දිනෙන් දින ඉහළ යන අගය ගාමිණී

සිංහල සිනමාවේ ඉතිහාසයේ බිහි වූ අග්‍රගණ්‍ය සිනමා නළු, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ගේ 76 වැනි ජන්ම දිනය මෙම මස 21 වෙනිදාට යෙදී තිබේ. ඔහු උපන්නේ 1936 මාර්තු මස 21 වනදා දෙහිවලදීය.

සිනමා නළුවෙකු, සිනමාකරුවෙකු ලෙස දේශීය සිනමාවේ ඉහළින්ම නම රැන්දූ ගාමිණී සිනමාවට පිවිසියේ රේඛාව චිත්‍රපටයේ සහය ශිල්පියෙකු ලෙසයි.

දෛවයෝගය, සංදේශය, චණ්ඩියා, ධීවරයෝ, ගම්පෙරළිය, යුගාන්තය, නිධානය සහ වැලිකතර වැනි සිනමා කෘති රංගනයෙන් සහ පරසතු මල්, උතුමාණෙනි, සාගරයක් මැද විශිෂ්ට සිනමා නිර්මාණ අධ්‍යක්ෂණයෙන් ගාමිණී මැවූ ප්‍රතිභාව දේශීය සිනමාවේ ඔහු අග්‍රගණ්‍ය කලාකරුවකු බවට පත් කළේය.

මෙරට සිනමාවේ කාර්මික ශිල්පීන්ගේ හා නළු නිළියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම උදෙසා ගාමිණී කළ මෙහෙවරට වෙනත් කිසිකුට අලගු තැබීමට හෝ නොහැකිය. ගාමිණී ෆොන්සේකාගේ සිනමාවේ අඩුව අද වෙනදාටත් වඩා දැනේ. ‘සරසවිය’ සදාකල්ම මේ විශිෂ්ටයාගේ නාමය සිහිපත් කරන්නේ ඉමහත් වූ ගෞරවයෙනි.


ස්ත්‍රී දිනයට චිත්‍රපට ත්‍රිත්වයක්

ජාත්‍යන්තර ස්ත්‍රී දිනය නිමිති කර ගනිමින් කාන්තාව සහ මාධ්‍ය සාමුහික සංවිධානය කරන චිත්‍රපට උළෙලක් මෙම මස 21 සිට 23 දක්වා නාමෙල් මාලනි පුංචි තියටර් හි පැවැත්වේ. තෙදින පුරා සවස 3 ට සහ 6 ට යන දර්ශන වාර දෙකක් යටතේ චිත්‍රපට තිරගතවේ.

චිත්‍රපට තිරගතවන පිළිවෙල මෙසේය.

21 දා ඉටාලො

ස්පිනෙල්ලගේ ගංගෝර් (ඉංග්‍රීසි බෙංගාලි)

22 දා ටාටේ ටේලර්ගේ ද හෙල්ප් (ඉංග්‍රීසි)

22 දා ජූලියන්

ස්කැනබෙල්ගේ මිරාල් (ඉංග්‍රීසි)


‘ආරෝග්‍යා’ප්‍රදර්ශනයට නිළි රැජන ඇවිත්

ලේක්හවුස් ආයතනයෙන් නිකුත් කෙරෙන එකම සෞඛ්‍ය අධ්‍යාපනික පුවත්පත වූ ‘ආරෝග්‍යා’ පුවත්පතේ ප්‍රදර්ශන කුටියක් පසුගියදා පැවැත් වූ මෙඩිකෙයා 2012 සෞඛ්‍ය ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කෙරිණි.

ආරෝග්‍යා ප්‍රදර්ශන කුටියේදී ජනතාවට විශේෂ වූ සද්කාරයන් ගණනාවක් ලබා දුන් අතර ‘ආරෝග්‍යා’ කුටියට පැමිණි නිළි රැජින , පාර්ලිමේන්තු මන්ත්‍රී මාලිනී ෆොන්සේකාට ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා විසින් ‘ආරෝග්‍යා’ පුවත්පත පිළිගැන් වූ මොහොතයි මේ.

පසෙකින් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා සහ ‘ආරෝග්‍යා’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ දීප්ති ෆොන්සේකා මහත්මිය ද සිටියි


අහුබුදු උපන් බිම සමරු ඵලකයක්

කලාසූරි අරිසෙන් අහුබුදුවන්ගේ 92 වැනි ජන්ම දිනය වූ මෙම 18 වැනි ඉරිදා එතුමන් උපන් කොග්ගල මුදිල්ලගහ වත්තේ (දැන් වෙරළ උද්‍යානයේ) සමරු ඵලකයක් පිහිටුවීමට අරිසෙන් අහුබුදු පදනම සූදානම් වෙයි.

නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී අධිනීතිඥ හරිශ්චන්ද්‍ර විජතුංග, මහාචාර්ය සරත් විජේසූරිය, මහාචාර්ය බන්දුසේන ගුණසේකර ආදී විද්වතුන් විසින් දෙසුම් පවත්වනු ලබති. මෙම උත්සවය ඇරැඹෙනුයේ පස්වරු 3.00 ටය.


ජයන්ත, සමනල සංධ්වනියට සැරසෙයි

රූ ගැන්වීම් 20 වැනිදා

රුවන් ජයසිංහගෙන් තවත් නිෂ්පාදනයක්

මෑත කාලයේ බිහි වූ විශිෂ්ට සිනමා අධ්‍යක්ෂවරයෙකුවන ජයන්ත චන්ද්‍රසිරි දිගු නිහැඬියාවකින් පසු නිර්මාණය කරන චිත්‍රපටයේ වැඩ කටයුතු මෙම මස 20 වැනිදා සිට ඇරැඹෙයි.

අග්නි දාහය, ගරිල්ලා මාර්කටිං වැනි විචාර අවධානයට යොමු වූ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ජයන්තගේ නවතම සිනමා කෘතිය සමනල සංධ්වනිය යනුවෙන් නම් කර තිබේ.

යශෝධා විමලධර්ම, දමිතා අබේරත්න, චතුරිකා පීරිස්, පුබුදු චතුරංග, රොජර් සෙනෙවිරත්න, බුද්්ධදාස විතානආරච්චි, ගාමිණී ජයලත්, උද්දික ප්‍රේමරත්න, විල්සන් ගුණරත්න, දිමුතු චින්තක ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රංගනයේ යෙදෙති.

රූසිනේ ක්‍රියේෂන් වෙනුවෙන් රුවන් ජයසිංහ සමඟ පාලිත ගුණවර්ධන සමනල සංධ්වනියේ නිෂ්පාදකවරුන්ය. රුවන්, මාතා චිත්‍රපටයේ ද නිෂ්පාදකවරයෙකි.

කැමරාව රුවන් කොස්තා මෙහෙයවයි. දර්ශන රුවන් දිසානායකගේ සංගීතයකි. සමනල සංධ්වනිය නුවරඑළිය අවට ප්‍රදේශයන්හි රූගත වේ.


ජෝ බී. පෙරේරා රෝගාතුර වෙයි

මෙරට සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී පෙරළියක් සනිටුහන් කළ හැටේ දශකයේ අග භාගයේදී නිර්මාණය වූ මීමැස්සෝ සංගීත කණ්ඩායම හරහා මතු වූ ජෝ බී. පෙරේරා රෝගාතුරව කල් ගෙවන බව වාර්තාවේ.

මුළු ගතම වෙහෙසුනා, ආදරේ කරලා ඇති කරලා (මාල ගිරවි), සුදු මල් ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගැයූ ජෝ බී. පෙරේරා මෑතක් වනතුරුම ප්‍රසංග වේදිකාවේ නමගිය කලාකරුවකු වූහ.

සියලු රෝගාබාධ දුරු වී ස්වකීය රිදී කටහඬින් නැවතත් අප පිනවන්නජෝ බී. ට ඉක්මනින් හැකි වේවා යැයි සරසවිය ප්‍රාර්ථනා කරයි.


වස්සානේ සෙනෙහස දැන් තිරයේ

ඩෙන්සිල් ජයවීරගේ වස්සානේ සෙනෙහස සිනමාපටය පසුගිය 9 වැනිදා සිට තිරගත වීම ඇරැඹිණ. එය නොවැලැක් විය හැකි හේතුවක් මත තිරගත වූයේ සතියක් ප්‍රමාදවය.

බොරැල්ල රිට්ස් ඇතුළු එල්. එෆ්. ඩී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වන මෙහි විජේරත්න වරකාගොඩ, ජනක ප්‍රේමලාල්, වීණා ජයකොඩි, සඳනි සුලක්නා, උමයංගනා වික්‍රමසිංහ, චන්දික නානායක්කාර, මනෝහරී විමලතුංග, රොඩ්නි වර්ණකුල, මිහිර සිරිතිලක, රාජසිංහ ලෝලුවාගොඩ, ගාමිණී කුමාර, චාමි සේනානායක, ශ්‍රියාණි මහවත්ත, ප්‍රසාද් ගලප්පත්ති, ගුණවර්ධන හෙට්ටිආරච්චි, පවිත්‍රා වික්‍රමසිංහ, උදාරා තත්සරණි, චමින්දි ගුණතිලක, ජූඩ් රැල්ෆ් අමෝල්ඩා, සුබෝධනී ප්‍රියදර්ශනී, අනුපමා කබ්රාල්, ධර්මපාල සුදුමල්කන්ද, දයා විමලසූරිය, තිලක් ලියනගේ ඇතුළු පිරිස රඟපාති.

සුදත් ධර්මප්‍රිය සමඟ උපුල් ප්‍රියන්ත වස්සානේ සෙනෙහස නිෂ්පාදනය කොට තිබේ.


ඇන්ඩෲ උපහාරයට හාර ලක්සේ

ඇන්ඩෲ ජයමාන්න අභිනන්දන නමින් මෙම මස 16 වැනිදා (හෙට) සවස 4 ට රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී පැවැත්වේ.

ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා, ධර්මසිරි බණ්ඩාරනායක, පරාක්‍රම නිරිඇල්ල, සුමින්ද වීරසිංහ, සුදත් මහදිවුල්වැව, මහින්ද නාමල් යන මහත්වරුන් මෙදින සමරු දෙසුම් පැවැත්වීමට නියමිතය.සවස 6 ට ඇන්ඩෲ ජයමාන්නයන් කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ තොටවත්තයන්ගේ හාර ලක්සේ සිනමාපටය තිරගත කෙරේ.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු