අක්ෂේ කුමාර් ගිනස් පොතට

ලොව විශාලම කරාතේ සන්දර්ශනය පවත්වා මෙහුල් වෝරා සමඟ ගිනස් පොතට යන්නට අක්ෂේ කුමාර් මේ දිනවල සටන් කරන බව අක්ෂේ පිළිබඳව ලැබෙන අලුත්ම ආරංචියයි.

අක්ෂේගේ සටන්කාමිත්වයට පන්නරයක් මෑතකදී ඉන්දියානු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගෙන් ද ලැබී තිබේ. දෝනි පකිස්තානය පරදවා ආසියානු කුසලානය ජය ගත් පසු, ඔහු පැළැඳ සිටි අත්ආවරණය අක්ෂේට තිළිණ කර තිබේ.

මුල දී ක්‍රියාදාම වීරවරයකු වූ අක්ෂේ මෑත වකවානුවේ විකට නළුවකු ලෙස ද ජනප්‍රිය විය.

මේ වසරේදී රසිිකයන්ට අක්ෂේ තිරයෙන් මුල් වරට හමු වන්නේ ‘හවුස් ෆුල් 2’ සිනමා නිර්මාණයෙනි.


ප්‍රියංකාව කාටත් එපාලු

ලෝක රූප රාජිනිය වී භාරත රසික හදවත් දිනා ගත් ප්‍රියංකා චොප්රා ඊළඟට සිය රංගන හැකියාවෙන් හදවත් සොරා ගත්තේය. එහෙත් ඇයට තම තිරයේ පෙම්වතුන්ගේ හිත දිනා ගැනීමට අසීරුයි වාගේය.

බොහෝ නළුවන් ප්‍රියංකා හා රඟන්නට අකැමැති බවට රාවයක් මේ දිනවල ක්ෂේත්‍රය පුරා පැතිර යමින් පවතී. මේ තරු ගොන්නට එක් වී ඇති අලුත්ම තරුව රිතික් රොෂාන් බව කියවෙයි. රිතික් ‘ක්‍රිෂ් 2’, ‘අග්නීපාත්’ හි රඟපෑවේ ප්‍රියංකා සමඟයි.

‘අග්නීපාත්’ අතිශයින් සාර්ථකත්වයට පත් සිනමාපටයකි. කෙසේ වුවත් මෙහි ඇත්ත නැත්ත බලා ගැනීමට නම් ප්‍රියංකා - රිතික් රඟන සිනමාපටයක් ගැන ආරංචිය කන වැකෙන තුරු සිටිය යුතුමය.

කෙසේ වුවත් මෙවැනි රාවයක් තිබුණ ද ප්‍රියංකාගේ කාර්යය බහුලත්වයේ නම් අඩුවක් දකින්න නැත. මේ දිනවල ඇය කාර්යයබහුල වී සිටින්නේ නිකෝන් කැමරාව ප්‍රවර්ධනය කිරීමට, දැන්වීම්වලට පෙනී සිටින නිසයි. ඇය මෑතකදී එම දැන්වීමකට පෙනී සිටි පසු ප්‍රකාශ කළේ බොලිවුඩයේ අංක එක වීම ඉතා වැදගත් බවයි.

‘සිනමාවේ අංක එක කවුරුන් ද කියා හරියටම කියන්න බැහැ. ඒත් වසරකට සිනමා පට 3, 4 ක් රඟන්න ලැබෙනවා නම් ඇය අංක එකේ තාරකාවක්. රඟන සිනමාපට සියල්ල ආදායම් වාර්තා පිහිටුුවීම අනවශ්‍යයි.’ විසි නව හැවිරිදි ප්‍රියංකා තමන් ඡායාරූපයට ඉතා හැඩකාර බව ද කියා සිටින්නට අමතක නොකළාය. ඒ තමන් මෙන්ම රේඛා, ඓශ්වර්යා රායි, කත්‍රිනා කායිෆ්, දීපිකා පදුකෝන් ද කැමරාවට හැඩකාරියන් බව නිහතමානීව පවසමිනි.


හොලිවුඩ් හරහා බොලිවුඩ්

ලොවම ගෝලීයකරණය වී ඇති යුගයක හොලිවුඩයේ නාට්‍යාංගනාවක්, බොලිවුඩයේදී දකින්න ලැබීම පුදුමයක් නොවෙයි.

හොලිවුඩයේ සිට බොලිවුඩයට පායන අලුත්ම තාරකාව අමෙරිකානු නර්තන ශිල්පිනියක වන ලෝරේන් ගෝටීබ්ය.ඇය රිමෝ ඩි සූසාගේ නවතම සිනමා පටයේ රඟන්නීය. සිය කුලුඳුල් බොලිවුඩ් රංගනයට දායක වීම ඇයට සිනමා පටයේ නර්තන ජවනිකාවක් මෙන් සුන්දර අත්දැකීමක් වී නැත. ඒ ලෝරේන්ට හින්දි බස හැදෑරීමට සිදු වී ඇති නිසයි.

දැන් ඇයට හින්දි කතා කිරීම පුහුණු කරන ගුරුවරයකු ද සිටියි. දිනකට පැයක් ඇය ඔහුගෙන් හින්දි බස හදාරන්නීය.

විසි තුන් හැවිරිදි ලෝරේන්, දර්ශන තලයේදී අනෙක් රංගන ශිල්පීන්ගෙන් තමන් හා හින්දි බසින් කතා කරන ලෙසට ඉල්ලා සිටින්නීය.

ඕනෑම සිනමා නිර්මාණයකින් ලොවේ කුමන බසක් කතා කරන අයකුට වුවත් ඇමතිය හැකිය. එහෙත් සිනමා පටයක රංගනයේ යෙදීමේදී නම් තමන් දන්නා බස පමණක් කතා කිරීම ප්‍රමාණවත් නොවෙයි.

හින්දි බස හදාරන්නට සිදු වූ පළමු හොලිවුඩ් තාරකාව ලෝරේන් නොවෙයි. මීට පෙර කත්‍රිනා කායිෆ්, නාර්ගීස් ෆක්රි, කල්කි කොල්චින්, ඇමී ජැක්සන්, සනී ලියෝන් වාගේම අපේ ජැකලයින් ෆර්නැන්ඩස් ද මේ අකරතැබ්බයට මුහුණ පෑහ.


ෂාරුක් නේරු වෙයි

මියගිය, එහෙත් අමරණීය චරිත තිරයේ ජීවත් කරවන කාලයකි මේ. හොලිවුඩයේ මෙන්ම බොලිවුඩයේ ද මීට උදාහරණ ඕනෑ තරම්ය.

අලුතින්ම තිරයේ පණ ගැන්වෙන අමරණීය චරිතය ශ්‍රී ජවහර්ලාල් නේරුය. එම චරිතයට පණ දෙන්නේ ද තවත් සදානුස්මරණීය චරිතයකි. ඔහු ‘කිං ඛාන්’ ලෙස නම් ලද සුපිරි තරුව, ෂාරුක් ඛාන්ය. සිනමා පටයේ සුවිශේෂත්වය නම් මෙය හොලිවුඩ්, බොලිවුඩ් පුරවර දෙකේම එකතුවක් වීමයි.

හාලිවුඩයේ අධ්‍යක්ෂ බෲස් බෙරස්ෆෝඩ් සිනමා පටයේ නිර්මාතෘවරයායි. ඔහුගේ ‘ඩ්‍රයිවිං මිස් ඩේසි’ සිනමා නිර්මාණයට ඔස්කාර් සම්මානය ද පිරිනැමුණි. ‘සයිලන්ට් ෆෝල්’, ‘බ්ලැක් රෝබ්’ සිනමා නිර්මාණ විචාරක පැසසුම් ලැබීය.

ඉන්දියාවේ ගාන්ධි පරපුර වටා නිර්මාණය වන සිනමා පටයේ ජවහර්ලාල් නේරු චරිතයට පණ පෙවීමට සුදුස්සකු සොයා ඔහු මූම්බායි සැරිසැරුවේය. විවිධ නළුවන් මුණ ගැසුණේය. ඔවුන් සියලු දෙනාම ‘නේරු’ චරිතය රඟන්නට කැමැත්තෙන් සිටිය ද, ඒ වාසනාවේ සැබෑ උරුමක්කරු වූයේ ෂාරුක් ඛාන්ය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු