ජීවිතය සතුට ලෙස හැමදාම දුටු ජෝයි මුඛර්ජි

අමරණීය ආදරවන්තයකුගේ මතකය

ඔහු බොලිවුඩය බබළවන තරු පරපුරක මුල් පුරුකකි. භාරත සිනමා වංශ කතාවේ ස්වර්ණමය යුගයේ සදා මතකයේ රැඳෙන පෙම්වතකු ලෙස ඔහුගේ නම ලියැ වී අවසන්ය.

අවිහිංසක දඟකාර බවක් තිරයට ගෙන ආ ආදරණීය කතා නායකයා, ජෝයි මුඛර්ජිය. ඔහු මාර්තු 9 වැනිදා ජීවිතයේ හැත්තෑ තුන් වැනි කඩඉම පසු කරද්දී ස්වසන ආබාධයකින් මිය ගියේ තවත් අමරණීය ආදරවන්තයකුගේ මතකයක් රසික ලොවට ඉතිරි කරමිනි.

‘ජෝයි’ යන නමෙහි ඉංග්‍රීසි අරුත ‘සතුට, විමෝදය’ යන්නයි. සැබෑ ජීවිතයේදී මෙන්ම වෘත්තීය ජීවිතයේදී ද ඔහු උතුරා යන සතුටකින් ජීවත් වූ අයකි. එනිසාම ජීවිතයේ පසුකාලීනව ශරීර සෞඛ්‍ය ගැන ද සැලකිලිමත් නොවූයේය. වයස අවුරුදු හැත්තෑ තුනේදී ජීවිතයෙන් සමු ගැනීමට මුල් වූයේ මේ නොසැලකිලිමත්කමය.

1939 පෙබරවාරි 24 වැනිදා ජෝයි ඉපදුණේ සෂධර් මුඛර්ජි සහ සාති දේවිගේ පුතු ලෙසයි. ඔහුගේ පියා ‘ෆිල්මලයා’ චිත්‍රාගාරයන්හි සම නිර්මාතෘවරයකු වාගේම, සාර්ථක නිෂ්පාදකයෙකි. අධ්‍යක්ෂ මුඛර්ජි ඔහුගේ මහප්පා කෙනෙකි.

අශෝක් කුමාර්, කිශෝර් කුමාර්, ජෝයිිගේ මාමාවරුන්ය. මේ පවුල් පසුබිම නිසා වයස අවුරුදු විසි එකක යෞවනයකුව සිටියදී බොලිවුඩයට සිහින කුමරුවකු ලෙස ඔහුට පිය නඟන්නට පහසු විය.

ජෝයිගේ කුලුඳුල් සිනමා රංගනය දකින්නට ලැබුණේ ‘ලව් ඉන් සිම්ලා’ සිනමා පටයෙනි. ජෝයිගේ මෙන්ම කතා නායිකාවගේ චරිතය රඟපෑ සධානාගේ ද එය මංගල රංගනය විය.

ඔහු ආදරවන්තයාටම ගැළපෙන බව ඔප්පු කරමින් සිනමා පටය අතිසාර්ථක විය. ජෝයිට වැඩි වාසනාවක් ගෙනා තාරකාව ආශා පරේක්ය. ඇය සමඟ රඟපෑ ‘ෆිර් වොහී දිල් ලයා හුන්’, ‘ලව් ඉන් ටෝකියෝ’ සහ ‘සිද්ධි’ අති සාර්ථක විය.

හැටේ දශකයේ ආරම්භයේදී ජනප්‍රියම ආදරවන්තයකු වුවත් හැටේ දශකය නිමා වන විට ඔහුගේ සිනමාපට එතරම් සාර්ථකත්වයට පත් වූයේ නැත. ඉන් පසු ඔහු මාමලා, බාප්පලා මෙන් අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය තෝරා ගත්තේය. ‘ඒක් බාර් මුස්කුරා දෝ’ (1972) ඔහුගේ සාර්ථක සිනමා නිර්මාණයකි. ‘චයිලා බාබු’ ඔහුගේ අවසන් සාර්ථක අධ්‍යක්ෂණය විය. රිදී තිරයෙන් සමුගත් ඔහු වසර 2009 දී ‘ආයේ දිල් - ඊ – නාදන්’ ටෙලි නාට්‍ය මාලාවේ රඟපෑවේය.

ජෝයි විවාහ වී සිටියේ නීලම් සමඟයි. ඔහු පුතුන් දෙදෙනකුගේ සහ දියණියකගේ පියකි.

ඔහු වත්මන් භාරත සිනමාවේ සම්මානනීය ජනප්‍රිය නිළි කාජල්ගේ සහ තනීෂාගේ බාප්පා ද වෙයි.

ප්‍රවීණ නළු ජෝයිගේ මරණයෙන් මුළු බොලිවුඩයම කම්පාවට පත් වූහ. දිලිප් කුමාර් සහ සයිරා බානු ඔහු බැලීමට රෝහලට ගියේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. සැත්කමකට ලක් වී සුවය ලබන අමිතාබ් බච්චන් ද පවුලේ සියල්ලන්ගේම ශෝකය ද නීලම් වෙත එවා තිබේ.

සිනමාවේ අහිංසක ආදරවන්තයාගේ, පෙම්වතාගේ පෙම්වතියන් වූ ආශා පරේක්, ෂර්මිලා තාගෝර්, මාලා සිංහ, වෛජයන්ති මාලා ඔහුගේ වෙන්වීම ගැන සොව පළ කළේ රූගත කිරීමේදී දැක් වූ විනෝදකාමී බව සහ මහත්මා ගති සිහි කරමිනි.


කළ්‍යාණගෙන් තවත් ඩී. වී. ඩී. චිත්‍රපටයක්

චිත්‍රපට සහ ටෙලි නාට්‍යය සහය අධ්‍යක්ෂවරයකු සහ ඡායාරූප ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයේ නිර්මාණ රැසකට දායක වූ කළ්‍යාණ චන්ද්‍රසේකර අධ්‍යක්ෂණය කළ දෙවැනි ඩී. වී. ඩී. චිත්‍රපටය “සිහිනයකි ජීවිතේ “නමින් පසුගියදා වෙළඳ පොළට නිකුත් විය.

අකිල සඳකැළුම්, සංජානා පීරිස්, රශ්මි පුෂ්පිකා, දයාසිරි හෙට්ටිආරච්චි, චලනි බාලසූරිය, සුනෙත් මැල්සිරිපුර, භාතිය මදනායක, විජය රන්ජන්, ජී. ගුණවර්ධන ඇතුළු නළු නිළියන් රඟන මෙය නීරෝ එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් ඒ. පාරිස්ටර් නිෂ්පාදනය කර තිබේ.

නිහාල් බණ්ඩාර ජයතිලකගේ තිර රචනයකට අනුව සැකසූ මෙහි සංගීත අධ්‍යක්ෂණය සරත් වික්‍රමගෙනි. දයා සූරියආරච්චි කැමරාකරණය කළ සිහිනයකි ජීවිතේ සඳහා රංජිත් දේවනාරායන කලා අධ්‍යක්ෂණයෙන් ද, ගාමිණී කොස්තා අංග රචනයෙන් ද, ප්‍රසාද් උඩුගමසූරිය නිෂ්පාදන කළමනාකරණයෙන් ද, ජීවන් බණ්ඩාර සහාය අධ්‍යක්ෂණයෙන් ද, කිත්සිරි පෙරේරා ගීත ගායනයෙන්ද දායක වී ඇත. දැනට විකාශය වන කිරි කවඩි නාට්‍යයෙහි සහාය අධ්‍යක්ෂවරයා කළ්‍යාණය.


ගුම්රා - ඒක් පූල් දෝ මාලි සංගීතවත් කළ රවි මිය යයි

මාර්තු මාසය උදා වූදා සිට බොලිවුඩයට අසන්නට ලැබුණේ එතරම් සුබ පුවත් නොවෙයි. අතීත භාරත සිනමාවේ, යුගයක් රංගනයෙන් රජ කළ ජෝයි මුකර්ජිගේ අභාවය එක් පුවතකි. සංගීත අධ්‍යක්ෂ රවි ශංකර් ෂර්මාගේ මරණය අනෙක් පුවතයි.

‘රවි’ යන ළෙන්ගතු නමින් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ වී සිටි ඔහු මිය යන විට අසූ හය හැවිරිදි වියේ පසු වූයේය.

ඔහුගේ තනු අදත් හදවතින්ම රස විඳිය හැකි, මුවින් මිමිනිය හැකි තරම් අති මිහිරිය.

චෞද්වින් කා චාන්ද්, නස්රානා, හම්රාස්, වක්ත්, නීල් කමල්, ගුම්රාහ්, දෝ බාදන්, අවුරත්, චයිනා ටවුන්, කාන්දාන්, ගරානා, දුන්ද්, ආන්කෝන්, කාජල්, ඒක් පූල් දෝ මාලි, නිකාහ්, වැනි සිනමාපටවල ඉමිහිරි ගී තනු ‘රවි’ ගේය. ‘සෞම්‍ය ගී තනු ලොවේ රජු’ ඔහුට බැඳි නාමයකි.

රවි ෂංකර් ෂර්මාගේ පියා බජන් ගායකයකි. පසුබිම් ගායකයකු වීමේ සිහිනය ඇතිව මූම්බායි පැමිණි ඔහු අවසානයේ සිහිනය සැබෑ කර ගත්තේ විශිෂ්ට සංගීතඥයකු වෙමිනි.

‘චෞද්වින් කා චාන්ද්’ (‘නින්ද නොයන රාත්‍රියේ’ මෙහි තනුවට නිර්මාණය වුණු සිංහල ගීතයයි), නීල ගගන් තෙ තලේ, ආයේ මෙරි සෝරා ජබින්, වැනි ගීත ඔහුගේ විශිෂ්ටත්වයට ඇති නිදසුන් කිහිපයක් පමණි.

හින්දි ගීත අසන්නන්ගේ සංගමයේ ආරාධනයෙන් ගිය වසරේ රවි මෙරටට පැමිණ අපූරු සංගීත ප්‍රසංගයක් ද පැවැත් විය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු