සංකීර්ණ රංගනක සමකාලීන ප්‍රතිභාව

සංගීතා වීරරත්නට සිනමාව තුළ පිය උරුමයක් තිබුණ ද ඇය රඟපෑ මුල්ම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූයේ ඇගේ පියා (තිමති වීරරත්න) නොව රෝයි ද සිල්වාය. එය සිංහල චිත්‍රපටයක් නොව මෙරට නිෂ්පාදිත ඉංග්‍රීසි භාෂීය චිත්‍රපටයක් වීම ද විශේෂත්වයකි. චිත්‍රපටය නම් ‘ඊට්ස් අ මැටර් ඔෆ් ටයිම්’ ය.

කෙසේ වෙතත් සංගීතාගේ ප්‍රථම රංගනය ඇතුළත් වුයේ චිත්‍රපටයක නොව ටෙලි නාට්‍යයකය. එය අධ්‍යක්ෂණය කළේ නම් ඇගේ පියාය. ඒ ‘රේල් පීලි’ ටෙලි නාට්‍යයයි. ඇය එහි ළමා චරිතයක් රඟපෑවාය. ඉනික්බිතිව සංගීතා, සුමිත්‍රා පීරිස්ගේ ‘ගොළු හදවත’ ටෙලි වෘත්තාන්තයේ ද රඟපෑවාය.

1973 දී උපන් සංගීතාගේ සම්පූර්ණ නම ඩියැන් හේමමාලි සංගීතා වීරරත්නය. මූලික අධ්‍යාපනය ලැබුවේ කොල්ලුපිටියේ මෙතෝදිස්ත විද්‍යාලයෙනි.

සංගීතාගේ පියා තිමති වීරරත්න සිංහල සිනමාවේ ප්‍රකට කැමරා ශිල්පියෙක් මෙන්ම අධ්‍යක්ෂවරයෙක් ද වූයේය. ඔහු 1975 දී ‘සංගීතා’ නම් වූ චිත්‍රපටයට එම නම තැබුවේ තම සංගීතා දියණිය නිසාය.

‘ඊට්ස් අ මැටර් ඔෆ් ටයිම්’ චිත්‍රපටයේ රඟපෑමත් සමඟ සංගීතා එක් පැත්තකින් වාණිජ චිත්‍රපටවලත් අනිත් පැත්තෙන් සම්භාව්‍ය යැයි සැලකෙන චිත්‍රපටවලත් රඟපෑමේ අවස්ථාව ලැබිණි.

සබීතා පෙරේරාගෙන් පසු මෙරට වාණිජ සිනමාව තුළ කිසියම් ප්‍රමාණයක හිඩැසක් පැවතිණි. දිල්හානි ඒකනායක, ඩිලානි අබේවර්ධන මෙන්ම සංගීතා ද අඩු වැඩි වශයෙන් පුරවන ලද්දේ එම හිඩැසයි.

එහෙත් එකම අවාසනාව ඔවුන් සිනමාවට අවතීර්ණ වනවිට අපේ වාණිජ සිනමාව බරපතළ ලෙස කඩා වැටී තිබීමයි. හින්දි වීඩියෝ අනුකාරක රැල්ල ක්‍රම ක්‍රමයෙන් රසිකයන් ප්‍රතික්ෂේප කරන්ට පටන් ගෙන තිබිණි. ඉනික්බිතිව එළැඹියේ විකට චිත්‍රපට රැල්ලකි.

දිල්හානිට මෙන්ම සංගීතාට ද එවැනි කොමඩි (මගඩි) චිත්‍රපටවල පවා රඟපෑමට සිදු විය. ඒ ඔවුන් දෙදෙනාම වෘත්තීය වශයෙන් සිනමා රංගනයේ නියැලී සිටි බැවිනි. ‘ලස්සනයි බලන්න’, ‘ළඳුනි ඔබ දෙවඟනකි’, ‘වාසනා වේවා’, ‘චණ්ඩියාගේ පුතා’, ‘පුතුනි මට වාසනා’, ‘නින්ජා ශ්‍රී ලංකා’, ‘රෑ දනියෙල් දවල් මිගෙල්’ සංගීතා රඟපෑ වාණිජ චිත්‍රපට අතර වෙයි.

වාණිජ චිත්‍රපටවල වුවත් තමා රඟපාන චරිතයට කිසියම් සාධාරණයක් ඉටු කරනු වස් සංගීතා කළා වූ කැපවීම ප්‍රශංසනීය වෙයි. ඇය නැටුම් හැදෑරුවාය.

කටහඬ පුහුණු වූවාය. ඇය නැටුම් උගත්තේ ක්‍රිශාන්ති නාගේන්ද්‍ර යටතේය. කටහඬ පුහුණුව ලැබුවේ සංගීත විශාරද පී. වී. නන්දසිරි වෙතිනි.

සමකාලීන නිළියන් හා සාපේක්ෂව බලද්දී සම්භාව්‍ය මට්ටමේ චිත්‍රපටවල වඩාත්ම සංකීර්ණ චරිත රඟපෑමේ දුර්ලභ භාග්‍යය හිමි වූයේ සංගීතාට බවක් පෙනී යයි.

‘සප්ත කන්‍යා’ අපට සංගීතාගේ රංග ප්‍රතිභාව පළමු වරට දැක ගත හැකි වූ සිනමාපටය විය. ඇය එහි දීප්තිගේ චරිතය මැනවින් නිරූපණය කළාය. 1994 ‘සරසවිය’ සම්මාන උළෙලේදී හොඳම නවක නිළිය වීමේ භාග්‍යය ඇය මේ චිත්‍රපටයෙන් උදා කර ගත්තාය.

‘නොමියෙන මිනිසුන්’ සංගීතාගේ රංග කෞශල්‍යය වඩාත් මතු වූ තවත් මාහැඟි අවස්ථාවකි. ඇය එහි රඟපෑවේ මාරි නම් වූ හමුදා නිලධාරියකුගේ බිරිඳකගේ චරිතයකි. මෙහි රඟපෑම් සඳහා සංගීතා 1996 ස්වර්ණ සංඛ සම්මාන උළෙලේ දී හොඳම නිළිය වූවාය.

මාරුතය (කුමාරි), දුවට මවක මිස (තුෂාරා), දොරකඩ මාරාව ( සුභාෂිනි), පවුරු වළලු (ලිලී), බහු භාර්යා (තේජා), කිණිහිරියා මල් (සඳුනි), අස්වැසුම (මැණිකා), මිල්ලෙ සොයා (ප්‍රින්සි), සලෙළු වරම (ප්‍රියංකා), ගරිල්ලා මාකටිං (රංගි) සංගීතාගේ රංග ප්‍රතිභාව මනාව විශද කෙරුණා වූ තවත් සිනමාපට කිහිපයකි.

මෙයින් ’මාරුතය’ (සරසවිය සම්මාන උළෙල – කුසලතා සම්මාන) ‘පවුරු වළලු (ජනාධිපති සම්මාන - හොඳම සහාය නිළිය) ‘බහු භාර්යා’ (විචාරක සම්මාන ප්‍රශස්ත සිනමා රංගනය, ඕ. සී. අයි. සී. සජීවී සිනමාත්මක කුසලතා සහභාගිත්වය) ‘අස්වැසුම’ (සරසවිය සම්මාන උළෙල (හොඳම නිළිය) සඳහා ඇය සම්මානයන්ට පාත්‍ර වූවාය.

‘බහු භාර්යා’ චිත්‍රපටයේ සංගීතා කළ රංගනය මහත් ආන්දෝලනයට තුඩු දෙන්නක් විය. ඊට හේතු වූයේ ඇය එහි ලිංගික අවස්ථා නිරූපණයෙහිලා නොපැකිළව ඉදිරිපත් වීමයි.

කෙසේ වෙතත් මෙම චිත්‍රපටය වෙනත් නිෂ්පාදකවරයකු විසින් මිලට ගනු ලැබීමත් සමඟම ඇගේ චරිතයට අදාළ ලිංගිකමය අවස්ථා සඳහා වෙනත් නිළියක යොදා ගැනීමෙන් සංගීතාට බලවත් නින්දාවක් ගෙන ආ බව කිව යුතුය. නුමුහුකුරා ගිය ප්‍රේක්ෂකයන් එකී අවස්ථාත් සංගීතාම රඟපෑවේ යැයි සිතීම ඊට හේතුවයි.

‘උප්පලවණ්ණා’ සංගීතාගේ රංග කලා භාවිතයේ කිසියම් කූටප්‍රාප්තිමය අවස්ථාවක් යැයි මම සිතමි. ඇය එහි උපුලි ලෙසත් උප්පලවණ්ණා මෙහෙණිය ලෙසත් කළ රංගනය ප්‍රශස්තතරය. මේ රඟපෑම් උදෙසා ඇය 2007 සරසවිය සම්මාන උළෙලේදී හොඳම නිළිය වූ අතර ඕ. සී. අයි. සී. සම්මාන උළෙලේදී නිර්මාණශීලී රංග කුසලතා (වනිතා) රජත සම්මානය හිමි කර ගත්තාය. එහිදී ස්වර්ණ සම්මානය හිමි වූයේ ‘නිසලගිර’ චිත්‍රපටයේ රඟපෑ නීටා ප්‍රනාන්දුටය.

දිල්හානි ඒකනායකගෙන් පසු සිංහල සිනමාවේ ජනප්‍රිය නිළි කිරුළ දිනා ගත්තේ සංගීතාය. ඇය 2002 සරසවිය සම්මාන උළෙලේ සිට මේතාක් (එක වසරකදී පමණක් හැර – ඒ වසරේ ජනප්‍රිය නිළිය වූයේ අනර්කලී ආකර්ෂාය) ජනප්‍රිය නිළි කිරුළ දිනා සිටින්නීය.

සංගීතා ටෙලි නාට්‍යවල ද ඉඳහිට රඟපායි. දාමිණි ඇය රඟපෑ ටෙලි නාට්‍යයකි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු