එඩ්වඩ්ගේ ‘මාරම්බරී ’පස් වැනිදා නෙළුම් පොකුණේදී

විශාරද එඩ්වඩ් ජයකොඩි කියන අපගේ ආදරණීය කෝකිලයාට ඔබ කොයි තරම් ආදරේද කියලා අප දන්නවා. ඒ ආදරය තවත් අර්ථවත් කරන්න ‘මාරම්බරී’ අරගෙන එන්න ඔහු මේ දවස්වල සූදානම් වෙන බවක් අපට ආරංචි වුණා.

‘ඇත්තද මේ?’

ඔහුගේ මුවඟ රැඳුණු සුපුරුදු සිනහව අපට පැවසුවේ ඒ කාරණය ඇත්තක් බවයි. ඒ විතරක් නෙමෙයි කාලයකට පස්සේ එඩ්වඩ්ගේ උපන් දිනයට ලැබෙන අපූරු තෑග්ගක් කියලත් කියන්න පුළුවන්.

‘මාරම්බරී’ කියන මගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය පැවැත්වෙන්නේ අප්‍රේල් මාසයේ 05 වැනිදා සවස 6.30 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී. තිස්පස් වසරකට අධික කාලයක් සංගීත ක්ෂේත්‍රයේදී කළ කී දෑ වෙනුවෙන් ලැබුව අස්වැන්න තමයි මා මේ නෙළා ගන්නේ. ඒ සාර්ථකත්වය කරා යමින් මාරම්බරී ප්‍රසංගය ආරම්භ කරන්නට සුදුසුම කාලය ලෙස මා දැක්කේ 2010 වර්ෂයයි. එදා ආරම්භ කළ මාරම්බරී ප්‍රසංගයට අදත් ලැබෙන ප්‍රතිචාර මා පුදුමයට පත් කරනවා.

මෙවර නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ පැවැත්වෙන මාරම්බරී ප්‍රසංගය ඒ රඟහලේ තාක්ෂණය භාවිත කරමින් වගේම වෙනස්ම විදියකට කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. අර්ථවත්, රසවත්, සාරවත් ප්‍රසංගයක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කිරීමට සිතන මා ඒ සඳහා ප්‍රේම ගීත, චිත්‍රපට ගීත, වේදිකා ගීත, ටෙලි නාට්‍ය ගීත, දේශාභිමාන ගීත, ළමා ගීත ආදී සියල්ල නියෝජනය වන ආකාරයට ඇතුළත් ගී තෝරා ගැනීමත් විශේෂත්වයක්.

ගායනයෙන් විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් වගේම ශාරන්‍යා ජයකොඩිත් සහාය වෙනවා. සංගීතයෙන් 1977 දී ඒකල ගායනයන් ඉදිරිපත් කළ මොහොතේ පටන් මා සමඟ උන්නු රෝහණ වීරසිංහත්, නර්තන අධ්‍යක්ෂණයෙන් චන්න විජේවර්ධන වගේම චන්දන වික්‍රමසිංහත්, කථනයෙන් වසන්ත රෝහණගෙන් ලැබෙන සහයෝගය මට අපමණයි. ‘කරදිය ගැඹරේ – තුන්යම ගෙවුණේ’ ගීතයෙන් ඇරැඹි මගේ ඒකල ගායනයේ පටන් කුස - පබා චිත්‍රපටයේ තේමා ගීතය දක්වා ගැයුණු ගීත ප්‍රසංගයට ආලෝකයක් ගෙනේවි.

‘මාරම්බරී’ ප්‍රසංගය සංවිධානය කරන්නේ පේරාදෙණිය 82 ඉංජිනේරු පීඨ කණ්ඩායමයි. ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් සඳරුවන් ජයවික්‍රම නිෂ්පාදනයේ දායක වෙනවා. ‘මාරම්බරී ප්‍රසංගය බලන්න ඔබත් එන්න’ ඔබට මා ආරාධනා කරන්නේ ආදරයෙන්.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු