ස්විචය වමට කැරකෙව්වා ගැලවිලා අතට ආවා

චිත්‍රපට ක්ෂේත්‍රයේ සිටින අත්දැකීම් බහුල සංස්කරණ ශිල්පියෙකු වන ඩෙන්සිල් ජයවීරගේ පළමු සිනමා නිර්මාණය ‘වස්සානේ සෙනෙහස’ මේ දිනවල එල්. එෆ්. ඩී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වේ.

සහය සංස්කරණ ශිල්පියෙකු වශයෙන් ක්ෂේත්‍රයට පිවිසි ඩෙන්සිල් ප්‍රධාන සංස්කරණ ශිල්පියෙකු වූයේ 1977 දී කඳපොල කුමාරතුංග අධ්‍යක්ෂණය කළ දයාබර නිලූ චිත්‍රපටයෙනි.

වස්සානේ සෙනෙහස චිත්‍රපටයේ කතාව, දෙබස් රචනය හා අධ්‍යක්ෂණයෙන් දායක වූ ඩෙන්සිල් සමඟ කළ කතාබහකි මේ.

සංස්කරණ ශිල්පියෙකු ලෙස ලැබූ අත්දැකීම් චිත්‍රපට අධ්‍යක්ෂණයට කෙසේ උපයෝගී කර ගත්තද?

චිත්‍රපටයක රූගත කිරීම්, හඬ පටි, රසායනාගාර කටයුතු මේ සෑම පැතිකඩක්ම සංස්කරණ ශිල්පියා අතට තමයි යොමු වෙන්නේ. ඒ නිසා මේ හැම පැතිකඩක් ගැනම හොඳ අවබෝධයක් ලබන්න පුළුවන් වුණා. මා ලබාගත් මේ දැනුම වස්සාන සෙනෙහස චිත්‍රපටයේ රූප රාමු පෙළ ගැස්වීමේ සිට උපයෝගී කර ගත්තා.

මේ චිත්‍රපටය ඔස්සේ සමාජයට දෙන පණිවිඩය කුමක්ද?

අද සමාජයේ විවිධාකාර චරිත ජීවත් වෙනවා. අපි හැමදාම කතා කරන්නේ මිනිසුන්ගේ නරක පැත්ත. නමුත් මේ චිත්‍රපටයෙන් කියන්නේ සමාජයේ කාගෙන් හෝ වේවා සිදු වූ වරදකින් අසරණ වූ පවුලකට කිසිදු යටි අරමුණක් නොමැතිව, තම පවුල් ජීවන රටාව ගැන නොහිතා උදව් කරන කෙනෙකු පිළිබඳවයි. තම පවුලේ සාමාජිකයන් පවා වැරැදි අවබෝධයෙන් ඔහු දෙස බැලුවත් තමන්ගේ අවංක බව නිසාම සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණ දෙන කෙනෙක්.

ඔබේම සංස්කරණය පිළිබඳ සෑහීමකට පත් වෙනවාද?

ඔව්! චිත්‍රපට 50 කට වැඩි සංඛ්‍යාවක් මිලි මිටර් 35 හේ පටි කපල සංස්කරණය කළත් මේ චිත්‍රපටයේදී මම යොදා ගත්තේ නවීන එච්. ඩී. තාක්ෂණය. ඇත්තටම අපි වැඩ කළ යුත්තේ මේ අලුත් තාක්ෂණය එක්ක. ඒක හරි පහසුයි.

පැය 2 1/2 ක් වැනි කෙටි කාල පරාසයක් තුළ කතාව කියලා අවසන් කළ යුතුයි. එතැනදී සංස්කරණ ක්‍රම බොහෝමයක් උපයෝගී කර ගන්න සිදු වුණා. ප්‍රේක්ෂකයාට චිත්‍රපටය එපා නොවෙන ආකාරයට කතාව බාධාවකින් තොරව ගලා යෑමට සලස්වමින් සංස්කරණය කර ගත යුතුයි. ඉතින් එච්. ඩී. තාක්ෂණය නිසා මේ සෑම කටයුත්තක්ම සාර්ථක කර ගන්නට හරි පහසු වුණා. මේ චිත්‍රපටයේ සහය සංස්කරණ ශිල්පියා ලෙස කටයුතුª කළේ ආනන්ද බණ්ඩාරයි.

ඔබ චිත්‍රපට ක්ෂේත්‍රයට යොමු වූ ආකාරය පිළිබඳ යළි මතකය අවධි කළොත්?

1965 දී රජයේ මුද්‍රණාලයේ පොත් බැඳීම් අංශයේ රැකියාව කළා. මේ කාලයේම තමයි සිනමාව පැත්තට යොමු වෙන්න අදහස් කළේ. මගේ අක්කා නිළියක්. ඇය නමින් ලලිතා අල්මේදා. වෙසතුරු සිරිත චිත්‍රපටය කළ ඩී. සී. එල්. අමරසිංහ කියන මහත්තයාව මට හඳුන්නලා දුන්නේ අක්කා. ඔහු ජාතික කිරි මණ්ඩලයේ හා ධීවර සංස්ථාවේ සභාපති. ඒ වගේම විජය චිත්‍රාගාරය භාරවත් හිටියා. මෙතුමා ළඟට ගියේ රැකියාවක් ලබා ගැනීමේ අරමුණින්. එතනදී මම කිව්වා චිත්‍රපටවල වැඩ කටයුතුවලට දායක වෙන්න තියෙනවා නම් හොඳයි කියලා. එතුමා කිව්වා එහෙනම් විජය චිත්‍රාගාරයට යන්න කියලා. ඒ අනුව 1969 ජූලි 29 වෙනිදා විජය චිත්‍රාගාරයට ගියා.

විජය චිත්‍රගාරයේදී මට පළමුව මුණ ගැසුණේ ලෙනින් මොරායස්. එතකොට සූරයන්ගෙත් සූරයා චිත්‍රපටයේ අවසාන කටයුතු නිම කෙරෙමින් තිබුණේ. එහි සංස්කරණ ශිල්පියා තමයි බර්නාඩ් රෙජිනෝල්ඩ්. 1972 දී හතර දෙනාම සූරයෝ චිත්‍රපටය පටන් ගත්තා. ඒ චිත්‍රපටයෙන් තමයි සහය සංස්කරණ ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයට මම පා තැබුවේ. මගේ නම සඳහන් වුණ පළමු චිත්‍රපටය ද මෙයයි. එතැනින් පසුව ප්‍රවිණ සංස්කරණ ශිල්පී ජයතිස්ස දිල්ලිමුනි මහතා යටතේ සහය සංස්කරණ ශිල්පී හැටියට වැඩ කළා. එතුමාගේ ගෝලයකු හැටියට වැඩ කරන්න ලැබීම තුළින් තමයි සංස්කරණය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබා ගන්නට හැකි වුණේ.

ප්‍රධාන සංස්කරණ ශිල්පියෙක් ලෙස කටයුතු කළේ?

1977 කඳපොල කුමාරතුංග අධ්‍යක්ෂණය කළ දයාබර නිලූ චිත්‍රපටයෙන් තමයි ප්‍රධාන සංස්කරණ ශිල්පියා ලෙස වැඩ කටයුතු ආරම්භ කළේ. මෙතැන් සිට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරු කිහිප දෙනෙකු යටතේ චිත්‍රපට 50 කට වැඩි ප්‍රමාණයක් සංස්කරණය කළා.

සංස්කරණය සඳහා සම්මාන ලැබී තිබෙනවාද?

ඕ. සී. අයි. සී සම්මාන 2 ක් ලැබුණා කෙටි චිත්‍රපට සඳහා. 1981 සහ 82 වර්ෂවලදී දයාබර දරුවෙක් හා සින්දරෙල්ලාගේ සෙරෙප්පුව කියන කෙටි චිත්‍රපට දෙකට තමයි ඒ සම්මාන ලැබුණේ.

අමතක නොවන සිදුවීම් රාශියක් ඇති. එයින් කිහිපයක් මතක් කළොත්?

මම විජය චිත්‍රාගාරයට ගිය පළමු දවසේ බර්නාඩ් හා ලෙනින් වැඩක හිටියේ. මම උදේ 7 ට විතර එතනට ගියා. ඔවුන් දෙදෙනාම කිව්වා තේ එකක් බීල ඇවිල්ලම වැඩ පටන් ගම්මු කියා. එඩිටින් ටේබල් එකේ ස්විච් එක ඔෆ් කරල එන්න කියලා මට කිව්වා. ඒක මේන් ස්විච් එකක්. මම ඒක වම් පැත්තට කැරකෙව්වා විතරයි ගැලවිලා අතට ආවා. බැලින්නම් ඒක දකුණු පැත්තට කරකවන්න තිබිලා තියෙන්නේ. ගැලවිලා නෙමෙයි කැඩිල තමයි අතට ඇවිත් තියෙන්නේ. ලෙනින් එක පාරට ඔලුවේ අත ගහ ගත්තා. මට ඉස්සෙල්ලාම ලැබුණ පාඩම. ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ.

මෙවැනි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න පෙළඹුණේ ඇයි?

මා වැඩියෙන්ම සංස්කරණය කළේ වාණිජමය චිත්‍රපට. ඒ ලැබූ ආභාෂය ඔස්සේ තමයි මේ චිත්‍රපටය ගොඩ නැගුවේ. ප්‍රේක්ෂකයන්ට විනෝදාස්වාදයක් ලබා දෙමින් සමාජයේ යම් පැතිකඩක් පෙන්වා දීම තමයි මගේ අරමුණ. පවුලේ සැමට එකට නැරැඹිය හැකි මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ මගේ ඥාති දෙදෙනෙකු වන උපුල් ප්‍රියන්ත සහ සුදත් ධර්මප්‍රියයි.

මෙයින් පසු ඔබේ නිර්මාණ?

ඔව්! චිත්‍රපට දෙකක් ලැබී තිබෙනවා. තිර කතාව සකස් කර අවසන්. මැයි මාසේ වැඩ පටන් ගන්නවා.

පළපුරුදු ශිල්පියකු වූ ඔබ සිනමා කර්මාන්තය දකින්නේ කෙලෙසද?

චිත්‍රපට කර්මාන්තය වැටිලා නැහැ. ඉන්න කට්ටිය එකතු වෙලා සිනමාව වට්ටගෙන තියෙන්නේ. මේ තත්ත්වයට චිත්‍රපට සංස්ථාව වගකිව යුතුයි.

පළමු චිත්‍රපටය නිෂ්පාදක දෙවැනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න යනවා. කර්මාන්තය පිළිබඳ යම් පළපුරුද්දක් නැතිව මුදල්වලට පිරිස ගෙන කරන මේ වැඩේ නිසා චිත්‍රපටයේ උසස් තත්ත්වය නැතිව යනවා. මෙවැනි අධ්‍යක්ෂවරයෙක්ගෙන් තත්පරයට රූප රාමු කීයද කියලා ඇසුවොත් දන්නේ නැහැ. රූප රාමුවේ මිලි මීටර් කීයද කියලා ඇසුවොත් ඒ දන්නෙත් නැහැ.

මේ තත්ත්වෙයෙන් මිදෙන්න පිළියම් තිබේද?

ඉස්සර නම් ඕවට පිළියම් තිබුණා. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා නම් චිත්‍රපට 5 කවත් සහාය අධ්‍යක්ෂක වෙලා සිටිය යුතුයි. නැතිනම් සංස්කරණය හෝ කැමරාකරණය පිළිබඳ අවබෝධයක් ලබා තිබිය යුතුයි. ඊළඟට කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර තිබිය යුතුයි. විජය ධර්ම ශ්‍රීී දුහුලු මලක් කරන කොට චිත්‍රපට සංස්ථාවෙන් ඔහුට කිව්වා කෙටි චිත්‍රපටයක් කරන්න කියලා. ඒක තමයි මලක කඳුලු කියලා කෙටි චිත්‍රපටයක් හැදුවේ. ඊට පසුව තමයි දුහුලු මලක් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සඳහා අනුමත කළේ. අන්න එවැනි නීති මලාවක් ඉස්සර ක්‍රියාත්මක වුණා. ඒ නීති මාලාව නැවතත් ගෙනල්ල මේ කර්මාන්තය ගොඩ ගැනීම ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ඉටු විය යුතු මෙහෙවරක් ලෙස මා දකිනවා. සෑම නිෂ්පාදකවරයකුට හා හැම චිත්‍රපටයකටම සම තැන දී කටයුතු කරනවා නම් මේ කර්මාන්තය මීට වඩා ඉදිරියට ගෙන යා හැකි බව මගේ හැඟීමයි.

චිත්‍රපට ක්ෂේත්‍රයේ නියැලීමට ඔබේ පවුලෙන් ලැබෙන සහයෝගය?

මගේ බිරිඳ දයා ජයවීර. ලොකු දුව අමිලා ජයවීර විවාහ වෙලා. පොඩි දුව දක්ෂිලා ජයවීර සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා.

මම යම් කතාවක් ගොඩ නඟන විට තනියෙන් කියව කියව තමයි ලියන්නේ. ඒවා අහන් ඉන්න බිරිඳ කියනවා ඔයා නවතින්නේ පිස්සෙක් වෙලා තමයි කියලා. මගේ වැඩ කටයුතුවලට බිරිඳගෙන් හොඳ සහායක් ලැබෙනවා. එහි ප්‍රතිඵලයක් තමා දැනට කතා 5 ක් ලියා අවසන්.

විශේෂයෙන් මතක් කළ යුතු අය?

මගේ අක්කා ලලිතා අල්මේදා, ඩී. සී. එල්. අමරසිංහ, ඩබ්ලිව්. ඩී. කේ. රූබන්, සෙක්ටස් අපොන්සු මේ අය විශේෂයෙන් මතක් කළ යුතුයි.

ඉදිරි බලාපොරොත්තු?

මැරෙන තුරු සිනමාවේ රැඳී සිටින්න. තව චිත්‍රපට 3, 4 ක් අධ්‍යක්ෂණය කරන්න. අලුත් අයට මේ ක්ෂේත්‍රයට හඳුන්වල දෙන්න.

www.films.lk  ඔස්සේ විස්තර ලබාගත හැක.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු