පුංචි ශ්‍රීදේවි සහ රන් සමනළයා

සිනමා සයුරින් දිය දෝතක්

සමහර නළු නිළියන් මුලින්ම හමු වූ දිනය පිළිබඳ මට නිශ්චිත දින වකවානු මතකයේ රැඳී නැතත්, රන්ජන් රාමනායක හා දිල්හානි අශෝකමාලා මීට දශක දෙකකට පමණ පෙරාතුව මුලින්ම හමු වූ අවස්ථාව පිළිබඳ ‘අද හමු වූවා’ තරම් මතකයක් ඇත.

කෙසඟ සිරුරකින් යුතු හීන්දෑරී , බොකොටු කොණ්ඩයක් සහිත තරුණ ගොලු ගැටයකු ‘සරසවිය’ මාධ්‍යවේදියකු වූ සුනිල් හොරේෂස් සමඟ එවකට අප පදිංචිව සිටි මාළිගාවත්ත නිවාස සංකීර්ණයේ පිහිටි අප නිවසට ගොඩ වැදුණේය. කෝල ගතියෙන් යුතු කොලු ගැටයා මා මිත්‍ර සුනිල් හොරේෂස් විසින් හඳුන්වා දෙන ලදී.

. . . වඩූ! මේ මීගමුව පැත්තේ සෝමරත්න රාමනායක කියන අලුත් ඩිරෙක්ටර් කෙනකුගේ චිත්‍රපටයක මේන්රෝල් එක කරන නළුවා. තව ‘භාග්‍යයා’ කියලා ටෙලි නාට්‍යයකුත් එන්න තියෙනවා. හරි හොඳ හිතවත් කොල්ලෙක්. සපෝට් කරන්න.’

‘නම මොකක්ද ඔයාගේ?’ මම එම තරුණයාගෙන් ඇසුවෙමි.

සද්ද විද්ද රාජපක්ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අපොන්සු.

මට හීන්දාඩිය දැම්මේය. මෙය නමක් ද නැතහොත් මහා පතරංග ජාතකයදැයි මට සිතිණි.

‘එතකොට ඔයා භාවිත කරන නම?’

‘වඩු අයියේ! අල්පොන්සු වාසගම අපට තියන්නේ. එත් මං රාමනායක කියලා වෙනස් කළා. දැන් නම රන්ජන් රාමනායක. මගේ මුල්ම චිත්‍රපටයේ අධ්‍යක්ෂක සෝමරත්න රාමනායකට ගරු කිරීමක් ලෙස රාමනායක වාසගම ගත්තා.

සද්ද විද්ද රාජපක්ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අපොන්සු . . . රන්ජන් රාමනායක ලෙස ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළුවා බවට අද කිරුළ පැළඳ සිටියි.

ජනතා ප්‍රසාදය දිනූ ස්ලිම් ජාතික සම්මාන උළෙලේ පිට පිටම ජනප්‍රියම නළුවා ලෙස කිරුළු පළන් රන්ජන් රාමනායක වසරේ ජනප්‍රියම නළුවා ලෙස සරසවිය සම්මානයෙන් පිදුම් ලත් අනිවාර්යයෙන්ම වත්මන් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළුවා වන්නේය.

දිල්හානි ඒකනායක නම් වු හුරුබුහුටි සීදේවි රූමත් යුවතිය එම අවදියේම දිනක ජනප්‍රිය නළු ලාල් වීරසිංහ සමඟ අප නිවසට පැමිණියේය. ලාල් ඒ වන විට ද අප පවුලේ සමීපතම හිතවතකු විය.

‘මචං වඩු . . .! මේ සැරේ මගේ ‘දේදුන්නෙන් සමණලියක්’ චිත්‍රපටයෙන් අලුත්ම නිළියක් ඉදිරිපත් කරනවා. ලස්සනයි. අනේ මචං! ෆුල් සපෝට් එක දීපන්.’

එයට කලින් මා මිත්‍ර ජනකාන්ත චිත්‍රපට අධ්‍යක්ෂ යසපාලිත නානායක්කාර මට පවසා තිබුණි. එබැවින් ලාල් වීරසිංහ සමඟ පැමිණි මෙම හුරු බුහිටි කෙල්ල ගැන මගේ අවධානය විශේෂයෙන් යොමු විය.

රන්ජන් සමඟ පැමිණි සුනිල් හොරේෂස් ඔහුව හඳුන්වා දී අනතුරුව මෙසේ පැවැසීය.

‘වඩු! මේ රන්ජන්ට මාර විදියට ඩාන්ස් කරන්න පුළුවන්’

එමෙන්ම දිල්හානි සමඟ පැමිණි ලාල් වීරසිංහ මෙසේ පැවැසීය.

‘වඩු . . .! මේ දිල්ට හරි ලස්සනට ඩාන්ස් කරන්න පුළුවන්. අර ‘තේසාබ්’ එකේ මුධුරි ඩික්සිත්ගේ ඩාන්ස් එක ඒ වගේම නටනවා’

‘ඒක් දෝත් තීන්’

මම එම ගීය අපේ ගෙදර කැසට් යන්ත්‍රයෙන් කි‍්‍රයාත්මක කළෙමි. කිසිදු සබකෝල ගතියක් හෝ පැකිලීමක් නොමැතිව එවකට හින්දි තිරයේ සුපිරි නිළි රැජිණ වූ මධුරි ඩික්සිත් ඉදිරිපත් කළ අති අයස්කාන්ත වූ නර්තනය අපේ කෝඩුකාර දිල්හානි අඩුවක් නැතුව අති සුන්දරව ඉදිරිපත් කළාය.

‘ෂා . . . මරේ මරු . . . ඔයා වැඩිකල් නොගොස් අපේ ජනප්‍රියම නිළියක් වේවි.’

මම දිල්හානිට සුබ පැතුවෙමි.

. . . වඩු, මේ රන්ජන්ට මාර විදියට ඩාන්ස් කරන්න පුළුවන්’

එදා රන්ජන් ද නැටුම් කීපයක් ඉදිරිපත් කළේය. එකක් මයිකල් ජැක්සන්ගේ නර්තනයකි. අනික ‘ඩිස්කෝ ඩාන්සර්’ චිත්‍රපටයේ මිතුන් චක්‍රබෝර්ති ඉදිරිපත් කළ මනස්කාන්ත නර්තනයකි. අතිශයෝක්තියක් නොවේ. නර්තනයකි. අති මනස්කාන්ත ලෙස නර්තනයේ යෙදුණි.

‘හරිම ලස්සනයි . . . වැඩිකල් නොගොස් ඔයා ලංකාවේ ජනප්‍රියම නළුවෙක් වෙයි’

මම දිල්හානිට, වෙනමම දිනක කළ සුබ පැතුමට හා සමානව අවංකවම රන්ජන්ට සුබ පැතුවෙමි.

දශක කීපයක ඇවෑමෙන් අද ඔවුන් දෙදෙනාම ජනප්‍රියත්වයෙනුත් එහාට ගොස් සම්මානනීයත්වයට පත්ව ඇත. රන්ජන් රාමනායක සහ දිල්හානි අශෝකමාලා යනු අද ජනප්‍රිය මෙන්ම හොඳම නළුවා හා නිළිය ලෙස සරසවිය සම්මානයට පාත්‍ර වූ කීර්තිධර නළු නිළි යුවළකි.

දෙදිනක අප නිවසට පැමිණි මෙම දෙදෙනාම මුල්ම දා වුව ද අපගෙන් සමු ගත්තේ කාලාන්තරයක සිට පැවත එන මෙන් වූ දැඩි සමීප මිත්‍රත්වයකින් වෙලීය. මම දිල්හානිගේ එවකට ඇය භාවිත කළා වූ දිල්හානි ඒකනායක නාමයට තවත් සුවඳ හමන පුෂ්පයක් එක් කළෙමි. ඒ ‘අශෝකමාලා’ නාමයයි. අශෝකමාලා නම ද ඇගේ උප්පැන්න සහතිකයේ තිබූ නමුදු ඇය එය හා එහි ලස්සන වටහා දෙනතුරු භාවිත කළේ නැත.

එමෙන්ම රන්ජන් රාමනායක සහ දිල්හානි අශෝකමාලා එම නම්වල හැඳින් වූ ආදර අන්වර්ථ නාමයන් වූයේ රන් සමනලයා සහ පුංචි ශ්‍රීී දේවි ලෙසය. එවකට භාරත ශ්‍රීී දේවි උන්මාදයක් අප රටේ ද පැවති යුගයකි. දිනක් දිල්හානිගේ පින්තූර ඇල්බමය පිරික්සීමේදී මම ඇගේ එක්තරා පින්තූරයකින් හරියටම ශ්‍රී දේවිගේ පෙනුම දුටුවෙමි. මම එම පින්තූරය ‘සරසි’ පත්‍රයේ පළ කොට ‘අපේ සිනමාවට පුංචි ශ්‍රී දේවියක්’ යන සිරස්තලය ලොකු අකුරෙන් පළ කළෙමි. රන්ජන් ද අප හැඳින් වූයේ ‘රන් සමනලයා’ යන ආදර නාමයෙනි. පුංචි ශ්‍රීී දේවි සහ රන් සමනලයා ඔවුන්ගේ ජනප්‍රියත්වයට ද බෙහෙවින් බලපෑවේය. පිට පිටම පස් වතාවක් තමා ස්ලිම් ජනතා සම්මානයෙන් පිදුම් ලැබීම අරමුණු කරගෙන පසුගියදා රන්ජන් රාමනායක රාජගිරියේ සවරිලන් හෝටලයේ ‘කෘතගුණ සැලකීමේ උපහාර උළෙලක්’ අත්‍යාලංකාරයෙන් පැවැත්වූවේය. එහිදී රන්ජන් පිළිබඳව ප්‍රධාන දේශනය කළේ රවීන්ද්‍ර රන්දෙණියය.

‘සමාවෙන්න! මෙහිදී මට දැඩි ස්වයං වාරණයකින් යුක්තවයි රන්ජන් ගැන කතා කරන්න වෙන්නේ, නැතුව කොහොමද රන්ජන් ගැන මං දන්න තොරතුරු මෙහෙම ප්‍රසිද්ධියේ කියන්නේ.’

රවීන්ද්‍ර උත්සව සභාව හිනාගස්වමින් පැවසූවේය. මට ද සිදු වී ඇත්තේ රවීට සිදු වූ දෙයමය. මා රන්ජන් ගැන සඳහන් කරනවා නම් සත්තකින්ම මහා පොතක් ලිවිය යුතු තරම් අප්‍රමාණව තොරතුරු කරුණු දනිමි. කිසිවකුත් නොදත් බොහෝ දේ දනිමි. එහෙත් දෙයියනේ ඉන් පරිච්ඡේද කීපයක්ම වාරණය නොකර කෙසේ නම් ලියන්න ද.

අසූව දශකයේ අග භාගයේ අප කට්ටියක්ම වසර කීපයක්ම නත්තල් උත්සවය සැමරුවේ රන්ජන් රාමනායකගේ මීගමුවේ කොච්චිකඩේ පිහිටි ඔහුගේ නිවසේය. කොහොමත් නත්තල් සමයට මීගමුව ප්‍රදේශයේ එකම විචිත්‍ර සැණකෙලියක සිරි උසුලන්නේය. ජීවන් කුමාරතුංග, රන්ජන් රාමනායක, අනෝජා වීරසිංහ, දිල්හානි අශෝකමාලා, රුවන් ශ්‍රී දල්පදාදු, සුනිල් සෝම පීරිස්, සුනිල් ටී. ප්‍රනාන්දු, සෝනියා දිසා, ක්ලීටස් මෙන්ඩිස්, මායා දමයන්ති, වික්ටර් විජයන්ත ආදී අප කට්ටිය එකල බොහෝ විට ගමන් බිමන් ගියේ එකටමය. රන්ජන්ගේ නත්තල් සාදයට ද අප කට්ටිය සහ තවද ඔහුගේ විශේෂ මිතුරු මිතුරියන් සහභාගී වූහ.

මායා දමයන්ති, වික්ටර් විජයන්ත, දිල්හානි අශෝකමාලා සහ මා සහ මගේ බිරිඳ හා දියණිය (මධාරා වඩුගේ) මුලින්ම එක වාහනයක, නත්තල් දා උදෙන්ම රන්ජන්ගේ නිවසට ගියෙමු. රන්ජන් ලක ලෑස්ති වී සිටියේය. රන්ජන්ගේ මවට ඉතාම ප්‍රණීතව ඉවුම් පිහුම් කටයුතු කළ හැකිව තිබුණි. ඇය පිළියෙල කරන කෑම කෑමට කවුරුත් රුචියක් දැක් වූහ.ගෙට ගොඩ වී පුටු සෙට් එකේ වාඩිවෙත්ම . . . රන්ජන් අද ඕන ඔයාගෙන් ස්පෙෂල් ඩාන්ස් එකක්, හරි ද කියා මා පැවසුවාය. ගත වූයේ නිමේෂයකි. ‘සෙට්අප්’ එක ළගට ගොස් එය ක්‍රියාත්මක කර රන්ජන් මයිකල් ජැක්සන්ගේ ගීයක් අනුව විනාඩි දහයක පමණ නර්තනයක් ඉදිරිපත් කළේය. එකල ‘නැටුම් උණක්’ ඔහුට තිබුණි. දිල්හානි ඇතුළු අප කාටත් රන්ජන්ගේ ගෙදර තම ගෙදර මෙනි. ඕනෑම තැනක යාමට අවසරයක් අවශ්‍ය නැත. නිදන කාමරවල වුව ද ගොස් විවේක ගනිති.

මුලින් කේක් අනුභව කොට තේ බී ටික වේලාවකට පසු රන්ජන්වත්, දිල්හානිවත් පෙනෙන්නට සිටියේ නැත.

‘කෝ මුන් දෙන්නා’

වික්ටර් ඇසුවේය.

දිල්හානි ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ පවුලේ හිතවතියක වූ ඇයව ඇතැම් විට රැක බලා ගැනීම මගේ පුරුද්දක් විය. ක්ෂේත්‍රයට කෝඩුකාරියක වූ ඇයට නොයෙක් අවවාද අනුශාසනා දුනිමි. ඇය ද ඒවා ඉස්මුදුනින් පිළිපැද්දාය.

මඳ වේලාවක් රන්ජන් සහ දිල්හානි අතුරුදන්වීම ගැන මට පුංචි කුකුසක් ඇති විය. මම විපරම් කළෙමි. රන්ජන්ගේ කන්තෝරු කාමරයට ගියෙමි.

අතුරුදන් වූ දෙදෙනා ළඟ පුටු දෙකක අසුන්ගෙන පින්තූර ඇල්බම් එකක් බලමින් සිටියේය.

‘මේ රන්ජන්ගේ අලුත් පින්තූර වගයක්. එන්න බලන්න’ දිල්හානි පැවසුවාය.

‘පින්තූර බලන්න උඹලට තනියම කාමරේක ඉන්න ඕනද’

මම තරමක නුරිස්සුම් හඬින් පැවසුවෙමි.

‘හානේ පව් . . . හා පැටියෙක් ගැන හිතන ඒවා’ රන්ජන් කීය. පසුව කට්ටියම සාලයට ගොස් පින්තූර නැරඹූවෙමු.

යම් යම් අයගේ දෛවය පෙරළි කරනුයේ පුදුමාකාර අයුරිනි. රන්ජන් තමා රඟපෑ ක්‍රිස්තු චරිතය චිත්‍රපටයේ තමා රඟපාන්නේ කුමක්ද කියා නැරඹීමට ඔහු චිත්‍රපටය සත් වරක් නැරඹුවේය. එය කිසිසේත් රඟපෑමක් නොවේ. එය පෙනී සිටීමක්ය කියනවාට වඩා ‘පෙනී නොසිටීමක්’ය පැවසීම සැබෑවකි.

ඔහුගේ සමීප ඥාතියකු වූ විජය කුමාරතුංග ප්‍රධාන නළුවා ලෙස ක්‍රිස්තු චරිතය නිරූපණය කළ චිත්‍රපටයේ සමූහ දර්ශනයක පෙනී සිටියේය. තමා රඟපාන්නේ කොතනද කියා තමාටම දැක බලා ගැනීමට එම චිත්‍රපටය කීප වතාවක් බැලූ නළුවා, පිට පිටම පස් වතාවක්ම ජනපි‍්‍රයම ජනතා සම්මානයෙන් පිදුම් ලැබීය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු