මට එසරිය අදින්නත් බෑ කොණ්ඩය බදින්නත් බෑ

වැලිමඩ කුමාරිහාමිගෙන් උපේක්ෂාට ප්‍රශ්න වැලක්

ආදරණීය උපේක්ෂා අක්කේ,

අක්කා මට කතා කරපු එක ගැන මට ගොඩාක් සතුටුයි. මට මගේම සහෝදරයෙක්වත් ඒ විදිහට මගේ ජීවිතයට ශක්තියක් වෙලා නෑ. මං මොන ප්‍රශ්න ආවත් මගේ අරමුණු ඉෂ්ට කර ගන්නවා. අක්කාට ගොඩාක් ස්තූතියි.

මේ කෘතවේදී ලිපිය අපට ලියා එව්වේ මං මුළා නොවී ජීවන ගමන යන්න උපේක්ෂාගෙන් පාර ඇසූ රසික සම්පත්. රසික වගේම උපේක්ෂාගෙන් පිහිට පතන ඔබ වෙනුවෙන් මෙම ඉඩ වෙන් වන්නේ ඇගේ වදන් පෙළ ගස්වන්නයි.

මම 10 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. මට සහෝදර සහෝදරියන් කිසිවකු නෑ. මා දැනට ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යනවා. මම අසරණ වුණු වෙලාවන් ගොඩාක් තියෙනවා අක්කේ. ඒ හැම වෙලාවකදීම මට ඉතුරු වෙන්නේ මගේ ප්‍රේමවන්තයා විතරයි. ඒත් මගේ පාඩම් වැඩ ළඟකදි ඉඳන් අතපසු වෙනවා අක්කේ. මට මේ ගැන පහදලා දෙන්න. මට මේ ගැන කතා කරන්න වෙන කවුරුවත් නෑ අක්කේ.

යෂාරා දෙව්මිණි – පිළියන්දල

යෂාරාට පාසල් අධ්‍යාපනය නිමා වෙන්න තියෙන්නේ තව කෙටි කාලයයි. ඒ කාලය තුළ ඔයා ප්‍රේමය අවම තැනක තබලා උපරිමයෙන් අධ්‍යාපන කටයුතු සඳහා කැප වුණොත් ඔයාගේ ජීවිතය යහපත් විදිහකට වෙනස් වේවි යෂාරා. අධ්‍යාපන කටයුතු අවසන් වුණාම දෙමව්පියන් සමඟ විවාහය ගැන සාකච්ඡා කරලා හොඳ තීරණයක් ගන්න නංගෝ.

මං , දුවේ අවුරුදු 53 ක අම්මා කෙනෙක්. මම විශාල මුදලක් කෙනකුට දුන්නා. ඒ කෙනා මට මුදල නැවත දෙන්නේ නෑ. අනේ දුවේ මම ඒ මුදල ආපසු ගන්නේ කොහොමද?

ලලනි – පන්නිපිටිය

අම්මා මේ ගනුදෙනුව ගිවිසුමක් හෝ ලියවිල්ලක් මතහෝ ඇපයට කුමක් හෝ තබා නොගෙන කළේ නම් ඇත්තටම අනුවණ වැඩක්. අම්මා ළඟ කුමන හෝ සාක්ෂියක් තියෙනවා නම් අම්මා නීතියේ පිහිට පතන්න.

මම වයස අවුරුදු 35 ක අවිවාහක යුවතියක්. මම සාමාන්‍යයෙන් සාරියක් අඳීන්නේ මංගල උත්සවයකදී පමණයි. අනිත් සෑම විටම මම අඳින්නේ කලිසම්. වැඩිහිටියන් මට ඉහළ රැකියාවක් කරන ධනවත් පුද්ගලයෙක් විවාහය සඳහා යෝජනා කර තිබෙනවා. නමුත් ඔහු සමඟ විවාහ වනවා නම් නිවෙසට ඔසරිය ඇඳ කොණ්ඩය බැඳිය යුතු බව තරයේම කියා සිටිනවා. මට එතරම් දිග කොණ්ඩයක් නොමැති නිසා කොණ්ඩය බැඳීමට හැකියාවකුත් නෑ. මෙවැනි තත්ත්වයක් තුළ මා ඔහුගේ කොන්දේසිවලට එකඟව විවාහ වීම සුදුසුද? එසේත් නැත්නම් මේ යෝජනාව ප්‍රතික්ෂේප කළ යුතුද?

එන්. කුමාරිහාමි – වැලිමඩ

ඔබ සඳහන් කළ හේතුව මත පමණක් එම විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා නම් මම හිතන්නේ නෑ. ඔබ තීරණයක් ගැනීමේදී එම තැනැත්තාගේ ගතිගුණ ගැනත් සැලකිලිමත් විය යුතුමයි. ඒ වගේම ඔහු කැමති විදිහට අඳින්න පළඳින්නත් පුරුදු වෙන්න ඔබට එතරම් කාලයක් ගතවෙන එකකුත් නෑ. ඔබට ඔසරිය අඳින්න පහසු විදිහට නිර්මාණය කර ගන්න හැකියාවක් තියෙනවා. මට හිතෙන විදිහට නම් ඔහු හොඳ විනයක් ඇති පවුල් පසුබිමක හැදුණු වැඩුණු කෙනෙක්. මේ සියල්ල ගැන හොඳට හිතලා පසු නොතැවෙන තීරණයක් ගන්න කුමාරි.

මගේ වයස අවුරුදු 45 යි. 2003 වසරේදී මා ප්‍රේම සබඳතාවක් පැවැත්වූවා. ඇය උපාධිධාරිණියක්. 9 වසර දක්වා පාසල් අධ්‍යාපනය හැදෑරූ මා ඇයට අවංකවම ආදරය කළා. ඇය මේ වන විට විවාහ වෙලා ද කියලා නම් මම දන්නේ නෑ. ඒත් නංගී මට ඇයව අමතක කරන්න බෑ. මම ඇයට මගේ පණටත් වඩා ආදරෙයි.

රුක්ෂාන් ප්‍රනාන්දු – අත්තිඩිය

ඔබ මුලින්ම ඇය මේ වන විට විවාහ වී දැයි හොයලා බලන්න. ඇය මේ වන විට සාර්ථක යුග දිවියක් ගත කරන ආදරණීය බිරිඳක් නම් ඔබ ඇය වෙනුවෙන් බලා සිටිය යුතු නෑ. ඒ වගේම පාසල් අධ්‍යාපනය නොලැබූ කෙනෙක්ටත් ජීවිතය සාර්ථක කර ගන්න බැරි නෑ. ජීවිතයේ අපි කාටවත් බලාපොරොත්තු වන හැම දේම ලැබෙන්නේ නෑ. මේ හැමදේම සිහියේ තබාගෙන ජීවිතය විඳවන්නේ නැතිව විඳින්න උත්සාහ කරන්න.

අක්කේ මම සාමාන්‍ය පෙළ සමත් අවුරුදු 25 ක තරුණයෙක්. මම රැකියාවක් බලාපොරොත්තුවෙන් පසුගිය ඡන්ද කාලේදී දේශපාලනඥයෙක්ට උදව් කළා. අනේ ඒත් දැන් ඔහු පක්ෂය මාරු කළා. මට රැකියාවක් ලබා දුන්නෙත් නෑ. ඒ කාලේ නම් මං පොඩි ජොබ් එකක් කළා. ඒත් මැතිවරණ කාලේ මං රැකියාවට නොගිය නිසා මට ඒ රැකියාවත් නැති වුණා. අනේ අක්කේ මම හරිම අසරණයි.

නිශාන් – නිකවැරටිය

ඕනෑම දෙයක් ගැන ඕනෑවට වඩා බලාපොරොත්තු තියා ගන්න එපා මල්ලී. ඔයා අවුරුදු 25 ක්ම ජීවත් වුණේ ඔයාගේ ශක්තියෙන් සහ ඔයාගේ දෙමාපියන්ගේ ශක්තියෙන් මිසක් ඒ දේශපාලනඥයා නිසා නොවෙයි. ඔයා තව එක පාරක් ඔහුගෙන් ඉල්ලීමක් කරන්න. නමුත් තමන්ගේ ආත්ම ගරුත්වයත් රැකගෙන ජීවිතයට මුහුණ දෙන්න උත්සාහ කරන්න මල්ලී.

මම පුද්ගලික ආයතනයක අවුරුදු 3 ක් නේවාසිකව අධ්‍යාපනය ලැබුවා. ඒ කාලයේදී මම දුක සැප බෙදා ගත්තේ මගේ යාළුවන් සමඟ. අපේ පාඨමාලාව අවසන් වෙන්න සති තුනයි තියෙන්නේ. මගේ යාළුවන්ව දාලා යන්න මට හිත හදා ගන්න බෑ. යාළුවෝ නැති මගේ ජීවිතය හරිම පාළුයි අක්කේ. මට මගේ හිතේ තියෙන දේවල් බෙදා ගන්න මට යාළුවෝ ඕන අක්කේ. අනේ මගේ හිත හදා ගන්න මොනව හරි කියන්නකෝ.

නෙළුම්කා මිහිරාණි – පිටකෝට්ටේ

යාළුවෝ දාලා යන්නම වෙනවා මගේ නංගෝ. දැන් වගේම ඔයාට රැකියාවක් කරන තැනකදිත් ඒ වගේම හොඳ යාළුවෝ හමුවේවි. ඔයාට දුරකථනයෙනුත් යාළුවන්ට කතා කරන්න පුළුවන්. තනියම ඉපදුණු අපි ජීවිතයේ අභියෝගයන්ට අභියෝග කරමින් ඉදිරියට යන්නත් ඕනෑ තනියම.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු