‘ඉගිලෙන මාළුවෝ’ ආසියානු සිනමා උළෙලේ යෝජිත චිත්‍රපට අතරට . .

සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය හොංකොං හි පැවැත්වෙන හයවැනි ආසියානු සිනමා සම්මාන උළෙලේ තරගකාරී අංශයේ හොඳම සිනමා කැමරාකරණය සඳහා යෝජිත චිත්‍රපට පහ අතරට තේරී පත්ව තිබේ.

වේරිය ඔෆ් ද රේන් බෝ (තායිවානය), ද ෆ‍්‍රන්ට් ලයින් (දකුණු කොරියාව), වූ ක්සිආ (හොංකොං), ද මිරර් නෙවර් ලයිස් (ඉන්දුනීසියාව) යෝජිත ඉතිරි චිත්‍රපට අතර වේ.

ඉගිලෙන මාළුවෝ හි සිනමා ඡායාරූප ශිල්පී විශ්වජිත් කරුණාරත්න මෙම උළෙලට සහභාගී වීමට තව නොබෝ දිනකින් පිටත්ව යෑමට නියමිතය.

ඉගිලෙන මාළුවෝ විශ්වජිත් කැමරා අධ්‍යක්ෂණය කළ පළමු සිනමාපටය වන අතර ඔහු මීට ප්‍රථම වාර්තා චිත්‍රපට රැසක කැමරාව මෙහෙය වූ අයකි.

ඔහු කැමරා අධ්‍යක්ෂණය කළ හුස්ම සහ ඔක්සිජන් ටෙලි නාට්‍යය ළඟදීම විකාශයවීමට නියමිතය.


ජනාධිපතිතුමාගෙන් ජූඩ්ට අවසන් ගෞරවය

රටක් හිනැස්සූ ඔහු රටක් හඬවා අවසන් ගමන් ගියේය. ඇන්ටන් ජූඩ් නම් ඒ රසවතාට අවසන් ගෞරවය දැක්වීමට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණි මොහොතයි මේ.


නියාස්ගේ මුහුරත් උළෙල අද

මොහාන් නියාස්ගේ අලුත්ම චිත්‍රපටය ‘මායාවි’ හි මුහුරත් උළෙල අද නිදහස් චතුරස්‍රයේ ඔලිම්පික් නිවහනේදී පැවැත්වෙයි. යශෝමා, අනුරාගයේ අනන්තය, බ්ලෙන්ඩින්ග්, එක් මලක පෙති මොහාන් මීට ප්‍රථම නිර්මාණය කොට ඇති චිත්‍රපට අතර වේ.


ජැක්සන් මනමේ අරඹයි

අබා චිත්‍රපටය නිර්මාණය කරමින් සිංහල සිනමා වංශ කතාවේ අලුත් ආරක් ගොඩ නැඟූ ජැක්සන් ඇන්තනී සිය දෙවැනි චිත්‍රපටයේ වැඩ කටයුතු පසුගියදා චාම් උත්සවයකින් ආරම්භ කෙරිණ. මෙවර ඔහු තම සිනමා කෘතියට පාදක කොටගෙන ඇත්තේ මනමේ පුරාවෘත්තයයි.

ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය සමග ජැක්සන් ගිවිසුම් අත්සන් කළ මොහොත. නිෂ්පාදක සදේශ් කුමාර් ද පසෙකින් වෙයි.

එය ජාතක කතා සංග්‍රහයේ චුල්ල ධනුද්ධර ජාතකය ඇසුරෙන් නිර්මාණය වූවක් වන අතර මහාචාර්ය සරච්චන්ද්‍ර මනමෙ නාට්‍ය තැනුවේද මේ ආශ්‍රයෙනි.

චුල්ල ධනුද්ධර ජාතක කතාවෙහි මනමේ කෝලමේ එන මනමේ කුමරිය ඉතාම නුගුණ ගති ඇත්තියක් වන අතර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකයෙන් ඇයගේ ගතිගුණ වෙනස් කළේය. ජැක්සන් සෞන්දර්යාත්මකව සිනමා කෘතියක් ලෙස පරිවර්ථනය කරනුයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් සුබවාදී ස්ත්‍රී දර්ශනය හරහා දුටු චුල්ල ධනුද්ධර පුවතයි.

මුහුරත් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වූ ලලිතා සරච්චන්ද්‍ර මැතිනිය කියා සිටියේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ දරුවකුට භාර දෙන්නා වූ සේම මේ කටයුත්තට ගෞරවාන්විත බලාපොරොත්තුවෙන් යුතුව ජැක්සන්ට ආශිර්වාද කරන බවයි.

මනමේ සිනමා කෘතිය රියල් ඉමේජ් ප්‍රයිවට් ලිමිටඩ් වෙනුවෙන් ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර් නිෂ්පාදනය කරයි. ඔවුන්ගේ පළමු නිෂ්පාදනය වූ සුපර් සික්ස් කුස පබාගෙන් පසුව තිරගත වනු ඇත.

හෙලංකා ආයතනනයේ පැවැත් වූ මෙම චාම් උත්සවය උඩුවේ ධම්මාලෝක හිමිපාණන් ඇතුළු හිමිවරුන්ගේ පිරිත් සජ්ජායනය මැද ඇරැඹි අතර, චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක, නිෂ්පාදිකා රේණුකා බාලසූරිය, සහය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත, නිෂ්පාදන කළමනාකරු අශෝක ආරියරත්න, ස්වර්ණ සංඛ පදනමේ සභාපති සුනිල් ෆොන්සේකා, ජයන්ත ජයලත් ඇතුළු කිහිප දෙනෙකු සහභාගි වූහ.මනමේ සිනමා කෘතියෙහි නළු නිළියන් මේ වන විට තෝරමින් සිටින අතර මේ වසරේ අග වන විට එහි රූගත කිරීම් නිම කරනු ඇත.


සඳට අහස ආදරෙයි ජාතික රූපවාහිනියෙන්

හන්තාන කඳු අතරින් තුන්කොන් ආදර අන්දරයක් දිග හැරෙයි. ඒ ‘සඳට අහස ආදරෙයි’, ‘චක්‍රායුද’, ‘මහතලා හටන’, ‘පෑල දොරින්’, ‘මේ සොඳුරු පියාපත්’ යන ටෙලි නාට්‍යයන් අධ්‍යක්ෂණය කළ අනුර මාධව ජයසේකර අධ්‍යක්ෂණය කළ ‘සඳට අහස ආදරෙයි’ ටෙලි නිර්මාණය 01 වැනිදා සිට ජාතික රූපවාහිනිය ඔස්සේ ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 9.00 ට විකාශය වෙන්න නියමිතයි.

මානෙල් වානගුරු, ඥානාංග ගුණවර්ධන, මාධනී මල්වත්තගේ, අමිත්ත වීරසිංහ, ධනංජය සිරිවර්ධන, ගයාත්‍රී රාජපක්ෂ, ශෂිරංග වික්‍රමසේකර, නිලන්ති විජේසිංහ, රහල් බුලත්සිංහල, ගාමිණී ජයලත්, කුසුම් මල්දෙණිය, අනුර බණ්ඩාර රාජගුරු, රෝහිත මානගේ, දිල්හාරා රාජපක්ෂ, චමින්ද වික්‍රමසිංහ, විනෝජා නිලන්ති, ඇන්ටන් පෙරේරා හා උපුල් ගුණවර්ධන රංගනයෙන් හැඩවන ‘සඳට අහස ආදරෙයි’ ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ තිර රචනයක් සහ උපුල් ප්‍රියාන්ගේ කැමරාකරණයක්. නිව්ටන් ගුණසේකර සමඟ ප්‍රගීත් ද සිල්වා සහය අධ්‍යක්ෂණයෙන්, හෙන්රි ප්‍රේමරත්න සමඟ ප්‍රියන්ත රත්නනයාක වේශ නිරූපණයෙන්, සුමිත් ශිරාන් ප්‍රනාන්දු කලා අධ්‍යක්ෂණයෙන්, ෆර්හාන් ෂාන් සංගීතයෙන් සහ චන්දන ලියනාරච්චි සමඟ උරේෂා රවිහාරි ගීත ගායනයෙන් දායක වෙනවා.

‘සඳට අහස ආදරෙයි’ නිෂ්පාදනය කරන්නේ ආචාර්ය ජගත් විජේනායක. නිෂ්පාදන කළමනාකරණයෙන් සහය වෙන්නේ චන්න සෙනෙවිරත්න සමඟ ප්‍රියන්ත කුරුප්පුආරච්චිය.


‘සෙනෙහස’ නිමා වේ

සසංක මැක්ෂිමස්ගේ ‘සෙනෙහස’ කෙටි චිත්‍රපටයේ රූගත කිරීම් පසුගියදා නිම විය.

ශාන්ත කරුණානන්ද, ලසන්ත ප්‍රිමාල්, චමින්ද කුමාරි, චමෝද් එෂාන්, චමෝදි නිලුක්ෂිකා යන අය රඟන මෙහි තිර රචනය ගයාන් මහගලගේගෙනි. කැමරාකරණය උදය හපුතන්ත්‍රි ද, සංගීතය නුවන් ප්‍රසාද් ද, සංස්කරණය ලලිත් වනිගනෙත්ති ද නිම කොට ඇත.

මැක්ෂි ප්‍රඩක්ෂන් වෙනුවෙන් සසංක මෙය නිෂ්පාදනය කර තිබේ.


මර්සි ගෙ මව කලුරිය කරයි

මර්සි එදිරිසිංහගේ ආදරණීය මෑණියන් වූ ග්‍රේස් එදිරිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට 89 වැනි වියෙහි පසු වූ ඇය නව දරු මවකි. ඇගේ අවසන් කටයුතු වරකාපොළ අඹේපුස්ස නුවර පාරේ මාහේන සුසාන භූමියේදී සිදු කෙරිණි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු