ඇත්තටම ජූඩ් එහෙම කිව්වෙ ඇයි

වීර්යා අධ්‍යක්ෂ සුනිල් අරුණ වීරසිරි

£හලෝ . . . මේ සුනිල් අරුණ වීරසිරි මහත්තයාද?

ඔව් . . .

වීර්යා චිත්‍රපටයේ අධ්‍යක්ෂතුමා,

කතා කරනවා. මේ වෙලාවෙ මහත්තයා කොහෙද ඉන්නේ

මම මේ නුවර පේරාදෙණියේ.

මොකද වීර්යා චිත්‍රපටය අතරමඟ නතර කරනවාද? ඉදිරියටත් කරගෙන යනවාද?

මම මේ ඇවිත් ඉන්නෙත් එහි නැවත රූපගත කිරීම්වලට තමයි.

ඔබේ චිත්‍රපටයේ රඟපෑ ඇන්ටන් ජූඩ් කලා ශිල්පියාගේ හදිසි අභාවය නිසා චිත්‍රපටයේ ඉතිරි වැඩ කටයුතු කොහොමද?

ඇන්ටන් ජූඩ්ගේ අවමඟුල් කටයුතු ඉවර වෙනකම් මම ෂූටින් නැවැත් වූවා. ඒ කටයුතුවලින් පස්සේ අද තමයි නැවත ෂූටින් පටන් ගත්තේ.

කොහොමද ඇන්ටන් කළ චරිතය ඉස්සරහට අරගෙන යන්නේ?

ඇන්ටන් ජූඩ්ගේ චරිතයේ බොහෝ කොටස් ප්‍රමාණයක් රූපගත කිරීම් කරලා තිබුණේ. තව කීපයක් විතරයි කරන්න තියෙන්නේ. ඒ සඳහා විකල්ප ක්‍රමයක් ගැන හිතන්න ඕනේ. ප්‍රශ්නය තියෙන්නේ ජූඩ්ට දෙබස් කරන්නේ කොහොමද කියන එකයි.

ඉතින් සුනිල්, ඇන්ටන් ජූඩ් අප අතරින් සදහටම සමුගෙන යන මොහොතේ ඔබත් ඒ අසලම හිටියා නේද?

වීර්යා චිත්‍රපටය මගේ දෙවන චිත්‍රපට අධ්‍යක්ෂණය. මාර්තු මස පහළොස් වෙනිදා තමයි මාවරමණ්ඩියේ මගේ ගෙදරම ෂූටින් පටන් ගත්තේ. ලංකාවේ ප්‍රවීණ නළු නිළි කැලක් මේ චිත්‍රපටයට දායක වෙනවා. ඒ අතර ඇන්ටන් ජූඩ් එක් කෙනෙක්.

ඇන්ටන් ජූඩ් මගේ ගෙදර රූපගත කිරිම්වලට පැමිණියේ ඉකුත් පහළොස් වෙනිදා. ඔය සිද්ධිය වෙන දවස දක්වා මගේ ගෙදර රූපගත කිරීම් සිදු වුණා. මගේ ගෙදර තමයි බොහෝ නළු නිළි පිරිසක් නැවතී හිටියෙත්.

ඇන්ටන් කළේ ගනේෂ් කියන දෙමළ අයකුගේ චරිතයක්. සිද්ධිය වුණු දවසේ චිත්‍රපටයේ එන විවාහ මංගල උත්සවයක රූපගත කිරීම් කළා. එදා උදේ ඉඳල ජූඩ් මගේ චිත්‍රපටයේ රඟපෑවා. එදින රාත්‍රී හතයි තිහට විතර අපි රූපගත කිරීම් සියල්ල අවසන් කර පසුදා නුවර රූපගත කිරීම් සඳහා පිටත්ව යාමට අවශ්‍ය සූදානම් වීම් කළා.

ඒ අතරේ සමහරුන් කෑම කෑවා. තවත් අය සිංදු කියමින් විනෝද වුණා. සමහරු මහන්සිය නිවා ගත්තා. නාන්න ගියා. ඔය අතරේ මමත් මගේ පෞද්ගලික වැඩකට ඒ අසලම තියෙන මගේ අනිත් ගෙදරට ආවා. රාත්‍රියේම නුවර බලා යන බසයත් ආවා. සමහරු එයට ගොඩ වී ගමනට පිටත්වීමට සැරසී සිටියා.

ඇන්ටන්ට අමාරුයි කියලා දැනගන්න ටික වෙලාවකට කලිනුත් මම දැක්කා ජූඩ් අනිත් අයත් එක්ක නටමින් සිංදු කියනවා. බොහොම විනෝදෙන් තමයි හිටියේ. ඔය අතරේ ජූඩ් දවසේම මහන්සි වූ නිසාම අසල පුටුවකට බර වී නින්දට වැටී තියනවා. ඔහු අසලම සිටි කීප දෙනෙක්ම කෑම ගන්නා අතරේ ජූඩ් ගොර ඇද ඇද හොඳට නිදි. සාමාන්‍යයෙන් ජූඩ් නින්දට වැටුනාම ගොර ඇද ඇද තමයි නිදි යන්නේ. ඔය ශබ්දයට අනිත් මිතුරොත් ජූඩ් ගොර ඇද ඇද නිදි, අපි තවම ඇහැරිලා කියමින් කෑම ගෙන අවසන් වුණාට පස්සේ කවුරුත් නුවර බලා යන්න පිටත් වෙන්න සැරසිලා ජූඩ්ට කතා කරල.

ඒත් ජූඩ්ගෙන් ඒ සඳහා ප්‍රතිචාර නැති තැන මිත්‍රයෝ ටික ජූඩ්ව අවධි කරන්න මූණට වතුර බිඳීති ටිකක් ඉහලත් තියනවා. ඒත් ජූඩ් අවධි වෙලා නෑ. ඔය අතරේ අපේ කලා ශිල්පී රොඩ්නි වර්ණකුල මට ඇමතුමක් දුන්නා ජූඩ් කතා කළාට නැගිටින්නේ නෑ. ඔහුට මුත්‍රා ටිකකුත් පහ වෙලා තියනවා. ඉක්මනින් හොස්පිටල් එකකට එක්ක යමු කියලා.

මමත් හනිකට දුවගෙන ඇවිත් මගේම වාහනයෙන් ජූඩ්ව කඩවත ළඟම තිබුණ නර්සින් හෝම් එකට රැගෙන ආවා. එතනින් කිව්වා හැකි ඉක්මනින් රෝහලට ගෙනි යන්න කියලා. මම හැකි ඉක්මනින් රාගම රෝහලට රැගෙන ආවා. මට මතක හැටියට ඒ වෙලාවේ රාත්‍රී 11.30 ට විතර ඇති.

රෝහලේ කාර්ය මණ්ඩලය. වෛද්‍යවරු ජූඩ් වෙනුවෙන් පැය දෙකකට වඩා විශාල මහන්සියක් දැරුවා ජූඩ්ව බේරා ගන්න.

අපේ ඇස් ඉදිරිපිට වෛද්‍යවරු මොන තරම් සටනක් කළා ද මේ අපේ ඇන්ටන්ව බේරල දෙන්න. ඒත් දෛවය ඒකට ඉඩ දුන්නේ නෑ. අපිට දුක ඉතිරි කරල මාරයා ජය ගත්තා. ජූඩ් අපිට නැති වුණා. වෛද්‍යවරු කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. ඒත් ජූඩ්ව ගොඩ ගන්න බැරි වුණා. වෛද්‍යවරු ජූඩ් මිය ගිහින් කියලා අපිට කියන කොට ඒක අපිට දරා ගන්න බැරි වුණා. අපි ඔක්කොම මහ හයියෙන් ඇඬුවා. ඇන්ටන් ජූඩ්ගේ කළ්‍යාණ මිත්‍රයෙක් වූ රොඩ්නි වර්ණකුල මහ හයියෙන් කෑගහල ඇඬුවා විතරක් නෙමේ, දොස්තරලාගේ කකුල් දෙක අල්ලලා බිම දණ ගහලා අඬ අඬා කිව්වා අනේ බුදු දොස්තර මහත්තයෝ තව ට්‍රයි කරන්න, මගේ ජූඩ් මට පණ පිටින් බේරල දෙන්න කියලා.

 

‘වීර්යා’ චිත්‍රපටයේ තම රංගන ජීවිතයේ අවසන් රංගනය ඉදිරිපත් කළ ජූඩ් නිශ්චල ඡායාරූප ශිල්පී මහේෂ් නිශාන්තගේ කැමරා කාචයේ
සටහන් වූයේ මෙසේය.

අපි කොච්චර ඇඬුවත් නැවත ජූඩ්ට පණ දෙන්න අපි කාටවත් බැරි වුණා. හෘදයාබාධයක් නිසා ජූඩ්ව නැති වෙලා කියලයි අපිට වෛද්‍යවරු කිව්වේ. ඇන්ටන් ජූඩ් කියන්නේ නිකම් කලාකාරයෙක් නෙමෙයි. හිත හොඳ කලාකාරයෙක්. තමන්ගේ දක්ෂකමින් ප්‍රේක්ෂක ආකර්ශණය දිනාගත් නළුවෙක්. ජූඩ්ට ඒ වෙලාවෙ අපේ පණ හරි දෙන්න පුළුවන්කම තිබුණා නම් එහෙම දීලා හරි මම ජූඩ්ව බේරා ගන්නවා.

ජූඩ් කියන්නේ රටක් වටින කලාකාරයෙක්. මිනිසුන්ට අසීමිතව ජූඩ් ආදරය කළා. පුංචි ළමයෙකුගේ ඉඳලා වැඩිහිටියා දක්වාම කවුරුත් එකසේ ජූඩ්ට ආදරය කළා. වැඩ මිසක් සල්ලි නෙමේ ජූඩ් හෙව්වේ.

සල්ලි ඉස්සරහට දාලා වැඩ කරන සමාජයක ජූඩ් කවදාවත් සල්ලි බලාගෙන වැඩ කළ පුද්ගලයෙක් නෙමේ. ෂූටිං කරන කොට වුණත් ලැබෙන විවේකයේදී අනිත් අයත් එක්ක සිංදු කිව්වා. මගේ ගෙදර පියානෝව ළඟට දුවන ජූඩ් හරි අපූරුවට පියාමෝව වාදනය කරමින් සිංදු කියනවා.

මට දැනුත් ඒ සිද්ධි මැවිල පේනවා. ඊළඟ දර්ශනයට සූදානම් වෙනකම් ජූඩ් අනිත් නළු නිළියන්, කාර්මික ශිල්පීන් වට කරගෙන අපේ මහන්සියත් යන්න එක්ක පියානෝව වාදනය කරමින් සඳේ ඇබින්දක් හිනා වෙයන් . . . උණු පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් . . . වගේ නාට්‍ය ගීත කිව්වේ අපිවත් සිනා සාගරයක ගිල්වමින්.

ඒ තරම් සහෝදරකමකින් විනෝදයකින් තමයි ඔය කාලය පුරාවටම අපිත් එක්ක ජූඩ් වැඩ කලේ. ජූඩ් වගේ රටක් වටින නළුවෙක්, හිත හොඳ පුද්ගලයෙක් නැති වුණ එක මට විතරක් නොවේ, මුළු රටටම මහත් පාඩුවක්.

එදා දහනම වෙනිදා රාත්‍රියේ ජූඩ් අපිව දාලා නොයන ගමන් නොයන්න අද මේ දර්ශන තලයෙන් මොන තරම් සුන්දර කෙරුම් කියුම්වලින් සුන්දර වෙයි ද කියලා මට දැනෙන වාර අනන්තයි. ඒත් ඒ සුන්දර මිනිසාගේ සුන්දර කෙරුම් කියුම් සිහිපත් කරමින් අපේ හිතේ වේදනාව යටපත් කරගෙන ලෝක ධර්මතාවය අවබෝධ කරගෙන වීර්යා නිර්මාණයේ අපි නියෙලෙන්නෙමු. ඒත් ජූඩ් මිය යාමට මොහොතකට කලින් මගේ චිත්‍රපටයේ නළු නිළි කැල වට කරගෙන කියූ ගීතයක පද වැලක් මගේ දෙසවනේ තවමත් දෝංකාර දෙයි.

මෙතනට කොහෙන්ද ආවේ

මෙතනින් කොහේද යන්නේ

හරියට කවදද යන්නේ

ඉන්නේ කී දොහොක නොදැන

නැටුම් නටන්නේ

ඇත්තටම ජූඩ් එදා එහෙම අන්තිමට කිව්වේ නොඑන ගමන් දැනගෙන ද කියලත් මට දැන් හිතෙනවා. රටක් වටිනා ජූඩ් ඇන්ටන් ජූඩ්ම වී අප අතරට පැමිණෙත්වා!

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු