මැරලින් සමඟ මගේ ප්‍රේමනීය දින හත

ඈ කොලින්ගේ අත ගෙන උද්‍යානය මැදින් ඇවිද යන්නට වූයෙන් සුපුෂ්පිත මල් පවා ලැජ්ජාවෙන් හිස බිම නවා ඉන්නට විය. මල්වලටත් ලැජ්ජා හිතෙන තරමට ඈ සොඳුරුය. කෙසඟ ශරීරැති කොලින් ඇගේ රූ සිරියට කිසිසේත් නොගැළපෙන බවක්ම පෙන් වූ හෙයින් ඕ වඩාත් අලංකෘතව දිස් විය. රිදී තිරයෙන් බැසවිත් කෙසඟ කොල්ලෙකු හා උද්‍යානයක නිකරුනේ කල් යවන්නී මැරලින්ය. ඕ මොන්රෝය.

කෙටි වූත්, කැරැලි වූත් ඇගේ තඹ පැහැ කොණ්ඩය සුළඟ විත් ගෙන යන්නට තැත් කරන්නේ සෙල්ලක්කාර සිතුවිල්ලක එල්බගෙනය. දැන් හදිසි අවස්ථාවකි. උද්‍යානය අසබඩින් ගලා යන දිය දහර කෝළව, සීතලව ගලා යන්නට විය. ඕ කිරිගරුඬ ශරීරය හෙළි කරමින් ඇඳුම් උනා දමන්නට පටන් ගති. මේ හදිසි තත්ත්වයකි. කොලින් වඩාත් උත්කර්ෂවත්තව බලා සිටියා පමණි.

1956 වර්ෂයේ එක් දිනෙක ඈ එංගලන්තයට ගියේ ලෝරන්ස් ඔලිවර්ගේ සිනමාපටයක රඟපෑමටය. මේ ඇගේ රංගන ජීවිතයේ උත්කර්ෂවත් කාල වකවානුවයි. සිනමාපටයේ රඟපෑම අතරතුරු ප්‍රකට නිළියකට හමු වන අහඹු චරිතය කොලින් ක්ලාක්ය.

චිත්‍රපටය තැනීම ගැන දින පොතක් ලියන ඔහු මැරලින් ගේ කෙටිකාලීන පෙම්වතා බවට පත්වීමත්, මැරලින්ගේ විවාහයේ සිහින් සිදුරුත් අපට පෙනී නොපෙනී යයි.

ලෝකයම ඇයට ආදරය කරන කල්හි ඈ එක් අංශුවක ආදරයක් නොමැතිව මධු බොමින් කල් ගෙවයි. නින්දක ස්වභාවික පැමිණීම පමා කරන විට ඕ කෘත්‍රිම නින්දක් ප්‍රාර්ථනා කරයි. මේ ඇගේ ජීවිතයේ එක් කුඩා හරස්කඩකින් ද ස්වල්ප අංශුවකි.

සීමන් කර්ටීස් අධ්‍යක්ෂණය කළ ‘මයි වීක් විත් මැරලින්’ සිනමාපටයේ තිර රචනය ඒඩ්‍රියන් හොජස් සහ කොලින් ක්ලාක්ගේය. සුප්‍රකට මැරලින් මොන්රෝ ගේ චරිතය රඟන්නේ මිචෙල් විලියම්ස්ය.

කෙසඟ කොලින් ක්ලාක් තරුණයාගේ චරිතය රඟන්නේ එඩී රෙඩ්මේයන්ය. පවුම් 6,400,000 ක ඇස්තමේන්තුවක් අනුව තැනුණු ‘මයි වීක් විත් මැරලින්’ මේ වන විට උපයා ගත් ආදායම අමෙරිකානු ඩොලර් 14,554,944 කි.

2011 දෙසැම්බර් 23 වැනිදා නිකුත් වූ සිනමාපටය ඉතා විශාල අවධානයක් සහ ජනප්‍රියත්වයක් අත් කර ගනී යැයි බලාපොරොත්තු වුව ද එය එසේම නොවීය.

නමුත් 84 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නිළියගේ කැටගරිය යටතේ ‘මයි වීක් විත් මැරලින්’ හි මැරලින් මොන්රෝගේ චරිතයට පණ පෙවූ මිචෙල් විලියම්ස් නිර්දේශ විය. එහෙත් ‘ද අයන් ලේඩි’ සිනමාපටයේ කළ රඟපෑම වෙනුවෙන් මෙරිල් ස්ට්‍රිප් ඉතාමත් පහසුවෙන් ඒ සම්මානය හිමි කර ගන්නා ලදී.

මැරලින්ගේ ජීවිතයෙන් අංශුමාත්‍රයක් යැයි කිව හැකි ‘මයි වීක් විත් මැරලින්’ සැබවින්ම සැබෑ මැරලින්ගේ චරිතය විදහා දැක් වූවේදැයි සංකා සහිතය. ඕ අති දක්ෂ නිළියකි. අපකීර්තිමත් ප්‍රසිිද්ධියක් සමඟ හොලිවුඩයේ සැරිසැරූ මැරලින් ඒ අපකීර්තියෙන් ගැලවී යාමට උත්සාහ නොකළ අයෙකි. ඕ හොලිවුඩය උඩු යටිකුරු කළ නිළියකි.

ලිංගික සංකේතයක් ලෙස හොලිවුඩය මැරලින්ව ලෝකයටම හඳුන්වා දුන් අතර ඈ විසඳාගත නුහුණු සංවේදී කාරණා බොහොමයක් සමඟ හුදෙකලා සටනක නිරත වූ තැනැත්තියකි. ඒ ගති ලක්ෂණය සිනමාපටය පුරා ගලා යාමට අධ්‍යක්ෂවරයා උත්සාහ නොගත්තේ මන්දැයි සිතා ගත නොහැකිය.

කෙසේ නමුත් මැරලින්ගේ චරිතයට පණ පොවන මිචෙල් විලියම්ස් ශරීර ස්වභාවයෙන් මැරලින් හා සමාන බව නොකියාම බැරිය. එසේම මැරලින්ගේ චරිත ලක්ෂණ පෙන්වීමේ ඈ තුළ වූ බුහුටි බවට පැසසුම් ලැබිය යුතුය.

මැරලින්ගේ චරිතය රඟපෑමට නිළියන් තේරීමේ අවස්ථාවට ස්කාලට් ජොහනසුන්, කේට් හඩ්සන්, ඇමී ඇඩම්ස් සහ මිචෙල් විලියම්ස් තරඟ කළ අතර ඒ දුර්ලභ අවස්ථාව දිනා ගනු ලැබූයේ මිචෙල් විලියම්ස්ය. ඒ භාග්‍යය සමඟ ඈ කැරළි කොණ්ඩය විහිදුවමින් සිනමාපටයේ එහා මෙහා ලාලිත්‍යයෙන් ඇවිද යනු පෙනෙයි.

ඕ නාන බාල්දියක බැස ගෙන සබන් බෝල රාශියක් මත පිහිනමින් දිය නානු පෙනෙයි. සිහින් මිමිණුමකින් ගීතයක් ගලා යයි. ඕ වෙනම ලෝකයක සිහින රාශියකය.

නිළියක සෑම විටකම නිළියක් පමණක් ම නොවන බව විශද කරන ඇගේ බොළඳ හැසිරීම සිත් වශී කරන සුලුය. නිළියකට එක් මොහොතකට හෝ සාමාන්‍ය ගැහැනියක වන්නට ඉඩ නොදෙන සාමාන්‍ය සමාජය ඇගෙන් නිළියක්ම බලාපොරොත්තු වෙයි.

මැරලින් ඒ නොතකයි. ඕ ප්‍රේමයේ බැඳෙමින්, එහි කිමිදෙමින් යළිත් බිඳෙමින් දිවි ගෙවයි. රාත්‍රීන් පුරා හඬමින් නිදි නොලබමින් ගෙවන කාලය ගැන ප්‍රේක්ෂකයන්ට කම්පා හිතෙන්නේ ඇගේ රංගනයේ බුහුටිකම හේතුවෙනි.

1947 පටන් ගත් මැරලින්ගේ රඟපෑම ‘ද ෂොකින් මිස් පිල්ග්‍රිම්’ හරහා සිනමාව හඳුනා ගති. ඉන් පසුව ඩේන්ජරස් ඉයර්ස්, යූ වර් මින්ට් ටූ මී, ලව් හැපි, ඕල් එබවුට් ඊච්, හෝම් ටවුන් ස්ටෝරි, ලව් නෙස්ට්, හව් ටු මැරි අ මිලියනර්, බස් ස්ටොප්, සම් ලයික් ඉට් හොට් ආදී සිනමාපට තෙත් මෘදු සුළඟක් සේ ඇදී ආවේය.

ඒ සුළඟේ දැවටුණු බොහෝ දෙනා වශී වූ බව කීම අනවශ්‍යය තරම්ය. ඈ වසඟකාරී බව ලෝකය දැන ගත්තේ ඈ රඟපෑ පළමු සිනමාපටයෙනි. ‘මිනිස්සුන්ට හැම තිස්සෙම පේන්නෙ මැරලින් මොන්රෝව විතරයි. ඒත් එහෙම කෙනෙක් එතන නෑ කියලා තේරුම් ගත්ත ගමන්ම එයාල මාව අතෑරලා පලා යනවා . . .’

මේ සිනමාපටයේ එක් දෙබසකි. ඒ දෙබසින් මුලු මහත් චිත්‍රපටයම හකුලා දක්වා ඇත්තා සේය. සැබවින්ම එතැන එවන් නිළියක් සිටියේම නැත. නිළියකගේ රංගනය හැරුණු කොට ඒ රංගය හරස් කඩක් සේ විච්ඡේදනය කොට එතුළ ඈ සෙවීමේ අසාධාරණයට අවසන නිළිය ජීවිතයෙන් වන්දි ගෙවයි.

සිනමාපටය හැර දමන, අමතක කරන ඇගේ කුප්‍රකට ජීවිතයේ සුමුදු තැන් ප්‍රේක්ෂකයන් දකියි. එහෙත් සිනමාකරු විටෙක මානුෂවාදී වීමට හිතට ගෙන ඇති සැටියකි. තවත් විටෙක මැරලින්ට කොහෙත්ම නොගැළපෙන දුබලකමක් හුවා දැක්වීමට තැත් කරයි.

මැරලින් මේ යැයි මිටි කොට අල්ලා ගැනීමට යමක් බලාපොරොත්තු වන ප්‍රේක්ෂකයාට ඕනාවටත් වැඩියෙන් ලබා දෙන සිනමාපටය හිටි වනම ලබා දුන් සියල්ලම නැවත ලබාගෙන නිශ්ශබ්දව සිටියි. මැරලින් කියවීමට වඩා සිනමාපටය කියවීම වෙනස් වන්නේ එහෙයිනි.

එහෙත් මේ මැරලින් නම් සුප්‍රකට තාරකාව ලෝකයට හඳුන්වා දීමට සුදුසුම ආකාරය නොවේ. ඕ මීට වඩා තුඟුය. මීට වඩා වර්ණවත්ය. එය නැරැඹූ අප අවර්ණය. ඉතා මිටිය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු