සැබෑවී සිහිනය එසේ

තරුෂි පෙරේරා

ඈට තිබෙන්නේ කතා කරන ඇස් දෙකක්.

ඇගේ උවන දෙස බැලුව මට හිතුණේ ඉබේමයි. ඒ දෙනෙත් වගේම උවනේ ඇඳෙන සුන්දර සිනහවත් ඇගේ රුව තවත් සුන්දර කරන වග නම් රහසක් නෙමෙයි.

තරුෂි පෙරේරා.

ඒ සිනහවත් අරගෙනම පසුගිය දිනක ඈ සරසවියට ගොඩ වැදුණා.

ඉතිං,

‘ජීවිතය සුන්දරයි’

ඈ කිවේවේ සිනහ වෙන ඇස් දෙකෙන් කතා කරනා ගමන්ම.

එහෙම කියන්නේ,

‘ජීවිතේ මම අපේක්ෂා කළ දේවල් බොහොමයක් මට අද වෙනකොට ලැබිලා තිබෙන නිසාවෙන්. පසුගිය දවස්වල කාලයක පටන් මගේ හිතේ තිබුණ හීනයක් සැබෑ වුණා. ඒක මම මුලින්ම කියන්නේ සරසවියට තමයි.’

ඇගේ සුන්දර සිනහවේ සැඟවුණු සැබෑ වුණු හීනය මොකක්ද?

තරුෂි එහෙම කියනා විටම ඇති වුණු ගැටලුවට ඈ පිළිතුරු බැන්දා.

‘මම රංගනයට අවතීර්ණ වෙන්නේ ඒ ගැන කිසිම සූදානමක් නොතිබුණු අවදියකයි. මේ නිසා ඒ රඟපෑමේ කටයුතුª සමඟ මා කාර්යබහුල කෙනෙක්ගේ තත්ත්වයට පත් වුණා.

සාර්ථකව රංගන කටයුතු කිරීමට නම් ඒ සඳහා කාලයක් අවශ්‍යයි. කැප කිරීමක් අවශ්‍යයි. ඒ කැප කිරීම නිසාම මගේ එක් හීනයක් සැබෑ කර ගන්නට නොහැකි වුණා. රංගනයට පැමිණීමට ප්‍රථමයෙන් මා රූපලාවන්‍ය ශිල්පිනියක්.

ඒ කාලයේ මා හිතාගෙන හිටියේ දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස කලඑළි බසින්නයි. ඊට වටපිටාව හදාගෙන තිබුණු කාලයේදීම මට රංගනයට යොමුවීමට සිදු වුණ නිසා තාවකාලිකව ඒ අදහස යටපත් වුණා. ඒත් ඒ හීනය හැබෑ වුණේ පසුගිය ජනවාරි 25 වැනිදා තලවතුගොඩ අංක 615/බී කියන ස්ථානයේදී. ‘තරු බ්‍රයිඩල් බියුටි’ නමින් ඒ හීනයට මම නමක් දුන්නා.’

හතු පිපෙනවා වගේ රූපලාවන්‍යාගාර බිහිවන සමයක තමයි තරුෂි ඇගේ හීනයට නමක් දෙන්නේ.

‘සාර්ථකත්වයක් තිබේවිද?’

‘මගේ සැලෝන් එකෙන් රූපලාවන්‍ය කටයුතුª වගේම මනාලියන් හැඩ වැඩ ගැන්වීමත් සිදු වෙනවා. මේ සියලු දේවල් කරන්න මම හිතුවේ මට තිබෙන පළපුරුද්ද ගැන හිතලයි. ඒ විතරක් නෙමෙයි, රංගනයේ නියැලුණත් වරින් වර ඒ කටයුතුවල නියැළුණ කෙනෙක් වුණු මට යම් දෙයක් වෙනුවෙන් සියයට සියයක කැප කිරීමක් අවශ්‍යයි.

ඒ කැප කිරීම කරන්න පුළුවන් හොඳම කාලය මේක නිසයි මම සැලෝන් එකක් ආරම්භ කළේ.’

‘සැලෝන් එකයි රඟපෑමයි කියන කාරණා නිසා ඔබ කාර්යබහුල ශිල්පිනියක් වේවිද?

අපේ මතකයට ආවේ ඇගේ රංගනයෙන් හැඩවන රන් සමනලයෝ, සිරි වාසල, නිල්දියරළ කියන ටෙලි නාට්‍ය කිහිපයක්.

‘රංගනයට පිවිසුණු මුල් කාලයේදී නම් මම බොහෝ කාර්යබහුල කෙනෙක්. ඒත් දැන් දැන් නිර්මාණවලට රංගන දායකත්වය සැපයීමේදී යම් තෝරා බේරා ගැනීමක් ඔස්සේයි මම නිර්මාණ සඳහා දායක වෙන්නේ.

විශේෂයෙන් පිටපත කියන දේ බොහොම ප්‍රබලයි. සමහර නිර්මාණවල අපට රඟපාන්න දෙයක් ඇත්තේ නැහැ.

දෙබස් ටිකක් කියලා විතරයි එන්න තිබෙන්නේ. යම් දෙයක් නිරූපණය කරන්නට නැති ඒ චරිත හරියට රේඩියෝ ඩ්‍රාමා එකක් වගේ. ඒ නාට්‍ය නරඹන්න, නරඹන්නන්ට රූපවාහිනිය ඉදිරියට එන්නට අවශ්‍ය නෑ.

කාමරයේ ඉඳගෙන වුණත් මේ ටෙලි නාට්‍ය ඔවුන්ට නරඹන්න පුළුවන්. මේ හේතුª නිසා ඊට වඩා එහා ගිය ටෙලි නාට්‍යයක රඟපාන්න ලැබෙනවා නම් ඒක වාසනාවක්.

එවැනි ටෙලි නාට්‍ය බොහොමයක් සඳහා මම රංගනයෙන් දායක වූ අවස්ථා තිබුණා. එවැනි ටෙලි නාට්‍ය පිළිබඳ මට දැනෙන්නේ ලෝබකමක්.’

ඒ ලෝබකමත් අරගෙන ඈ මේ දවස්වල පුංචි තිරයෙන් ඔබ හමුවට පැමිණෙනවා.

රන් සමනලයෝ හි නිරූෂි ‘ආසයි මං පියාඹන්න’ හි නිකී, ‘සිරි වාසල’ හි සඳා නම් ගැමි යුවතිය, ‘නිල් දිය රළ’ හි මෝක්ෂා නම් මානසිකව පීඩාවට ලක් වූ තරුණිය ආදී චරිතයන් ඔස්සේ.

‘නිකී’ කියන්නේ ඔබ මෙතෙක් රඟපෑ අවිහිංසක යුවතියකගේ චරිතය වෙනස් මඟකට යොමු වුණු චරිතයක් ද?

‘මගේ ප්‍රතිරූපයට හානි වෙන චරිතයක් රඟපාන්න මගේ කැමැත්තක් නැහැ.

ලංකාවේ ජීවත් වන කාන්තාවක් විදියට ඊට අනුරූපීව යන චරිතයන් තෝරා ගන්න තමයි මම නිතරම උත්සාහ ගන්නේ.

නිකී කියන්නේ මට මෙතෙක් ලැබුණු චරිතයන්ට වඩා වෙනස්ම වූ චරිතයක්.

වඩාත් බටහිර පන්නයට යොමු වුණු කතාබහ, හැසිරීම් ඇති නිකීට කාලයකට පස්සේ ඇගේ පැරැණි පෙම්වතා මුණ ගැසෙන්නේ අහම්බෙන්.

නිකී නැවතත් තමන්ගේ පැරැණි පෙම්වතාට ආදරය කරන්න පටන් ගන්නේ ඇගේ සිතේ ඊර්ෂ්‍යාවක් ඇතිවන නිසයි.

ඉදිරියේදී මේ චරිතය සඳහා මගේ රසික රසිකාවන්ගෙන් නොයෙක් ප්‍රතිචාර ලැබෙයි කියලා නම් මම හිතනවා.’

තරුෂිට නටන්න, රඟන්න වගේම ගයන්නත් පුළුවන් කියලා රටම හඳුනා ගත්තේ ‘මෙගා ස්ටාර්’ වැඩසටහනෙන්.

පසුගිය දවස්වල ඔබ ප්‍රසංග වේදිකාවේ දකින්නට ලැබුණේ මේ නිසාමද?

‘සමහර විට ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. කොහොම වුණත් පසුගිය දවස්වල මට දිගින් දිගටම ප්‍රසංග වේදිකාවේ ගී ගයන්න ආරාධනා ලැබුණු කාරණය නම් ඇත්තයි. ඊට ලැබුණු ප්‍රතිචාරත් බොහොමයි.

ඒ හැකියාව මට තිබුණේ උපතින්මයි. උපතින්ම ගෙනා මේ හැකියාවෙන් මම දිගටම ගී ගයනවා.

ඒ වගේම ඉදිරියට මා රඟපෑ ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වීමටත් නියමිතයි.

මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයක රඟපෑමේ කටයුතුත් කරගෙන යන අතරේ සැලෝන් එකේ වැඩ කටයුතුවලට මුල් තැන දෙනවා. මගේ වැඩ කටයුතුවලට උදව් කරන කාර්ය මණ්ඩලයට මා ගොඩක් ස්තුති කළ යුතුයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු