කන්ද උඩරට වීදි නාට්‍යකරු

විරාජ් කරුණාමුණි

නුවර කිරිබත්කුඹුර ග්‍රාමයේ වෙසෙන විරාජ් රත්නවීර කරුණාමුණි කලාකරුවකු ලෙස අවුරුදු තිහක් පුරාවටම වේදිකාව සිය නාට්‍ය නිර්මාණවලින් පෝෂණය කළේය.

ඔහුගේ ප්‍රථම වේදිකා නාට්‍යය 1981 වර්ෂයේදී ‘දේවධර්ම ජාතකය’ කරළියට ගෙන ආවේය. නාට්‍යයට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාම නාට්‍ය කලාව පිළිබඳ තව තවත් අවධානය යොමු කරන්නට ඔහු පෙළඹිණි. ආචාර්ය ගාමිණී හත්තෙටුවේගම මහතාගේ වීදි නාට්‍යයක් දකින්නට ලැබීම නාට්‍ය කලාව පිළිබඳව ඔහුට ලැබුණු තවත් උත්තේජනයක්ම විය. 1988 දී හත්තෙටුවේගම මහතාගේ නාට්‍යය පිළිබඳ වැඩමුළුවකට සම්බන්ධ වූ ඔහුට 2001 වරසයේදී වීදි නාටය කණ්ඩායමක් සමඟ සිය රංගන හැකියාවන් එළි දක්වන්නට අවස්ථාව ලැබිණි.

‘සන්දේශය නාට්‍ය හා වීදි නාට්‍ය කණ්ඩායම’ මෙම කලාකරුවාගේ මූලිකත්වයෙන් 1996 දී ආරම්භ කරන ලද පළමු නාට්‍ය කණ්ඩායමයි. විරාජ් රත්නවීර කරුණාමුණි නම ඇසූ සැනින් මධ්‍යම පළාත් ප්‍රේක්ෂක ජනතාව ඔහු හඳුනා ගන්නට ටිකෙන් ටික පුරුදු විය.

‘තීන්දුව’ ඔහු විසින් රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට ඉදිරිපත් කරන ලද තවත් අපූරු නාට්‍යයකි. රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල සඳහා 2009 වර්ෂයේදී වඳින්න ගිය දේවාලේ සහ 2011 වර්ෂයේදී ‘නිමාවක් නැති කතාවක්’ යන නාට්‍ය ඉදිරිපත් කරන ලදී.

‘සුබ නිමිත්තක්’ සංස්කෘතින අමාත්‍යාංශ අතර පැවැත් වූ ප්‍රතිභා නාට්‍ය තරඟාවලිය සඳහා නිර්මාණය කළ තවත් නාට්‍යයකි. ‘සුභ නිමිත්තක්’ නාට්‍ය ඉදිරිපත් කිරීමෙන් පසු එය ඔහුගේ නාට්‍ය කණ්ඩායමට ද සුබ නිමිත්තක්ම විය. ඒ එම නාටකයට පසු 2007 වර්ෂයේදී නාට්‍ය හා රංග කලාව පිළිබඳ දින දෙකක් කැලණිය විශ්ව විද්‍යාලයේදී හැදෑරීමට අවස්ථාව උදා වීමයි.

ඔහුගේ කලා දිවියේ වැඩි කාලයක් වෙන් වූයේ වීදි නාට්‍ය පිළිබඳ හැදෑරීමටයි.

ඔහුගේ වීදි නාට්‍යට ප්‍රේක්ෂක පිිරිසක් සමීප වූයේ නිරායාසයෙනි.

බොහෝ ප්‍රේක්ෂක ඉල්ලීම මත ‘අපේ කාලේ කාලගෝල’ නාට්‍ය නිර්මාණය කරන්නේ 2011 වර්ෂයේදීය.

2012 පෙබරවාරි 26 පළමු දර්ශනයෙන්ම බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ ආකර්ෂණය දිනා ගන්නට ‘රයිගමයයි ගම්පළයයි’ සමත් විය.

ඔහුගේ නාට්‍ය දිවියේ 30 වෙනි සංවත්සරය සැමරීම පිණිස සහ කලා දිවිය ඇගයීමට ඉඩම්පිටිය සන්දේශය කලා කේන්ද්‍රයේදී නාට්‍ය මාලාවක් රඟදැක්වීමට නියමිතය.

සම්මාන සහතිකපත්වලින් ඇගයුම් ලැබූ නාට්‍ය මාර්තු 27 සිට 31 දක්වා දින 05 ක් පුරා වේදිකා ගත කිරීමට නියමිතව ඇත.

රයිගමයයි - ගම්පළයයි, අපේ කාලේ කාලගෝල, යකාගේ කතාව, මේ කොයි යන්නේ යන වේදිකා නාට්‍ය සහ දේව කැමැත්ත, සුබ නිමිත්තක්, නිමාවක් නැති කතාවක් යන කෙටි නාට්‍ය ඒ අතර වෙයි.

එම නාට්‍යවලට රංගන දායකත්වය සැපයූ නළු නිළියන් සම්මානයට පාත්‍ර කිරීම ද අවසාන දිනයේ (31) සිදු කෙරෙයි. ඒ සඳහා ප්‍රදේශයේ ප්‍රභූවරු ද සහභාගිවීමට නියමිතය.


සෙනෙහස දෙවොලකි පුද නොහැකි

බන්දුල ජයසිංහ ගී රස විඳින්න 31 දා

කඳුළු බිඳක් මා වෙනුවෙන්

නොසලන්නයි ඔබේ ඇසින්

ආදරයේ අනුකම්පා

අයැදින්නට එපා මගෙන්

රූකාන්ත ගුණතිලක සංගීතය මුසු කෙට ගයන මේ ගීය නොඇසූ සංගීත ලෝලියකු නැති තරම්.

ප්‍රේමවන්තයකුගේ විරහ වේදනාව මනාව කැටිගන්වා ඊට ආදරයේ සොඳුරු නිමේෂයන් එක් කොට රචිත මෙහි පද ගෙත්තම් කළේ බන්දුල ජයසිංහ. මේ ගීතය පමණක් නොව ඔහුගේ අතින් ලියවුනු ගීත බොහොමයක් අතිශය ජනප්‍රිය වුණා. ඉස්සර බැඳී පෙම, ඔබගෙ දෝතින් පිදූ ආදරේ (සෝමසිරි මැදගෙදර), සුදු පිරුවටයයි, ඈත පාවී ගියාවේ (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි) සෙනෙහස දෙවොලකි (රූකාන්ත), සිහින පාරාදීසයේ (ලක්ෂ්මන් හිල්මි), අවන්හලේ මා, පාරාදීසයේ (අතුල ශ්‍රී ගමගේ), දේවදාසි (සන්ෆ්ලවර්) ඒ අතරින් අතලොස්සක්.

මේ සඳහන් කළ ඔබ හද බැඳගත් ගී පොකුරට අමතරව බන්දුල ජයසිංහයන්ගේ සිතෙහි මැවුණු තවත් ආදරණීය ගේය පද නිමැවුම් රැසක් ඔබට රස විදින්න පුළුවන් මෙම මස 31 වැනිදා සවස 3.00 ට පාදුක්ක සිරි පියරතන විද්‍යාලීය නව රංග ශාලාවට පැමිණියොත්.

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම සංගීතය සපයන ‘සෙනෙහස දෙවොලකි’ නම් වූ මෙම ප්‍රසංගය සඳහා වික්ටර් රත්නායක, සෝමසිරි මැදගෙදර, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, රූකාන්ත ගුණතිලක, එඩ්වඩ් ජයකොඩි, චන්ද්‍රලේඛා පෙරේරා, සමිතා මුදුන්කොටුව, ලක්ෂ්මන් හිල්මි, රන්ජන් සාලිය, ශානිකා මධුමාලි, ප්‍රදීපා ධර්මදාස, අතුල ශ්‍රී ගමගේ, බණ්ඩාර අතාවුද, ජගත් වික්‍රමසිංහ, නිමල් ගුණසේකර, සිල්වි සුජාතා ඇතුළු බොහෝ පිරිසක් බන්දුල ජයසිංහ ගී ගායනා කිරීමට නියමිතයි.

පාදුක්ක එක්සත් තරුණ කැල ඉදිරිපත් කරන මෙම ප්‍රසංගයේ සාදර අනුග්‍රහය විජිත සමූහ ව්‍යාපාර ආයතනයෙනි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු