔස්සේත් ඔබට අසන්නට හැකියි. ඒ ගුවන් විදුලි සේවාවන් ඔස්සේ ගීතය ඇහුව බොහෝ දෙනෙක් මට කතා කරලා සුබ පැතුවා. ඒ සුබ පැතීම ආධුනික මට ගොඩක් වටිනවා. පුංචි කාලයේ පටන් මගේ තිබුණු ගීත ගැයීමේ හැකියාව මල්පල ගැන්වෙන මූලික අවස්ථාව මෙයයි. ළඟදී එළි දැක්වීමට අදහස් කරගෙන සිටින මගේ ගීත ඇතුළත් සංයුක්ත තැටියේ ගීත අතරටයි මේ ‘රතු රෝස මලක්’ ගීතය අයත්වන්නේ.

සංයුක්ත තැටිය එළි දැක්වීමට ප්‍රථම එම ගීතය අසන්නන් අතරට යා යුතු යැයි සිතුණ නිසා මේ ගීතය ප්‍රචාරය කරන්න මා අදහස් කළා. මේ ගීතය මා ගයන්නේ මීට වසර කිහිපයකට කලින්. ඒත් නව සංගීත සංයෝජනයත් සමඟ මේ ගීතය වඩාත් කරළියට එන්නේ වර්තමානයේ. මේ ගීතය ලිව්වේ ජයන්ත ඒකනායක. සංගීතය ලක්ෂ්මන් හිල්මිගේ. ගීතය නව පරපුර අතර ජනප්‍රිය වන්නට ඔවුන්ගේ සංයෝගයත් හේතු වුණා.

මේ වන විට සංයුක්ත තැටියෙහි එන ‘ඇතුගල මුදුනේ හා සඳවතියේ’ කියන ගීතවල පටිගත කිරීමේ කටයුතු සඳහා සියල්ල සුදානම්. සංයුක්ත තැටියට ආරාධනා ඒකනායක, විජය පී. බණ්ඩාර කියන ගී පද රචකයින් ගීත ලියනවා. ලක්ෂ්මන් හිල්මි, රුවන් පාදුක්ක වගේම නවරත්න ගමගේ සංගීතවත් කළ ගීතයක් මෙහි ඇතුළත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා.’

චමිල පාදුක්ක අකුරු කරන්නේ හොරණ තක්ෂිලා කණිෂ්ඨ විද්‍යාලය, හොරණ විද්‍යාරත්න මධ්‍ය මහා විද්‍යාලය, හොරණ දොම් ප්‍රේද්‍රික් මහා විද්‍යාලය කියන පාසල්වලින්. පාසල් කාලයේදී සංගීතය කියන විෂය නොහැදෑරුවත් ඔහු සංගීතයට තිබෙන ආශාව නිසාම මහරගම සනාථන මන්දිරයට එන්නේ සංගීිතය හදාරන්නයි. එතැනදි චමිලට සංගීතයේ මුල් අකුරු උගන්වන්නේ විජය වී. බණ්ඩාර කියන සංගීත ගුරුතුමා. ඊට පස්සේ ඔහු මහරගම තරුණ සේවා සභාවට බැඳෙන්නේ වැඩිදුරට සංගීතය හැදෑරීමේ බලාපොරොත්තුවෙන්.

මෙම ආයතනවලින් ලැබෙන සංගීතය පිළිබඳ දැනුමත් අරගෙන ඔහු කුඩා කළ පටන් සිතේ තිබුණු හීනය සැබෑ කරගන්න උත්සාහ ගන්නවා. ‘ඒ හීනය මේ වෙනකොට තරමක් දුරට හැබෑ වෙලා. ඒකට මට සතුටුයි’ මගේ ගිතයට ආදරය කරන රසිකයන්ට මම යමක් කියන්න ඕනෑ. මගේ සංයුක්ත තැටියට තවත් ගීත කිහිපයක අඩුවක් තිබෙනවා. ඔබත් ගීත ලියන්න හැකියාවක් ඇති අයෙක් නම් ඒ ගීතය මට එවන්න. ඒ වගේම මා ෆේස් බුක් එකේ සිටින නිසා ඕනෑම චෝදනාවක්, යෝජනාවක් චමිල පාදුක්ක කියන ෆේස් බුක් එකේ මගේ ගොනුවට එවන්නට ඔබට හැකියි. විශේෂයෙන්ම ජයන්ත ඒකනායක, ලක්ෂ්මන් හිල්මි, වී. ජේ. වී. බණ්ඩාර, නවරත්න ගමගේ කියන ශිල්පීන් මගේ ගමනට දුන් සහායට බොහොම ස්තුතියි. නම කියූ නොකියූ සියලු දෙනාටත් ස්තුති කරන්නට මෙය අවස්ථාවක් කර ගන්නවා.

චමිල පාදුක්ක ට ගීත ලියන්න කැමැති ඔබට චමිල පාදුක්ක, නො. 42/1/බී, කුඹුක – නැගෙනහිර, ගෝනපොළ හන්දිය යන ලිපිනයට එවිය හැකියි. නැතිනම් 0777418276 යන දුරකථන අංකයට ඔහු අමත්න.