සල්මන් ඛාන් ජැකී චෑන් වෙයිද

ජැකී චෑංගේ නිර්මාණශීලීභාවයට, රංගනය,ගායනය, නිෂ්පාදනය යන සියල්ලක්ම කදිම තෝතැනිය. මේ වස්තු බීජය බොලිවුඩය නම් සරු කෙතේ වපුරන්නට වාණිජ සිනමාව රජ කරන බොලිවුඩය උත්සාහ දරන්නේ අදක ඊයෙක සිට නොවෙයි.

විශ්ව කීර්තියට පත් මේ රංගන තරුව ආසියාවේ වැඩිම මුදලක් අය කරන නළුවායි. ඔහු බොලිවුඩ් සිනමාවට සම්ප්‍රාප්ත වන බවට යළිත් රාවයක් පැතිරෙමින් පවතී. ඔහු බොලිවුඩ් තිරය සටන්කරුවකු ලෙස දෙවනත් කිරීමට බලාපොරොත්තු වන්නේ ඛාන් රජවරු ත්‍රිත්වයේ තනිකඩයා වන සල්මන් ඛාන් සමඟයි.

දකුණු ඉන්දියානු නිෂ්පාදක අස්කාර් රවිචන්ද්‍රන් මේ සිහිනය දකින සිනමා නිෂ්පාදකයායි. ඔහු කවදත් විශාල වියදමක් දරා සිනමා නිර්මාණ කිරීමට ප්‍රසිද්ධය.

රවි, චෑංගේ අතිශය ජනාදරයට පත් ‘ආර්මර් ඔෆ් ගෝඩ්’ සිනමාපටයේ දෙවැන්නක් කිරීමේ දොලදුකක් පහල වී ඇත. එය ඉටු කර ගැනීමට ඔහුට වැය කිරීමට සිදුවන මුදල රුපියල් කෝටි 400 ක් පමණ වන බව කියවේ.

ජැකී සමඟ අට වසරක සිට මේ ගැන කතා කරන රවි, ඔහු සමඟ රංගනයට සල්මන්ගෙන් ද කැමැත්ත ලබා ගෙන තිබේ. මෙහි රංගනයට කමල් හසන් ද එක්කර ගැනීමේ අපේක්ෂාවක් ද රවිට ඇත.

මීට දෙවසරකට පෙර සුපිරි තරුව ෂාරුක්ගේ රා.වන් සිනමා පටයෙන් ජැකී චෑංගේ බොලිවුඩ් සම්ප්‍රාප්තිය සිදුවන බවට පුවත් පැතිර ගියේය.

ෂාරුක් ඛාන් ඇතුළු නිෂ්පාදක කණ්ඩායමට චෑං රා.වන් සිනමා නිර්මාණයට දායක කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් තිබුණි.

ඔහුට රඟන්නට ඇති සටන් ජවනිකා පිළිබඳ තොරතුරු ඇතුළත් පිටපත ද ඔවුන් ඔහුට යොමු කර තිබුණි. ෂාරුක් ඛාන්ට සතුරන් පරාජය කිරීමට උපකාරී වන විද්‍යාඥයකුගේ චරිතය ජැකීට නිරූපණය කිරීමට තිබුණු අතර ඔහු ඒ චරිතය රඟන්නට ඉදිරිපත් නොවීය. අවසානයේදී ජැකී වෙනුවෙන් වෙන් කර තිබූ චරිතයට පණ පෙව්වේ ටොම් වූ ය.

එම කාල වකවානුවේදී හොලිවුඩ් සිනමාපට ගණනාවක් සමඟ ඔහු කාර්යය බහුල වී සිටියේය.

ජැකී, කමල් හසන්ගේ ‘දසවතාරම්’ සිනමා පටයේ හඬපටය නිකුත්වීමේ අවස්ථාවට මූම්බායි පැමිණි විට, මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් හොඳ ඉන්දියානු සිනමා පටයක් කිරීමට මහත් ඕනෑකමින් බලා සිටින බවයි.

‘ඉන්දියාව ලෝකයේ විශාලම සිනමා වෙළෙද පොලයි. මං මෙහි හොඳ චිත්‍රපටයක් කරන්න ආසාවෙන් ඉන්නවා.’ ඔහු නැවත නැවතත් එහිදී කියා සිටියේය. එවර ජැකී පැමිණ සිටියේ ආරක්ෂක නිලධාරීන් දස දෙනකු සමඟයි.

තවමත් බොලිවුඩ් සිනමාකරුවන්ට ජැකීව සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවත් ඔහුගේ නිර්මාණයකට දායකවීමට තරම් වාසනාව ලැබූ නිළියක බොලිවුඩයේ සිටින්නීය. ඇය මල්ලිකා ෂෙරාවත්ය.

ඔහුගේ ’ද මිත්’ සිනමා පටයේ කෙටි ජවනිකාවකට මල්ලිකා පෙනී සිටියාය. ‘ඇය හොඳ මිතුරියක්, සොයුරියක්.’ මේ හොංකොං නළුවා බොලිවුඩයේ මල්ලිකාව දකින්නේ එලෙසිනුයි.

ජැකී බොලිවුඩ් සිනමා සිත්තම් නරඹා ඇත්තෙකි. එහෙත් නැරැඹූ සිනමා සිත්තම් කවරේ ද යන්න පිළිබඳ නම් ඔහුට මතකයක් නැත.

‘ඇත්තෙන්ම මට චිත්‍රපටවල නම් මතක නැහැ. ඒත් මං දන්නවා පැය 3, 4 ක් තිරගත වන මේ සිනමාපටවල නිතරම ගීතමය ජවනිකා දකින්න ලැබෙනවා. ඔවුන් කරන්නේ කුමක් ද? කතා කරන්නේ මොනවා ද? ආයෙක් නටන්නේ ඇයි? වැනි ප්‍රශ්නත් සිනමාපට නරඹද්දී සිතට නැඟෙනවා.

ඒත් මිට වසර තිහකට පෙර නැටුම් සහ අද නැටුම් සන්සන්දනය කළ විට හරි වෙනස්. තාක්ෂණය, නැටුම් . . . බලන්න පුදුමයි’ ජැකී පවසයි.

වරක් සිමී ගෙයාවල් ගේ රූපවාහිනී වැඩ සටහනකට සහභාගි වූ ජැකීගෙන්, සිමී, ‘ඔබ බොලිවුඩ් සිනමා පටයකට සම්බන්ධ වුණොත් කොපමණ පිරිසක් සිනමාපටය නරඹාවි ද, කියා විමසුවාය.

‘බිලියන 2.5 කට වැඩි ඉන්දියානු රසික පිරිසක් එය නරඹාවි’ ඔහු ගත්කටටම පැවසුවේය.

ජැකීගේ බොලිවුඩ් සම්ප්‍රාප්තිය තවමත් යථාර්ථයක් නොවුණ ද ඔහු ආදර්ශයට ගන්නා බොලිවුඩ් තරු හා තාරකාවන්ගේ නම් අඩුවක් නැත. නව පරපුරේ කන්ගනා රනවුන් ‘ක්‍රිෂ් 3’ සිනමා පටයට මේ දිනවල රංගනයෙන් දායක වී සිටින අතර ඇය පරමාදර්ශය කරගෙන සිටින්නේ ජැකී චෑංය. කුඩා වියේ සිට ඔහුගේ සිනමාපට නරඹන ඇය ඔහුගේ සටන් ජවනිකා අනුකරණය කිරීමට ද රුසියකි.

ෂාරුක් - සල්මන් ඛාන් දෙදෙනා හිත හොඳ මිතුරෝ නොවන බව ක්ෂේත්‍රයේ නොදන්නා කෙනෙක් නැත. එසේ තිබියදී ෂාරුක්ට සැබෑ කර ගැනීමට නොහැකි වූ ජැකී චෑං සහ රැඟීමේ සිහිනය සල්මන්ට සැබෑ කරගත හැකි වුවහොත් ෂාරුක්ට පුංචි දුකක් දැනෙන බව නම් ඒකාන්තය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු