මෙවර හොඳම කෙටි නාට්‍ය නිළිය

රොනිකා චාමලී

ලංකාවේ කොපමණ තුංමං හන්දි තිබුණත් රදාවානේ තුංමං හන්දිය එයට වඩා ප්‍රසිද්ධය. ඒ මහගම සේකරගේ තුං මං හන්දිය නිසාය. මහා ගත්කරු කේ. ජයතිලකයන් උපන්නෙත් ඒ පළාතේය. මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ කෙටි නාට්‍ය හොඳම නිළිය වූ ඇය උපන්නෙත් ඒ තුංමං හන්දිය කිට්ටුවය. ඇය රොනිකා චාමලීය. මචං චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑවෙත් ඇයයි.

රොනිකා කොහොමද ඔබ කලාව හා මේ තරම් දුරක් ආවේ?

කිරිඳිවැල මහා විද්‍යාලයෙන් හා ගම්පහ යශෝධරා බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේ පටන් මා රංගනයට යම් තරමක දක්ෂකමක් දැක්වූවා. උසස් පෙළ වාණිජ අංශයෙන් මුහුණ දෙන්න සිතාගෙන වසරක් පමණ එය හැදෑරුවත් මගේ ඇඟේ කලාව උපතින්ම පිහිටලා තියෙන බව වැටහුණා. එම නිසා මම නැවත වසරක් පමණ කලා විෂයයන් පාඩම් කරලා කලා අංශයෙන් සෞන්දර්ය විශ්ව විදාලයට තේරුණා.

මේ කාලයේදී දිලිප් ඕකඳපොළ මහතාගේ මඟ පෙන්වීම යටතේ මහගම සේකර කලා කවයේ සාමාජිකාවක්ව සිටියා. මේ සියලු දේ අතරේ පරාක්‍රම නිරිඇල්ල මහතාගේ ‘ජන කරළිය’ නාට්‍ය කණ්ඩායම හා එක්වුණා. එතුමාගේ නිවැරැදි මඟ පෙන්වීම යටතේ මම වේදිකා රංගනය ගැන උසස් අන්දමේ අවබෝධයක් ලැබුවා.

එතකොට විශ්ව විද්‍යාල ජීවිතය?

‘ජන කරළිය’ සමඟින් දේශ දේශාන්තරයේ යෑමට තිබූ ආශාව මෙන්ම රඟපෑමේ නොතිත් කැමැත්ත නිසාම මම විශ්වවිද්‍යාල ජීවිතයෙන් සමු ගත්තා. ඇත්තටම මට රඟපෑම ඊට වඩා විශාල වගකීමක් වුණා. රංගනය කියන්නේ මගේ ආත්මය හා බද්ධ වුණු දෙයක්.

‘ජන කරළියට’ සම්බන්ධවීමෙන් ඔබට ලැබුණේ මොනවාද?

එච්. ඒ. පෙරේරා, ගාමිණී හත්තොටුවේගම, පරාක්‍රම නිරිඇල්ල ආදීන්ගේ මඟ පෙන්වීම මත රංගනය පමණක් නොවෙයි. අධ්‍යක්ෂණ කාර්්‍යයත්, වේෂ නිරූපණය ආදී රංග කලාවට අදාල සියලු දේ හොඳින් ප්‍රායෝගිකත්වය සමඟින් ඉගෙන ගත්තා.

විදේශ රටවල රංග ක්‍රම විධි ඒ රටවල සංස්කෘතිය යටතේ ඉගෙන ගන්න ලැබුණා. අද මම සම්මානයට පාත්‍ර වුණේ පරාක්‍රම නිරිඇල්ල මහතා ප්‍රමුඛ ජන කරළිය නාට්‍ය කණ්ඩායමෙන් ලැබූ ආභාෂය, පන්නරය නිසාමයි.

මචං චිත්‍රපටයට සම්බන්ධ වුණේ?

දිනක් අහඹු ලෙස ටී. වී. ටී. ආයතනයට ගියා. එහිදී දමයන්ති ෆොන්සේකා මහත්මියව මට හඳුනා ගන්නට ලැබුණා. ඔය දිනවලම තමයි උබර්තෝ පැසලෝනී මචං චිත්‍රපටය සඳහා නළු නිළියන් තෝරා ගත්තේ.

දමයන්ති ෆොන්සේකා මහත්මියගේ නිර්දේශය මත මම ඒ චරිතයට ගැළපෙන බව ඔහු පැවසුවා. ඇත්තටම ‘මචං’ චිත්‍රපටයත් මගේ ජීවිතයේ එක් සංධිස්ථානයක්. මේ වන විට මා රඟපෑ එකම චිත්‍රපටය මචං චිත්‍රපටය විතරයි.

ටෙලි නාට්‍යවල රංගනයේ යෙදිලා තියෙනවද?

නැහැ. මේ කාලයේ නිිර්මාණය වන බොහෝ ටෙලි නාට්‍යවල රඟපෑමට යමක් නැහැ කියා මා සිතනවා. නමුත් අතලොස්සක් හොඳ නිර්මාණ තිබෙනවා. අනිත් කරුණ තමයි වේදිකා නාට්‍ය ශිල්පිනියක් ලෙස වේදිකාවේ කාර්යබහුල වුණාම ටෙලි නාට්‍ය සඳහා යොමුවෙන්න කාල වේලාවක් නැහැ.

දමිළ භාෂාවෙන් නිර්මාණය වන බොහෝ වේදිකා නාට්‍යවලට ඔබේ දායකත්වය ලැබෙනවා?

ඔව්, ඒ සඳහා නිසි ආභාෂය ලැබුවේත් ‘ජන කරළිය’ නිසාමයි. ඒ වගේම ජන කරළියේ සිටින මාගේ ද්‍රවිඩ සහෝදර සහෝදරියන්, පරාක්‍රම සර් ඇතුළු කණ්ඩායම නිසා මා එය ඉටු කරනවා. රූපණ කලාවට භාෂාව කොහෙත්ම බාධාවක් නොවේ.

ඔබේ ජීවිතය පවත්වාගෙන යෑමට වේදිකා නාට්‍යවලින් ලබන ආදායම සරිලනවාද?

අපේ රටේ වේදිකා නාට්‍ය කලාවට තවම වෘත්තීය මට්ටමක් ලැබිලා නැහැ. රාජ්‍ය පාර්ශවයෙන් හෝ වෙන යම් පාර්ශවයකින් මේ ගැන හොයලා බලන්නෙත් නැහැ. සම්මාන උළෙලකින් පසු මේ කලාකරුවන්ගේ හෙට දවස ගැන නියමිත සැලැස්මකුත් නැහැ.

මේ වේදිකා නාට්‍ය පවත්වාගෙන යෑමට ඇප කැප වෙලා වැඩ කළ යුතුයි. නමුත් ඒ සඳහා නිසි ආදායමක් අපට නැහැ. ඇත්තටම වෘත්තීය වේදිකා රංගන ශිල්පිනියක් ලෙස මෙයින් ලැබෙන ආදායම ජීවත්වීමට කොහෙත්ම සරිලන්නේ නැහැ. මම තවමත් මගේ මව්පියන්ගෙන් ජීවත් වෙන්නේ.

ඔබට මේ වන විට සම්මාන කොපමණ ලැබිලා තියෙනවද?

2010 වසරේ හොඳම නිළිය ලෙස මැටි කරත්තය නාට්‍යයටත්, 2012 අඳුර සහ එළිය කෙටි නාට්‍ය වෙනුවෙන් හොඳම නිළිය ලෙසත්, මචං චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් කුසලතා සහතිකයකුත් ලබා තිබෙනවා.

තව පාසල් කාලයේදී නම් බොහෝමයක් සම්මානවලට පාත්‍ර වෙලා තියෙනවා. දෙමළ නාට්‍ය සඳහාත් සම්මාන ලබා තිබෙනවා.

විදෙස් වැඩමුළුවලට සහභාගී වී තිබෙනවාද?

මැටි කරත්තය නාට්‍ය සමඟින් ඉන්දියාවේ වැඩමුළු කිහිපයකට සහභාගී වෙලා තියෙනවා. ලබන මාසයේදී ‘දිල්ලි ඩාන්ස් ට්‍රේනිං ස්කූල්’ හී මාස තුනක වැඩමුළුවක් සඳහා සහභාගී වෙනවා. ඒ සඳහා මමත් මගේ දමිළ සොහොයුරිය ලිලාවතිත් සහභාගී වෙනවා.

ඔබට මෙවැනි නිළියක් වීමට අත හිත දුන්නේ?

පරාක්‍රම නිරිඇල්ල, රවීන්ද්‍ර මාපිටිගම, දිලිප් ඕකඳපොළ, අමිත්ත වීරසිංහ ජන කරළියේ අපේ සියලුම හිතවතුන්. මගේ අම්මා තාත්තා විශේෂයෙන්ම මතක් කළ යුතුයි. මට මේ රංගන ගමන යාමට උදව් කරන දමයන්ති ෆොන්සේකා, ප්‍රසන්න විතානගේ ඇතුළු සැමට ස්තුතියි.

ඔබට අමතනවා නම්?

0771283949 දුරකතන අංකයට කතා කරන්න.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු